
යාපනය සිට AB019 යාපනය – කයිට්ස් මාර්ගයේ පැමිණ AB039 වාලුක්කයිරාරු - කුරිකාට්ටුවාන් මාර්ගයේ කුරිකාට්ටුවාන් නැව්තොටට පැමිණ එතැනින් ඩෙල්ෆ් බලා යන යාත්‍රාවකින් ගොස් ඩෙල්ෆ්ට් දූපතේ මාවේලිතුරේ නැව් තොටින් දූපතට ගොඩ බැසිය හැකිය. යාපනයේ සිට මාර්ග අංක 776 යාපනය - කුරිකාට්ටුවාන් බස් රථයකින්ද කුරිකාට්ටුවාන් නැව්තොටට පැමිණිය හැකිය.
රළ දෙබෑ කරමින් යාත්‍රාව ඉදිරියට ඇදෙද්දී පොල් ගසින්, තල් ගසින් හැඩවූ විසිතුරු දිවයිනක් සිතිජයෙන් මතු වීමට පටන් ගනී. කෙමෙන් ඒ දෙසට ළං වෙද්දී අතිශය සුන්දර හරිත වර්ණ වළල්ලක් මෙන් දිස්වන මේ දූව උතුරු පළාතේ දූපත් අතරින් දෙවැනි විශාලම දූපතයි. දිවෙල් දූව හෙවත් දෙමළෙන් නෙඩුන්තීව් ලෙස හඳුන්වන මේ රමණීය දූපත බොහෝ පිරිසක් හඳුනන්නේ ඩෙල්ෆ්ට් යන නමිනි. උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් දිවෙල් දූව හෙවත් ඩෙල්ෆ්ට් දූපත වර්ග කිලෝමීටර් 47.5 කින් යුක්ත වන අතර එය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 06 ක් යුත් දූපතකි.
යාපනයේ සිට කිලෝමීටර් 42 හා කොළඹ සිට කිලෝමීටර් 436 ක දුරකින් පිහිටි මේ දූපත පවුල් 1300 ක හාරදහසකට ආසන්න ජන ගහනයක් සහිත ප්‍රධාන භූමියේ සිට මහ සයුරේ කිලෝමීටර් 7 ක පමණ දුරකින්වූ ජනාවාස දිවයිනකි. ප්‍රධාන භූමියෙන් වෙන්ව මහ සයුර මැද හුදකලාව පිහිටන මෙහි ප්‍රධාන භූමියේදී අත් විඳිය නොහැකි පාරිසරික, භූවිද්‍යාත්මක, සංස්කෘතික විවිධත්වය නිසා මේ දූපත සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත්ව තිබේ. මෙහි පැමිණ දූපතක අසිරිය විඳිය හැකි වීම සහ මේ දූපතේ පවතින සංස්කෘතික, පුරාවිද්‍යාත්මක උරුමය නිසා බොහෝ දුර කතර ගෙවා විශාල පිරිසක් මේ සුන්දර දිවයින සොයා පැමිණෙති.
ප්‍රධාන භූමියෙන් වෙන්ව පැවතිය ද පුරාණ සිංහල රජ සමයේ පටන්ම මේ දූපත ජනාවාසවී තිබූ බවට මෙහි හමුවන පුරාවිද්‍යාත්මක සාධක වලින් පැහැදිලි වේ. පෞරාණික වටිනාකමකින් යුත් ස්තූප තුනක නටබුන් මෙම දූපතෙන් හමුවන අතර විශාලතම ස්තූපයෙහි සළපතළ මළුවෙන් සෙල්ලිපි තුනක්ද හමුව තිබේ. මින් එක් සෙල්පියක් ක්‍රි.