
රූපවාහිනී හඬකැවීම් ඒකකයේ හිටපු ප්‍රධානී අතුල රන්සිරිලාල්
හඬ කැවීමේදී රූපභාවය සේම අවස්ථාභාවය ද ඉස්මතු කළ යුතුයි
අතුල රන්සිරිලාල් යන නම ඇසුණු සැණින් අපට සිහියට නැඟෙන්නේ, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ හඬකැවීම් වැඩ සටහන්. ඔහු ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ ප්‍රධානී ලෙස පැමිණි ගමන් මඟත්, දේශීය හඬ කැවීම් කලාවේ ගමන් මඟත් අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධයක්. කුඩා දරුවකුගේ සිට මුහුකුරා ගිය වැඩිහිටියකු දක්වා ඔහුගේ බොහෝ නිර්මාණ ආදරයෙන් වැලඳ ගත්තා. ඔහු සැබවින්ම සමාජයට ඵලක් ඇති යමක් කළ නිර්මාණවේදියෙක්. ඔහු සමග සිදු කළ පිළිසඳරෙන් දේශීය හඬ කැවීම් කලාව පිළිබඳව විශේෂ තොරතුරු කිහිපයක් දැන ගැනීමට හැකියාව ලැබුණා.
ජාතික රූපවාහිනියේ හඬකැවීම් අංශය මඟින් නිර්මිත වැඩසටහන් තවමත් ආකර්ෂණයයි. ඊට හේතුව කුමක් ද ?
ටයිටස් තොටවත්තයන්ගේ කාලයේ නිමවූ නිර්මාණ අදටත් ආකර්ෂණීය බවින් ඉහළයි. එසේ වීමට හේතුව ඒ නිර්මාණවල තිබූ ගුණාත්මක භාවයයි. ඒවාගේම එතුමන් නිර්මාණකරණයේ දී අවංකම කැපවූ නිර්මාණවේදියෙක්. ඒ සාධකයත් නිර්මාණවල සාර්ථකත්වයට හේතුවක්. හා හා හරි හාවා විදේශ කාටූන් චිත්‍රපටයේ තේමා ගීතය වර්ණවත් වූයේ, කුමාරතුංග මුනිදාස සූරීන්ගේ හා හා හරි හාවා ළමා ගීතයෙන්. ඒවාගේම දොස්තර හොඳ හිත විදේශ කාටුන් චිත්‍රපටය හඬ කැවීමේ දී, දෙබස්වලට එතුමන් උපයෝගී කරගනු ලැබුවේ ලෝවැඩ සඟරාවේ, හිතෝපදේශයේ, වදන් කවි පොත ආදී කෘතිවල සිතුවිලියි. ටයිටස් තොටවත්ත සූරීන් කාටූන් චිත්‍රපටි පමණක් නොවෙයි ඒ හා බැඳුණු ළමා ගී සාහිත්‍යයක් නිර්මාණය කිරීමටත් පුරෝගාමී වී තිබෙනවා.
ටයිටස් තොටවත්තයන් සිදු කළ කර්තව්‍ය නතර කළ තැනින් ඉදිරියට ගෙන ඒමට ඔබ කෙසේ දායක වූයේ ද ?
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තුළ හඬකැවීම් මැදිරියක් ස්ථාපනය කිරීමට පුරෝගාමී වූයේ ටයි මහත්තයා. හඬ දෙකැවි මැදිරිය, හඬ සටහන, උප සිරැසිය, හඬ මුසුව, හඬ නිමැවුම මෙන්ම අදියුරුම වැනි වදන් හඬකැවීම් ක්ෂේත්‍රයට එකතු වූයේ ටයි මහත්තයා නිසයි. එතුමන් නොසිටින්න ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හඬකැවීම් මැදිරියක් නොතිබෙන්නත් තිබුණා. ඒතරමටම එතුමන්ගේ නිර්මාණ චින්තන බලය වැදගත් වූවා. නිර්මාණකරණයේ දී සැබවින්ම එතුමන් දැවැන්තයෙක්. අපගේ පරමාර්ථය වූයේ, සමාජයට යම් මෙහෙවරක් සිදු කිරීමයි. එතුමන් නතර කළ තැන සිට මමත් හඬ කැවීම් අංශය තුළ කාර්යභාරයක් සිදු කළා. ඒ සඳහා ටයි මහත්තයාගේ පෙර ඇසුරත් මට ඉතාම වැදගත් වුණා. ඒ වාගේම ආයතනයෙන් ලැබුණු ඉහළම සහයෝගයත් පිළිගැනීම පිළිබඳවත් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඊට ප්‍රධාන හේතුවක් වූයෙත් මම ටයි මහත්තයත් සමඟ හොඳින් වැඩ කිරීමයි. අදටත් එතුමන්ගේ කීර්තියට කැළලක් ඇති නොවී කටයුතු කිරීම ගැන මම ඉන්නේ සතුටින්.
