
ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහනට හිමි සම්මානය දිනා ගත් දුෂාන්ත දර්ශන රණසිංහ
මේ මගේ මාධ්‍ය ජිවිතේ ඇතුළත මට ලැබුණු හත්වෙනි සම්මානය
මගේ වැඩසටහන්වල කැමරාකරණය හැර අනෙකුත් සියල්ලම කරගන්නේ මමමයි
උසස් පෙළින් පසු ගිණුම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතුව පසුව මිට වසර 10කට පමණ පෙර මාධ්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ දුෂාන්ත දර්ශන රණසිංහ මේ වෙද්දී සිය වෘත්තීය ජිවිතේ තුළ සම්මානිත වෙමින් සිය හැකියාවන් පෙන්නුම් කරන මාධ්‍යය කරුවෙක් වී තිබෙනවා. සම්මාන පිට සම්මාන ලැබූ දුෂාන්ත දර්ශනට මෑතකම ලැබුණු සම්මානය වන්නේ පසුගිය වසරේ පැවති රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ දී ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහනට හිමි සම්මානයයි. මේ සියල්ල සමඟ සිළුමිණ රසඳුන අපි දුෂාන්ත දර්ශන රණසිංහ සමඟ කතා බහ කළා.
සම්මාන පිට සම්මාන ලැබුණු අයෙක්, අපි එතැනින්ම කතාව පටන් ගමු
මම ස්වාධින රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියට වැඩ කරනවා. එහිදී මම කරපු "කලාබර" වැඩසටහනට පසුගිය රාජ්‍ය සම්මාන උළෙලේදී ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහනට හිමි සම්මානය හිමිවුණා. මෙය මගේ මාධ්‍ය ජිවිතේ තුළ මේ ලැබුණු හත්වෙනි සම්මානය. ඒ කියන්නේ මීට පෙර සුමති සහ රයිගම් සම්මාන උළෙලවල් වලදී දිගටම සම්මාන ලැබුණා. ඒ වගේම හය සැරයක් නිර්දේශ වීම් අතරට ඇවිත් තියෙනවා.
ලැබුණු සම්මානය
මතක් කළොත්
2016 රාජ්‍ය සංගීත සම්මාන උළෙල වසරේ ප්‍රශස්සතම ශ්‍රව්‍ය දෘශ්‍ය අධ්‍යක්ෂණය චන්ද සූර්යයා පායන ගීතය වෙනුවෙන්. 2016 සුමති සම්මාන වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන 'ආටි " වැඩසටහන වෙනුවෙන්, 2018 ජනාධිපති පාරිසරික සම්මානය වසරේ විශිෂ්ටතම ගවේශනාත්මක පාරිසරික වැඩසටහන, 2019 රයිගම් සම්මාන, වසරේ විශිෂ්ටතම සඟරාමය වැඩසටහන 'කලාබර" වැඩසටහන, 2020 සුමති සම්මාන වසරේ විශිෂ්ටතම පුවත් වාර්තාකරණය දෙවන ස්ථානය " හිතකර මී මැස්සෝ ",2020 රාජ්‍ය සම්මාන වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන " කලාබර" යනාදි වශයෙන්
මාධ්‍යට සම්බන්ධ වෙන්නේ අහම්බෙන් නේද?
ඔව්. මම පෞද්ගලික ආයතනයක ගිණුම්කරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. ඒ රැකියාවේ තිබ්බ ඒකාකාරී බව එක්ක ටික කාලයක් යද්දී රැකියාවෙන් ඉවත් වෙලා ගෙදර ඉන්නකොට ස්වාධීන රූපවාහිනී සේවයේ සඳරුවන් ජයවික්‍රම අයියා මාව ස්වාධින රූපවාහිනී සේවයට සම්බන්ධ කරනවා. ඒ අනුව වෘත්තීය මාධ්‍ය ජීවිතේට සම්බන්ධ වෙන්නේ 2010දී. මගේ විශේෂත්වය තමයි මගේ වැඩසටහන්වල කැමරාකරණය හැර අනෙකුත් සියල්ලම කරගන්නේ මමමයි. පිටපත ලියන්නේ සහ ඉදිරිපත් කරන්නේ මම. සංස්කරණය කරන්නේත් මම.
අමතක නොවනම වැඩසටහන බවට පත්වෙලා තියෙන්නේ මොකක් ද?
මම පරිසරය සම්බන්ධ වැඩසටහන් තමා ගොඩක්ම කරන්නේ. ඒ අතරත් අලි එක්ක තමා ගොඩක්ම වැඩසටහන් කරන්නේ. ඒවා පටිගත කිරීම්වලට යද්දී කලා වැවේ අලි පන්නපු සිද්ධි වෙලා තියෙනවා. ජනජිවිතේ දී ගැමියා ගොවිතැන සහ අලින් අතර තියෙන ගැටුම්කාරී තත්ත්වයන් ගැන තමා මම වැඩසටහන් ඔස්සේ සමාජයට සමීප කරන්නේ.
විනෝදාංශයත් අලි බැලීම ද?
