පුෂ්පිකා කියන්නේ යකඩ ගැහැනියක් | සිළුමිණ

පුෂ්පිකා කියන්නේ යකඩ ගැහැනියක්

හොඳම මිතුරා තමා හොඳම හතුරා වෙන්නේත්

මට ආව ප්‍රශ්න අභියෝග එක්ක මම මේ තරම් දුර ආව එක මම ලැබූ ජයග්‍රහණයක්

මිසිස් වර්ල්ඩ් ඕගනයිසේෂන් එකේ මට ලොකු පිළිගැනීමක් තිබුණා; ඒක ලොකු ආශිර්වාදයක්

අපේ රටේ සුන්දරම සුරූපිනියන් අතුරින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැලඳ පසුව 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගයේ අවසන් හයදෙනා අතරට ආ පුෂ්පිකා ද සිල්වා ගැන නොයෙකුත් කතා සමාජයේ ඉතා වේගයෙන් පැතිරෙන නිසා මේ සියල්ලේ ඇත්ත නැත්ත දැන ගන්න අපි ඇයට කතා කළා

 

•මෙවර ලෝක විවාහක රූ රැජින තරගය දිහා බොහෝ දෙනෙක් බලාගෙන හිටියා, කොහොමද ඔබට එහි අත්දැකීම

අපේ රටේ ජනතාව විතරක් නෙවෙයි. මිසිස් වර්ල්ඩ් ඕගනයිසේෂන් එක පුදුම විදියට මාව පිළිගත්තා. ඒ අය කිව්වේ ඔයා හරිම ශක්තිමත් කාන්තාවක්. අපිට ඔයා ගැන හරිම ආඩම්බරයි පුෂ්පිකා කියලා. මම තරගෙට යද්දී හැමෝම මට පුෂ්පිකා කියන්න ගත්තා. සාමාන්‍යයෙන් ගත්තම නම පාවිච්චි කරන්නේ නැහැ. මිසිස් ශ්‍රී ලංකා, මිසිස් කොරියා, මිසිස් චයිනා වගේ රටේ නම තමා භාවිත කරන්නේ. නමුත් මම යද්දී පුෂ්පිකා ද සිල්වා කියන එක මිනිස්සු අතරට ගිහින් තිබ්බේ. එහෙම ඇහෙද්දීත් හරිම සතුටක් මට දැනුණා. මට ලොකු පිළිගැනීමක් තිබුණා. ඒක ලොකු ආශිර්වාදයක්.

 

•රටවල් කීයක් මෙවර නියෝජනය වුණාද?

මේ සැරේ කොවිඩ් තත්ත්වය නිසා රටවල් 41ක තරගකාරියන් පමණයි සහභාගී වුණේ. මොකද සමහර රටවල්වල‍ට වීසා ලැබිලා තිබ්බේ නැහැ. නමුත් ඒ සහභාගී වුණු හැමෝම මාව හරිම ආදරෙන් පිළිගත්තා.

 

•කොහොමද අවසන් තරග වටයේ අත්දැකීම

අපි ගියේ පස්වැනිදා. තරගය තිබ්බේ නව වෙනිදා ඉඳන් පහළොස්වෙනිදා වෙනකම්. අවසන් තරගය තිබ්බේ 15. හැමෝම විශ්වාස කළා මම ජයග්‍රහණය කරයි කියලා. අපි හැමදේම මුල ඉඳන් ලස්සනට කරගෙන ගියා. නමුත් අන්තිම මොහොතේ දවස් දෙකක් ඇතුළත හිතාගන්න බැරි දේවල් ටිකක් වුණා. මගේ ජිවිතේ ගොඩක් දේවල් මම කියන්නේ නැහැ. නමුත් මේ අත්දැකීම මිනිස්සු අතර බෙදා ගන්න ඕනේ. මොකද මේ දේවල් දරාගෙන අපි කොහොමද ශක්තිමත්ව ඉන්නේ කියන දේ සමාජගත විය යුතු නිසා. මගේ ජිවිතේ මට ආව ප්‍රශ්න අභියෝග එක්ක මම මේ තරම් දුර ආව එකත් එක අතකින් මම ලැබූ ජයග්‍රහණයක්.

 

•මොකක් ද මේ අවසන් තරගෙට අදින්න ගිය ගවුම අවසන් මොහොතේ වෙනස් වුණු කතාව

ඔව් මම අදින්න හිටියේ ජාත්‍යන්තර ඇඳුම් නිර්මාණ ශිල්පී Michael Cinco නිර්මාණය කළ ගවුමක්. Michael Cinco ට කියලා ලංකා ඉතිහාසයේ කවුරුවත් ගවුමක් ඩිසයිනින් කරගෙන නැහැ. මොකද මිල අධිකයි. සමහර ස්පොන්සර්ලාගෙන් ලැබුණු ප්‍රතිචාර එක්ක මම කිව්වා මට ආසයි Michael Cincoට කියලා ඇඳුමක් නිර්මාණය කරගන්න කියලා. අන්තිමේදී එතනත් මොකක් හරි DHLඑකට ප්‍රශ්නයක් වෙලා ෆ්ලයිට් එකට දාන්නේ නැතුව ඒ අවස්ථාව මග හැරුණා. අන්තිම මොහොතේ මම ගවුමක් අරගෙන ආවා. ඒක තමා මම අන්තිම දවසේ ඇන්දේ.