රූපවාහිනී මාධ්‍ය මඟින් විදේශීය නිර්මාණ වැඩි වැඩියෙන් විකාශය වුවහොත්, දේශීය නිර්මාණවලට සිදු වෙන්නේ අගතියක්. මේ සම්බන්ධව ඔබ දරන මතය කුමක් ද?
තෝරාගත් නිර්මාණය හොඳ නම්, ඊට උචිත දෙබස් ලියා තිබේ නම්, නිර්මාණයට දායක වූ ශිල්පීය කුසලතා ප්‍රමාණවත් නම්, විදේශීය නිර්මාණවලට වැදගත්කමක් හිමි වෙනවා. ඒවගේම ඒ නිර්මාණ ජනප්‍රිය වෙනවා. වර්තමාන ඇතැම් නිර්මාණවල එම සාධක පවතින්නේ දුර්වල මට්ටමක. භාෂාත්මක අතින් මෙන්ම අර්ථාන්විතවත අතින් හීනයි. ඇතැම් නිර්මාණ දරුවන්ට නරඹන්නත් නුසුදුසු තරම්. එවැනි විදේශ නිර්මාණ බොහෝමයක් නරඹන්නන් අතරට පැමිණ තිබෙන බවත් ඇත්ත. එවැනි නිර්මාණ තමයි බොහෝ පිරිසකගේ විවේචනවලට ලක් වෙන්නේ. ඒත් එම කාරණය විදේශ නිර්මාණ ප්‍රතික්ෂේප කරන්න තරම් හේතුවක් නෙවෙයි. අප විසින් නිර්මාණ සිදු කළ කාලයේ දී, නරඹන්නන්ට විශ්ව දැනුමත් ලබා දුන්නා. සෑමවිටම නරඹන්නන්ට ප්‍රධානය කළේ හරවත් නිර්මාණ. එම තත්ත්වය තුළින් දේශීය නිර්මාණ වලට අගතියක් වුණෙත් නෑ. මගේ මතය නම් දේශීය නිර්මාණකරුවන් රසාත්මක මෙන්ම හරවත් නිර්මාණ සිදු කළ යුතුයි. හොඳ නිර්මාණවලට ප්‍රෙක්ෂකාගාරය ඉබේම තැනෙනවා.
තවත් දෙයක් ලෝකයේ කොහේවත් රටක නිර්මාණ ආරක්ෂා කරන්න විදේශ නිර්මාණවලට තහංචි පනවලා නෑ. සිදු විය යුතු තව දෙයක් කියන්නම්. දේශීය නිර්මාණ විදේශීය රටවල්වල රැගෙන යාමට හඬ කැවීම් කලාව උපයෝගී කර ගත යුතුයි. ඒ වගේම ගුවන් විදුලිය තුළින් පැමිණෙන හඬ කැවීම් ශිල්පියකුගේ උච්චම අවස්ථාව වෙන්නේ, රූපවාහිනී මාධ්‍යයි. ඒ නිසා රූපවාහිනී මාධ්‍යයේ හඬකැවීම් කලාව තව තවත් සංවර්ධනය විය යුතුයි.
ඔබේ අත්දැකීම් අනුව විශිෂ්ට ගණයේ හඬ ශිල්පීන් අපට සිටී ද ?