ව.1-2 අතර කාලයට අයත් විය හැකි සිංහල ප්‍රාකෘත බසින් ලියන ලදැයි සැලකෙන බ්‍රාහ්මී සෙල් ලිපියකි. මෙම ස්තූප කොරල් ගලින් නිමවා තිබීමද විශේෂත්වයකි. පුරාණ රාජ සමයේ ප්‍රකට වෙළෙඳ මධ්‍යස්ථානයක් වූ මේ දිවයිනෙහි ස්වරුපය බොහෝ වෙනස් වීම් වලට ලක්වූයේ බටහිර ජාතීන්ගේ ආගමනය සමඟිනි. දිවෙල් දූව හෙවත් නෙදුන්තීව් නම්වූ මෙම දූපත “ඩෙල්ෆ්ට්” ලෙස නම් ලබන්නේද ලන්දේසීන් මෙය පාලනය කළ කාලයේදීය. පෘතුග්‍රීසි, ලන්දේසී සහ ඉංග්‍රීසි පාලන යුග තුනටම නතු වූ මෙම දූපතතෙහි අද හමුවන සංස්කෘතික උරුමයන්ගෙන් බොහෝ ඒවා එම කාලසීමාවේ ඉදිකළ ඒවාය. ඒවා අතරින් ලන්දේසි බළකොටුව, පැරණි ලන්දේසි රෝහල, රැජින කුලුන, දූපතේ සිට යාපනයට පණිවිඩ යැවීමට භාවිත කළ පරෙවියන් රැඳවූ පරවි කූඩුව, පැරණි සුසාන භූමිය, අශ්වගාල ආදිය වැදගත් වේ. මේවා බොහොමයක් හුණු ගල් කුට්ටි හෝ හිරිගල් යොදා ගනිමින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. එයට අමතරව ඩෙල්ෆ්ට් බයෝබැබ් ගස, ලියලන ගල ආදී ස්ථානයන්ද ප්‍රකට සංචාරක ස්ථාන බවට පත්වී තිබේ. දූපතේ දකුණු අර්ධයේ නිදැල්ලේ සැරිසරන අශ්වයන් මෙහි දක්නට ලැබෙන තවත් සුන්දර දසුනකි. පෘතුග්‍රීසි හා ලන්දේසී අවදියේ මෙහි ගෙන්වා ගත් අශ්වයන් වර්තමානය වන විට වනගත වී නිදහසේ ජීවත් වෙයි. මෙම සතුන් දූපතට ආකර්ෂණයක් ගෙන එන නිසාත් ඔවුන් සංරක්ෂණය කළ යුතු නිසාත් වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දූපතේ ජීවත් වන අශ්වයන් ගැවසෙන පෙදෙස් ආවරණය වනසේ ජාතික උද්‍යානයක්ද ස්ථාපිත කොට තිබේ. ඩෙල්ෆ්ට් දූපතේ ඇති විශේෂත්වයක් වන්නේ මෙහි ඇති නිවෙස් හි තාප්ප සහ වැටමායිම්ද හිරිගල් වලින් ඉදිකර තිබීමය. මෙහි ජනයා ඒවා ඉතාමත් සුන්දර ලෙස තම කටයුතු සඳහා යොදාගෙන තිබෙන මෙම නිවාස අතරින් ගමන් කරද්දී අපූර්ව අත්දැකීමක්ද ගෙන එයි. දූපත පුරාම විවිධ හුණුගල් තට්ටු දැකිය හැකි අතර මෙහි පොළව පවා දිස්වන්නේ කිරි සුදු පැහැයෙනි.
මේ විශේෂත්වයන් හා සුන්දරත්ව නිසා මේ දූපත සොයා පැමිණීමට බොහෝ සංචාරකයන් කැමැත්තක් දක්වති. මේ දූපතට පැමිණෙන සංචාරකයන් හා දූපතේ පදිංචිකරුවන් සඳහා "වඩතාරකී" , "නෙඩුන්තාරකී" ආදී යාත්‍රාවන් සේවයට යොදාවා ඇති අතර මෙම යාත්‍රා මඟින් ඉතා පහසුවෙන් දූපතට පැමිණීමට ආපසු යාමට හැකිය. දූපතට ගොඩ බට පසු දූපත තුළට යාමට එහි ධාවනය වන ලංගම හා පුද්ගලික බස් සේවාවන්ද පවතී. මේ නිසා දිවෙල්දූව හෙවත් නෙඩුන්තීව් නැතිනම් ඩෙල්ෆ් දූපත පහසුවෙන් රස විඳිය හැකි දූපතක් බවට පත්ව ඇති අතර නුහුරු නුපුරුදු දූපතකට ගොඩ බැස එහි රසය විඳීමට කැමති සැම සංචාරකයකුම පැමිණිය යුතුම වූ සාගරය මැද තනිවූ දූපතක් බවට මේ දූව අද වනවිට පත්ව තිබේ.