 

•ඒ වගේම පහුගිය කාලයේ අපි දැක්කා සමාජ සත්කාර එක්ක ඔබ කාර්යබහුල ව ඉන්නවා. ඉදිරියටත් ඒ දේවල් සමඟ පුෂ්පිකා ඉන්නවද?

Lend a helping hand "අසරණයන්ට අත්වැලක් වෙමු" කියලා මම ප්‍රොජෙක්ට් එකක් කළා. ඒ තුළින් ජාති ආගම් බේද වලින් තොරව ලංකාවේ සියලුම දෙනාට පිහිට වෙන්න මට පුළුවන් වුණා. ඉතින් ස්වාධීන කාන්තාවක් විදියට මට කරන්න පුළුවන් හැමදේම උපරිමයෙන්ම ඒ අය වෙනුවෙන් කළා. ඉදිරියටත් ඒ දේවල් මට පුළුවන් උපරිමයෙන් මගේ අතින් සිද්ධ වෙයි.

•මොන දේ වුණත් අවසන් හයදෙනා අතරට ඔබේ ජයග්‍රහණය සීමා වුණා, සිවුවැනි තැන කියලා සමාජ මාධ්‍යයට වැරදි ප්‍රචාරයක් දුන්නා කියන එක සමාජයෙන් කතා වුණා. ඒ ගැන කියන්න තියෙන්නේ මොකක් ද?

මට දැන් දැනෙන දේ සමහර පුද්ගලයන් ඒ අයගේ පුද්ගලික දේවල්වලට මාව ඉත්තෙක් කරගත්තා කියලා. මගේ අක්කත් කිව්වා නංගි පරිස්සමෙන් ඒ අයගේ ප්‍රශ්නවලට ඔයාව ඉත්තෙක් කරගන්න හදන්නේ, ඊළඟට එයාලගේ ටාර්ගට් එක ඔයාට දිනන්න නොදෙන එක කියලා. අද මට දැනෙනවා මගේ අක්කා කියපු දේ හරි කියලා. ටොප් සික්ස් ආව එක ගැන නිහතමානිව ආඩම්බර වෙනවා. නමුත් හිතට ලොකු කණගාටුවක් තියෙනවා. සිවුවැනි තැන කියන එක ගැන කිව්වේ කවුද කියන එක මේ වෙද්දී සමාජ මාධ්‍යයට හඬ පටයක් එක්කම අහන්න තියෙනවා. මම ගොඩක් ගරු කරපු එතුමියගෙන්ම තමා අහන්න ඕනේ ඇයි එහෙම කිව්වේ කියන එක.

 

•ඉදිරි කටයුතු මොනවද?

මගේ පුතාට දැන් අවුරුදු පහයි. එයාගේ නම තවෝන්. එයාගේ ලෝකය ලස්සන කරන ගමන් ඉදිරියටත් ශක්තිමත්ව කටයුතු කරනවා.

 

• අවසාන වශයෙන් ඔබට කියන්න යමක් ඇති

මම මෙතන ඉගෙන ගත්ත හොඳම පාඩම අපේ ළඟින් ඉන්නවා නේද අපිට හොඳ මුහුණ පෙන්නගෙන හිනාවෙලා පණ දෙන්න වගේ. හොඳම මිතුරා තමා හොඳම හතුරා වෙන්නේත්. ඒ වගේ තමයි මට මෙතැනදී වුණේ. මම කිරුළකට පොරකන කෙනෙක් නෙවෙයි. මට හිමි නම් ඒක ලැබෙනවා. මට අහිමි නම් ඒක නොලැබී යනවා. නමුත් දෙවියන් වහන්සේගේ විනිශ්චය ඉදිරියේදී බලාගන්න පුළුවන්. මේ සියල්ල මට මගේ ජීවිතේට ලැබුණු අත්දැකීමක් විතරයි. අසාර්ථක වෙලා මනුස්සයෙක් වැටෙනවා නේද අන්න එතන තමා නැගිටීමත් තියෙන්නේ. මම වැටෙන හැම තැනකම මම නැගිට්ට කෙනෙක්. කවුරුහරි කෙනෙක් හිතනවා නම් මාව වට්ටන්න මම ඒ අයට කියන්නේ මාව වට්ටන්න නම් හම්බෙන්නේ නැහැ. පුෂ්පිකා කියන්නේ යකඩ ගැහැනියෙක්.

 

Comments