අපේ රටේ විශිෂ්ට හඬ රංගවේදීන්, වේදිනියන් සිටියා. දිවංගත ලෙස්ලි රාමනායක, ගැමුණු විජේසූරිය, වික්ටර් මිගෙල්, කරුණාතිලක හඳුවල, කුසුම් පීරිස් ඒ අතරින් ප්‍රධානයි. ගැමුණු විජේසූරිය, විවිධ චරිත නිරූපණය කළ විශිෂ්ට හඬ රංගවේදියෙක්. මුළු රටම හඳුනගත්තු කුසුම් පීරිස් ගුවන් විදුලි නාට්‍ය පෝෂණය කිරීමට දායක වූ විශිෂ්ට හඬ ශිල්පිනියක්. ඒ විශිෂ්ටත්වය ඉදිරියට රැගෙන යාමට පරාක්‍රම පෙරේරා, රසාදරී පීරිස් වැනි දක්ෂ හඬ රංගවේදීන් වේදිනියන් අදත් මෙම කලාව පෝෂණය කරනවා. ඔවුන් හැමෝම ලැබෙන චරිත වටහාගෙන ශිල්පයේ යෙදුණු අය. අපේ රටේ හඬකැවීම් සම්බන්ධව පුහුණු ආයතන නොමැති පසුබිමකයි මොවුන් දක්ෂයන් වී තිබෙන්ණේ. මෙවැනි ශිල්පීන්, ශිල්පිනියන්ට වෘත්තීය මට්ටමේ ඇගයීම් හිමි විය යුතුයි.
වෘත්තීය මට්ටමින් හඬ නළුවෙක් වීම සඳහා ඔබෙන් ලැබෙන උපදේශය කුමක් ද?
මුලින්ම ගුවන් විදුලි මාධ්‍යයේ හඬ රංගනයේ යෙදිය යුතුයි. එයින් ලැබෙන අත්දැකීම් රූපවාහිනී මාධ්‍ය හඬ රංගනයේදී වැදගත් වෙයි. ඒවාගේම තමයි රූපයේ පෙනෙන චරිතයකට හඬ යෙදීමේ දී අනිවාර්යයෙන්ම රූපයට සමානව හඬ මෙහෙය විය යුතුයි. දෙතොල් සම කිරීම සම්බන්ධවද අවධානය යොමු කළ යුතුයි. රූපභාවය සේම අවස්ථාභාවයද ඉස්මතු කළ යුතුයි. ඒ සියල්ලත් සමඟ පූර්ව අධ්‍යයනයක් සිදු කිරීමද වැදගත්. මෙහිදී හඬකැවීම් සහිත හොඳ නිර්මාණ නැරඹිය යුතුයි. ගුවන් විදුලි නාට්‍ය ශ්‍රවණය කළ යුතුයි.
දක්ෂ හඬ රංගවේදීන් නිරීක්ෂණය කිරීමත් වැදගත්. කරුණාරත්න අමරසිංහ වැනි ප්‍රවීණයන්ගෙන් බොහෝ ආදර්ශ සපයා ගැනීමට පුළුවන්. අවස්ථාව පැමිණෙන තෙක් ඉවසීමෙන් සිටීමත් වැදගත්. සමාජ ගුණධර්ම ගැනත් සිතිය යුතුයි. මෙම උපදේශයන් පිළිපැදීමෙන් වෘත්තීය මට්ටමට යන්න පුළුවන්
අගනා සමාජ මෙහෙවරක් සිදු කළ ඔබ විශ්‍රාම යාමෙන් පසුවත්, ඒ සමාජ මෙහෙවරම වෙනත් මුහුණුවරකින් ඉටු කරනවා ?
හඬ රංගනයටත්, නිවේදන කලාවටත් උනන්දුවක් ඇති දූ දරුවන්ට ප්‍රායෝගික පුහුණුවද සමඟ නිවැරදි දැනුමක් ලබා දීමේ අරමුණින් මම පාඨශාලාවක් ආරම්භ කළා. දැනටමත් එම පාඨශාලාවෙන් දක්ෂයන් බිහි වී තිබෙනවා. මම සෑම විටම උත්සාහ දරන්නේ වෘත්තීය දැනුමට අමතරව සදාචාරාත්මක මාධ්‍ය සංස්කෘතියක් බිහිකරන සුදුසු දූ දරුවන් පිරිසක් නිර්මාණය කිරීමටයි. මම විශ්‍රාම යන්නේ මිය ගිය දවසටයි. එතෙක් මාගේ වෘත්තීය දැනුමින් තව තවත් නිර්මාණ කිරීමයි මගේ අරමුණය.