
මටයි බිරියටයි දෙන්නටම එක විදියට එකම ක්ෂේත්‍රයේ වැඩ කරන්නට ලැබීම තමයි දිවියේ වටිනාම සිදුවීම
සමකාලීන දක්ෂ තරුණ පරපුරක් ඉන්නවා. තාක්ෂණය හොඳට භාවිත කරලා සුභාවිත ගීත නිර්මාණය කරන දක්ෂ තරුණයන් ඉන්නවා. ඒ නිසා මම හිතන්නෙ සුභාවිත ගීතයට තවම හානියක් වෙලා නැහැ
චතුර ගයාන් ජයනෙත්ති වන ඔහු බදුල්ල ප්‍රදේශයේ ලුණුගල නම් සුන්දර ගම්මානයෙන් බිහිවුණු අපූරු සංගීතවේදියෙකි. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන චතුර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ප්‍රථම පන්තියේ ගෞරව සමාර්ථයක් සහිත සමත්වීමෙන් පසුව අද වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස මෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසද වැඩ කටයුතු සිදුකර ඇත. මේ දිනවල බොහෝ රූපවාහිනී වැඩසටහන්වලදී ද ඔබට මුණ ගැසෙන චතුර ගයාන් සමඟ සංගීත ක්ෂේත්‍රය පිළිබඳ කතාබහක නිරත වීමු.
සංගීතය හැදැරිය යුතු විෂයක් ලෙස ඔබ සිතන්නෙ ඇයි?
සංගීතමය හැකියාව කියන්නෙ හැම කෙනකුටම උපතින් ලැබෙන එක හා සමාන හැකියාවක් නෙවෙයි. ඒ හැකියාව ප්‍රතිභාවක් ලෙස උපතින් ලැබෙන සුළු පිරිසයි ඉන්නෙ. ඒ පිරිසෙනුත් විවිධ මට්ටම්වලට තමයි මේ සංගීතමය හැකියාවන් පිහිටන්නෙ. හොඳ හැදෑරීමකින් යුතුව විෂයයක් විදියට පියවරෙන් පියවරට සංගීතය හදාරමින් සංගීත ක්ෂේත්‍රයේ රැඳී සිටීම සංගීත ශිල්පියකුට ලොකු වටිනාකමක්. සංගීතය හැදෑරිය යුතු විෂයයක් කියලා මම හිතන්නෙ ඒ නිසයි.
හැකියාවට න්‍යායාත්මක ලෙස දැනුම එකතු විය යුතුයි යන්න විශ්වාස කරනවාද?
ප්‍රායෝගික වීමට නම් සංගීතය හි ප්‍රායෝගික හැකියාවට සැඟවී තිබෙන න්‍යායාත්මක කොටස ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීම ඉතාම අවශ්‍යයි. ඉතින් ඒ වෙනුවෙන් සංගීතය හැදෑරීම අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ හරියට හැදෑරුවොත් තමයි අර ප්‍රායෝගික කොටස සුමට වෙන්නෙ සහ ලස්සන වෙන්නෙ. සංගීතයෙත් විවිධ බටහිර වේවා, පෙරදිග වේවා න්‍යායාත්මක කොටස හරියට පරිශීලනය කිරීමෙන් තමයි සංගීත ශෛලිය පිළිබඳව මනා හැකියාවක් ගොඩනඟා ගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම අපි හදාරන සංගීතයට සමානුරූපව යන භාෂාවක් සහ ඒ භාෂාව පිළිබඳ තිබෙන අවබෝධයත්, භාෂාමය සංවේදීතාවත් ඉතාම වැදගත් වෙනවා න්‍යායාත්මක ලෙස දැනුම එකතු වීමට.
සංගීතය හැදෑරීමට විශ්වවිද්‍යාල මට්ටමින් තිබෙන ගැටලු පිළිබඳ කතා කළොත්?
විශ්වවිද්‍යාලය තුළ සංගීතය පැත්තෙන් මට තිබෙන ලොකුම ගැටලුව තමයි විද්‍යාර්ථියා ඇතුළෙ සිටින නිදහස් සංගීතඥයාව විනාස වෙලා යන එක. අන්න එතන තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ ඛේදවාචකය. සංගීතය ඇතුළෙ එය ලොකුවටම බලපානවා. මේ අධ්‍යාපන ක්‍රමය ඇතුළේ නිදහස් කලාකරුවා, නිදහස් චින්තකයා, නිදහස් සංගීතඥයා මරා දමා විෂය කරුණු පමණක් උගන්වා නිර්මාණාත්මක කොටස මොටවී යනවා කියලා මට හිතෙනවා. විශ්වවිද්‍යාල තුළටත් එය බලපානවා. එහෙම නොවුණ කිහිප දෙනෙකු පමණයි විශ්වවිද්‍යාල තුළින් එළියට ඇවිත් ව්‍යවහාරික ක්ෂේත්‍රයට සංගීතය මට්ටමින් ඉතුරු වෙන්නෙ. අනෙක් ඔක්කොම පිරිස තමන්ගෙ නිර්මාණශීලිත්වය විෂය ඉගෙන ගන්න ගිහිල්ලම මොට කර ගන්න අය බවට පත් වෙනවා කියලා මට හිතෙනවා .
උඩුගං බලා යෑම සාර්ථක යැයි
ඔබ සිතනවාද?
