යොවුන් පුවත්පත්වලට ලියන කාලේ ලියුම් මල්ලක්ම ආවා | සිළුමිණ

යොවුන් පුවත්පත්වලට ලියන කාලේ ලියුම් මල්ලක්ම ආවා

ලේඛකයකු මෙන්ම ගී පද රචකයකු වන දමින්ද දේශප්‍රිය රණතුංග, මාකඳුර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සහ මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් වියේ සිට ලේඛනය ප්‍රමුඛ කලා කටයුතුවල යෙදුණු දමින්ද දේශප්‍රිය, එකල ජනප්‍රිය යොවුන් පුවත්පත් කිහිපයකට නිර්මාණ දායකත්වය ලබා දුන්නේය. ඒ අතරින් ‘මාතර කොල්ලො’ සහ ‘පැණියාගේ කොලම’ වඩාත් ජනප්‍රිය විය. ඔහු විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරන ලද මුල්ම කෘතිය ‘අනන්තයක් වී’නවකතාවයි.

 

මා ලියූ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව

ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීම ඉතා අසීරුයි. ඒක හරියට අම්මා කෙනෙක්ගෙන් මොන දරුවාට ද වැඩිපුර ආදරේ කියලා කියල අහනවා වගේ ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නේ. මම මුහුණු පොත හරහා පාඨකයන්ට ඉදිරිපත් කර, පසුව කෘතියක් බවට මුද්‍රණය කළ ‘අහිමි සඳවතිය’ යම් සුවිශේෂී කෘතියක් යැයි මට හැඟෙනවා. මම ඒ නවකතාව ලිව්වේ මට අසන්නට ලැබුණු සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.

 

ඒ නවකතාවේ මා වඩාත් සිත්ගත් අවස්ථාව

සිත්ගත් අවස්ථාවක් ගැන කියනවාට වඩා මම මෙවැනි දෙයක් කියන්න කැමතියි. සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියැවුණු ඒ නවකතාව නිර්මාණය කිරීමේදී මම වඩාත් පරෙස්සම් වුණා, ජීවත්වන චරිතවලට උපරිම සාධාරණය ඉටු කරන්න. ඒ නිසා එය විශේෂ උනන්දුවකින්,වැඩි වගකීමකින් ලියූ කෘතියක් ලෙස හැඳන්විය හැකියි. ඒ නිසා ඒ නවකතාවේ හැම අවස්ථාවක්ම මට විශේෂයි.

 

මෙතෙක් මට ලැබුණු හොඳම පාඨක ප්‍රතිචාරය

ලේඛකයෙක් විදිහට පාඨක ප්‍රතිචාර කියන්නේ මිල කළ නොහැකි දිරිගැන්වීමක්, ආශිර්වාදයක් කිව්වොත් නිවැරදියි. යොවුන් පුවත්පත්වලට ලියන කාලේ නම් ලියුම් මල්ලක්ම ආවා. නමුත් දැන් තාක්ෂණයත් එක්ක ඒ සියල්ල වෙනස් වෙලා. දැන් ලැබෙන්නේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ වුණත් ඒ හැම දුරකථන ඇමතුමක්ම හැම කෙටි පණිවිඩයක්ම ගොඩක් වටිනවා. පාඨකයන් හා රසික රසිකාවියන් නිසයි මම අද මෙවැනි තැනක ඉන්නෙ. ඒ සියලු දෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

 

මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

දැන් නම් නවකතා පොත්වලට වඩා මගේ අතින් ලියැවෙන්නේ ගී පද රචනා කිව්වොත් නිවැරදියි. මේ වන විට මම ගී පද රචනා 20ක් පමණ රචනා කර තිබෙනවා. ඒ අතරින් ‘ප්‍රේමය නම් භාවනාවකි, මගේ නොවූ සඳවතිය, කිරි පුසුඹ, කවුද හිතුවේ ’ වැනි ගීතවලට මම වඩාත් කැමතියි. ඒවාට ඉතා ඉහළ රසික ප්‍රතිචාර ලැබුණා. මේ වන විට මම පූර්ණකාලීනව ලේඛනය ඇතුළු කලා කටයුතුවල නියැළෙනවා. මගේ නිර්මාණ ජීවිතයට නන් අයුරින් සහාය දැක්වූ සියලු දෙනාට සහ මගේ පාඨකයන්ට සහ රසිකයන්ට ස්තූතිය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.

Comments