ඇත්තටම ඔව්. මම අලි එක්ක තමා වැඩියම කාලය ගත කරන්න කැමති. මම කොහොමත් සතා සිවුපාවට කැමති කෙනෙක්. නිවාඩුවක් ලැබුණු ගමන් මම කරන්නේ මගේ යාළුවෙක්ගේ ජීප් එක අරන් කලා වැව, යාල, බුන්දල වගේ පැති වලට යන එක. පුළුවන්කමක් තිබ්බොත් ප්‍රෝග්‍රෑම් එකක් දෙකක් කර ගන්නවා. විනෝදාංශ ලෙස කැලෑවල ඇවිද වන අලි බැලීම, වන අලි ජීවත්වන ප්‍රදේශවල ග්‍රාමීය ජන ජීවිතය ගැන තොරතුරු සෙවීම තමා කරන්නේ.
එහෙනම් මේ වසරේ ඉදිරි අරමුණු
බලාපොරොත්තු මොනවද?
එකම බලාපොරොත්තුව තමා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන එක සහ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන එක. නිර්මාණයක් කළා කියන්න පමණක් මම නිර්මාණයකට සුදානම් නැහැ. මොකද හොඳ දෙයක් කරන්න ලොකු වියදමක් යනවා. මගේ ආකල්ප එක්ක වැඩ කරන්න කැමති නිෂ්පාදකවරයෙක් මුණ ගැහුණොත් ඒ පියවර තියන්න මම සුදානම්. මුලින්ම ඒකාංගික නාට්‍යයක් කරලා ඊට පස්සේ තමා පියවරෙන් පියවර දිගු නාට්‍යයක් සහ චිත්‍රපටයකට මම යොමු වෙන්නේ.
ඔබ ගීත කීපයක්ම ගේය පද රචනා කර තිබෙනවා නේද?
සමන් ලෙනින් ගායනා කරන චන්ද්‍ර " සූර්යා පායන" ගීතය චන්දන ලියනාරච්චි ගායනා කරන "ඔබ අරන් ගියා" ගීතය ඉන්දික ලියනගේ ගායනා කරන "අප්පච්චී "ගීතය
මාධ්‍යයට සම්බන්ධ වීම ගැන අද මොකද හිතෙන්නේ
ලොකු සතුටක් දැනෙනවා. මම සම්මානයක් ගත්ත ගමන් ඉස්සෙල්ලම කතා කරන්නේ සඳරුවන් ජයවික්‍රම අයියාට. මොකද මම අද මේ මාධ්‍යයේ යම් තැනක ඉන්නවා නම් එහි මුලික ගෞරවය හිමිවෙන්න ඕනේ සඳරුවන් ජයවික්‍රම අයියාට.
අලුතින් මාධ්‍යයට එන්න ඉන්න අයට කියන්න තියෙන්නේ මොකක් ද?
මාධ්‍යය කියන්නේ අමුතුම දෙයක්නේ. ටෙලිසිනියාව කියලනේ සමහරු කියන්නේ. මොකද දැන් එන ළමයින්ට ඕනේ කැමරාව ඉස්සරහට ඇවිත් මොනවා හරි කියෝගෙන ගිහින් තමන්ගේ මූණ පෙන්වීම විතරයි.
නමුත් මේක පිටිපස්සේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. අන්න ඒ ප්‍රොසෙස් එක හරියට ඉගෙන ගෙන එනවා නම් අපිට මාධ්‍යයට අහිමිව යන වටිනාකම නැවත ලබා දෙන්න පුළුවන්. දැන් මාධ්‍යය ගන්නම දෙයක් නැහැ තනිකර ගොසිප් වලින් දුවන්නේ.
ඒ නිසා උඩුගං බලා පිහිනීමක් කරන්න දැන් වෙලා තියෙන්නේ. ඔක්කොම අපිට හදන්න බැහැ. නමුත් පොඩි පිරිසක් හරි සුභාවිත දෙයක් වෙනුවෙන් අරගෙන යන්න පුළුවන් නම් එතැනදී මේ මාධ්‍යය කොහොමද යොදා ගන්නේ කියලා අපිට අලුත් පරම්පරාවට කියලා දෙන්න පුළුවන්. අලුත් අයටත් කියන්න තියෙන්නේ හරියට දෙයක් ඉගෙන ගෙන එන්න කියන එක තමයි.
අලුත් පරම්පරාවට ඔබේ දැනුම ලබා දෙන්න
සුදානම් ද?
අනිවාර්යෙන්ම, මේ වෙද්දීත් අපි ඉඳලා හිටලා වැඩමුළු කරනවා. අපි හතර දෙනෙක් එකතුවෙලා ඉස්සර නම් පාසල්වලට ගියා. කොරෝනා නිසා ඒ දේවල් නතර වෙලා තියෙනවා. ඒ නිසා අවස්ථාව ලැබුණු ගමන් අපිට පුළුවන් විදියට මේ මාධ්‍යය ගැන නිවැරදි අවබෝධයක් දැනුමක් ලබා දෙන්න අපි සූදානම්.