ඇත්තටම අපි යන්නෙ උඩුගංබලා යෑමක් වැනි ගමනක් තමයි. පවතින රැලිවලට අහුවෙන්නෙ නැතුව තරුවලට අහු වෙන්නෙ නැතුව හෙමින් සාර්ථක ගමනක් යන්න අපි බොහෝ දුරට උත්සාහ කරනවා.සාර්ථක කියන එකත් යම් තරමකට සාපේක්ෂයි. අපිට අවශ්‍ය අපට සතුටු වෙන්න පුළුවන් තැනක තිබෙන හොඳ වැඩකට සම්බන්ධ වෙලා හොඳ සාහිත්‍යමය වටිනාකමකුත් තිබෙන වැඩවලට සහභාගී වෙලා හෙමින් ගමනක් යන්න තමයි ඇත්තටම අවශ්‍යය. ඒ අතින් බැලුවොත් අපි සාර්ථකයි. මොකද සීමිත වැඩ කොටසකට සහභාගි වෙලා සංගීතමය ගමන යනවා වගේම අපි සහභාගි වන වැඩසටහන් ඉතාම උසස් කියලා යම්කිසි විනිශ්චයක් තිබෙනවා. ඒ අතින් බලනකොට අපි සාර්ථකයි.
සුභාවිත ගීතයට ඇති තැන ගැන
ඔබේ අදහස?
විවිධ කාල වල විවිධ රැලි පැමිණ අවභාවිත ගීත ඇති වුණාට ගීත ක්ෂේත්‍රයේ විවිධ හැල හැප්පීම් වුණාට මම හිතන්නෙ සුභාවිත රසිකයා අතර සුභාවිත ගීතයට තිබුණ තැන කවදාකවත් වෙනස් වුණෙ නැහැ. ඒ බව එදිනෙදා මාධ්‍යයෙන් ඇසෙන දේවල්වලින් විනිශ්චය කරන්න බැහැ.අපි දන්නවා තවම ලාංකේය සබුද්ධික රසික පිරිසක් ලංකාවේ වගේම පිටරටවලත් ඉන්නවා. ඒ නිසා සුභාවිත ගීත වැඩිය ඇහුණෙ නැති වුණාට නිතර නිර්මාණය වෙනවා වගේම අපට සමකාලීන දක්ෂ තරුණ පරපුරක් ඉන්නවා. තාක්ෂණය හොඳට භාවිත කරලා සුභාවිත ගීත නිර්මාණය කරන දක්ෂ තරුණයන් ඉන්නවා. ඒ නිසා මම හිතන්නෙ සුභාවිත ගීතයට තවම හානියක් වෙලා නැහැ.
චතුරට සංගීත ජිවිතයේ අමතක නොවන සිදුවීමුත් බොහොමයක් ඇතියි නේද?
ඔව්. මට යෞවන සම්මාන, විශ්වවිද්‍යාලයේ සම්මාන වගේම නොයෙකුත් සහතික පත්‍ර ලැබිලා තිබෙනවා. බාහිර කථිකාචාර්ය වරයෙක් විදියට වැඩ කරන්න පටන් ගත්තු දවසත් මගෙ ජිවිතයේ අමතකම නොවන දවසක්. ඒ හැමදෙයකට ම වඩා මගේ බිරිය සමඟ එකට මම යන වැඩසටහන් මට අමතකම නොවන සිදුවීම් පෙළක්. අපි දෙන්නගෙම නම් කිව්වම තමයි බොහෝ අය දන්නෙ " චතුර පුන්සදා " කියලා. දෙන්නට ම එක විදියට එක ම ක්ෂේත්‍රයේ වැඩ කරන්නට ලැබීම තමයි දිවියේ වටිනා ම සිදුවීම.
ඔබේ බිරියත් වෘත්තියෙන් සංගීතයට සම්බන්ධයි. ඔබ විශ්වාස කරනවද ඔබ දෙපළට නිසි තැනක් හිමිවෙන බව?
සංගීතමය වගේ හැකියාවල් මනින්නට මිනුම් දඬු නැහැ. අපේ හැකියාව ගැන අපිට තක්සේරුවක් තිබෙනවා. ඒත් හැකියාවට නිසි තැනක් ලැබෙනවාද කියන එක පොඩ්ඩක් සාපේක්ෂ ප්‍රශ්නයක් වෙනවා. මම හිතන්නෙ අපිට කවුරුත් හැකියාවට නිසි තැනක් ලබා දෙන්න සුදානම් සහ එහෙම බන්දේසියක තියලා ලැබෙන්නෙ නැහැ.
අපි වැඩ කරගෙන යනකොට ඒ හැකියාවට නිසි තැන ටිකෙන් ටික සුදුසු වෙලාවට ලැබෙයි කියලා හිතෙනවා. ඒ නිසා අපිට එහෙම පසුතැවීමක් නැහැ. අපිට සතුටු වෙන්න පුළුවන් වැඩ අපි කරනවා සහ ඒවට සමපාත වන වැඩවලට අපි සම්බන්ධ වෙනවා. අපිට ගොඩක්ම වැදගත් සතුට.ඉතින් වැඩක් කරලා සතුටු වෙන්න පුළුවන් තැනකට අපි එකතු වෙනවා.
ඉදිරියේදි ඔබේ සැලසුම් කොහොමද?
මේ වසරේ ආරම්භයේදීම අපේම කියලා සුභාවිත ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම මගේ විශාල ඇල්මක් තිබෙනවා සාහිත්‍යයට සහ කවියට. කාලයක් තිස්සෙ ලියපු කවි එකතු කරලා අලුතින් කවි පොතක් එළි දක්වන්නට බලාපොරොත්තු වෙනවා මේ වසරේදිවත්. ඒ වගේම පශ්චාත් උපාධිය හැදෑරීමටත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ හීනයත් ඉක්මනින් සාර්ථක කර ගන්න අවශ්‍යයි.