මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී සොඳුරු සන්නිවේදකයා නික්ම ගොස් වසරයි | සිළුමිණ

මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමී සොඳුරු සන්නිවේදකයා නික්ම ගොස් වසරයි

එඩ්වින් ආරියදාසයන් දැයට අහිමි වී පසු ගිය ජනවාරි 22 දාට වර්ෂයක් පූර්ණවීම නිමිත්තෙනි

එඩ්වින් ආරියදාසයන්ගේ ද්වී භාෂා ඥානය  පැවතියේ ප්‍රශස්ත  මට්ටමක ය. අපට නුහුරු ඉංග්‍රීසි වචනවලට  ගැළපෙන ඉංග්‍රීසි වචන ගණනාවක්ම මැවූ ප්‍රාඥයා වූයේද ඔහුය.

 

ඇවිදින විශ්ව කෝෂය, ඇවිදින පුස්තකාලය, ලාංකේය සන්නිවේදන ක්ෂේත්‍රයේ මුල් පොත, නූතන ජන සන්නිවේදනයේ සකස්කඩ, අනාගතය විනිවිද දුටු ප්‍රාඥයා, සන්නිවේදනයේ ශාස්තෘවරයාණෝ, සන්නිවේදනයේ දිසාපාමොක්, මාධ්‍ය සෘෂිවර අන්වර්ත නාමයන්ගෙන් ද, කලාකීර්ති, රෝහණප්‍රදීප මෙන්ම සාහිත්‍යරත්න යන ගෞරව නාමයන්ගෙන් ද පිදුම් ලබූ ආචාර්ය එඩ්වින් ආරියදාසයන් දශක හතකටත් එහා ගිය කාලයක් සන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ පඬිවරයකු වේ. දැනුමෙන් සන්නද්ධ වියතකු වූ එතුමාගේ වදනක් නොඇසූ, හෝ එතුමාව නාඳුනන කෙනෙකු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නොමැති තරම් ය. ඒ තරමටම එතුමා ප්‍රකට වී සිටියේ ය.

 

“හොඳ කියවීමක් නොමැතිව ඕනෑම වෘත්තියක දිගු ගමනක් යා නොහැකි ය.” යන ආදර්ශ පාඨය මඟින් එඩ්වින් ආරියදාස සූරීන් අපට ඉගැන්වූයේ, මෙම පාඨය පිළිපදින සෑම දෙනාටම නොවරදින මඟකට අවතීර්ණ වීමේ හැකියාවක් පවතින බවයි. එමෙන්ම තම වෘත්තීය අරමුණු මැනවින් ඉටුකර ගැනීමටද මෙම පාඨය ඉතාම වැදගත් වන බවයි.

විශ්වය පුරා විහිදී ඇති නව දැනුම් සම්භාරයට ඉහළ අගයක් පවතින බව එතුමා මනා වැටහීමකින් පසු වූවේ ය. ඒ නිසා එතුමා තම දිවි ගමනේ වැඩි කාලයක් වැය කළේ නව දැනුම එක් රැස් කිරීම සඳහා ය. ඉන් ඉක්බිතිව එම දැනුම විශ්ලේෂණය කර ග්‍රාහකගත කළේ කොයිකාටත් තේරුම් ගැනීමට හැකි වන අයුරිනි. ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායකයන් වරක් සඳහක් කළේ ඔහු මහල් තුනක් සහිත නිවසක මැද මහලේ සිටින මිනිසකු විලසිනි. උඩු මහල ඉහළ සමාජයට සම කළ ඔහු එම සමාජයේ තොරතුරු සාමාන්‍ය ජනතාව නියෝජනය කරන පහළ මහලටත් එසේ පහළ මහලේ තොරතුරු ඉහළ මහලටත් රැගෙන යන බවයි. ඒ සමඟම සේනානයකයන් තව දුරටත් අනාවරණය කළේ එසේ ඉහළට පහළට රැගෙන යන තොරතුරු ඕපාදූප නොවන බවයි. සෑම තොරතුරක්ම වැදගත්, අර්ථාන්විත, නුවණත්, දැනුමත් මෙන්ම විනෝදයත් ලබා ගත හැකි තොරතුරු වන බවයි.

එඩ්වින් ආරියදාසයන්ගේ ද්වී භාෂා ඥානය පැවතියේ ප්‍රශස්ත මට්ටමක ය. අපට නුහුරු ඉංග්‍රීසි වචනවලට ගැළපෙන ඉංග්‍රීසි වචන ගණනාවක්ම මැවූ ප්‍රාඥයා වූයේද එතුමායි. සජීවීකරණය, මාධ්‍ය රූප, සමීප රූප ආදී වචන ඉන් කිහිපයකි. එමෙන්ම එතුමා ඉංග්‍රීසි මාධ්‍ය උපයෝගීකර ගනිමින් සිංහල සාහිත්‍යයට කළ සේවය ද අපරිමිත ය. ඒ වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක දී ජීවිතයට එක්වරක් පමණක් ප්‍රධානය කෙරෙන සාහිත්‍ය රත්න සම්මානය පිරිනමා තිබේ.

වර්ෂ 1969 දී උසස් අධ්‍යාපනය වෙනුවෙන් ස්ථාපනය කළ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේ වර්තමානයේ ජන සන්නිවේදනය ලෙස ව්‍යවහාරයේ පවතින ජන විඥාපන විෂය ඉගැන්වූයේ එඩ්වින් ආරියදාස සූරීන් ය. ඉන් අනතුරුව ජාතික විශ්වවිද්‍යාල කිහිපයකම ජන සන්නිවේදන විෂය ආරම්භ කිරීමට එඩ්වින් ආරියදාස සූරීන් පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. එලෙසින්ම න්‍යායික මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මඟින් පුළුල් දැනුම් සම්භාරයක් ලබා දෙන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ජන සන්නිවේදන මාධ්‍ය පිළිබඳ විශේෂ පාඨමාලවේ විෂය නිර්දේශය සම්පාදනයටද එතුමාගේ දායකත්වය ලැබී තිබේ. ඒවාගේම ශ්‍රී ලංකාවේ සංහතික සන්නිවේදන සම්ප්‍රදාය පෝෂණය කිරීම සඳහාත්, එහි වර්තමාන ස්වරූපය සකස් කිරීම සඳහාත්, ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළේ එඩ්වින් ආරියදාස සූරීන් විසිනි.

ඔහු ජනමාධ්‍ය සංස්කෘතිය පමණක් නොව, මුළුමහත් සමාජයම යහපත් වනු දැකීමට ප්‍රිය කළ සන්නිවේදකයෙකි. එවන් පරිසරයක් උදා කර ගැනීම වෙනුවෙන් එතුමන් දැරූ උත්සහය ද අපරිමිත ය. එලෙසින්ම එඩ්වින් ආරියදාස යන නාමය මඟ හැර ‌අද මෙරට සන්නිවේදනය විෂය පිළිබඳව සිතීමටවත් නොහැකි පසුබිමක් පවතී. අතීතයේ සිටම එඩ්වින් ආරියදාස සූරීන්ගේ සෙවණැල්ල මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයටත්, මාධ්‍ය අධ්‍යාපනයටත් පතිත වූවා සේම, අද ඔහු ජිවමානව නොසිටියත්, හෙට දවසේ දී මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම මාධ්‍ය අධ්‍යාපනයේ උන්නතියට ඔහු දායදා කළ බොහෝ දේ නියත වශයෙන්ම සෙවණැල්ලක් සේ පවතිනු ඇත.

Comments