
හැළඹවටවන සද්ධානන්ද විද්‍යාලයෙන් සහ හලාවත ආනන්ද ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ දිස්නා පී. සූරියහෙට්ටි ලේඛන කලාවට පිවිසෙන්නේ පාසල් අවධියේදීය. බොහෝ පුවත්පත්වල ආධුනික වැඩසටහන්වලට නිර්මාණ සැපයූ ඇගේ පළමු නවකතාව ‘හිමරෝස’ පුවත්පතේ කොටස් වශයෙන් පළවෙන්නේ 2000 වසරේදීය. ඉන්පසු ඉමාෂි ප්‍රකාශන ආයතනයට සම්බන්ධ වී ‘පාරමී’ පුවත්පත සහ පූජනී සඟරාවේ උප කර්තෘ ලෙස සේවය කරන ඇගේ පළමු මුද්‍රිත නවකතාව ‘පුදසුන පාළුය’ නමින් 2002 වසරේ පළවූ අතර මේ වන විට ඇය නවකතා 18ක් මුද්‍රණයෙන් පළ කර ඇත.
මගේ නවකතා අතරින් මම වඩාත්ම කැමති නවකතාව සහ එය ලිවීමට මුල්වූ හේතුව
මගේ අතින් ලියවුණ නවකතා අතරින් ‘මෝක්ෂයයි ඔබ අප්පච්චි’ නවකතාවට මගේ විශේෂ කැමැත්තක් තියෙනවා.
තරුණ කාලයේදිම පිළිකා රෝගයෙන් බිරිය ජීවිතක්ෂයට පත්වෙන හමුදා නිලධාරියකු වටා ලියවුණ එම කතාව සත්‍ය සිදුවීමක් වීම නිසාත් එම නිලධාරියා විසින්ම ඔහුගේ ජීවන සිදුවීම් මා සමඟ පැවසීම නිසාත් ඒ නවකතාව මගේ හදවතට වඩාත් සමීපයි.
ඒ නවකතාවේ වඩාත් සිත්ගත් සහ සංවේදී වූ අවස්ථාව
මවු සෙනෙහස අහිමි දියණියක් හදාවඩා ගැනීම පියකුට කොයිතරම් අසීරුද යන්න මම ඒ නවකතාවෙන් නිරූපණය කිරීමට උත්සාහ කළා.
නිසා ඒ කතාව පුරාවටම තියෙන්නේ සෙනෙහෙවන්ත පියකුගේ කැප කිරීම්, ආදරය සහ ප්‍රාර්ථනා සහ බලාපොරොත්තු ගැනයි. ඒ සියල්ල ඔහුගේ ඇස් පනාපිටම බොඳවෙලා යන්නෙ ඉතාම අවාසනාවන්ත විදියට. ඒ අනුවේදනීය සිදුවීම් මාලාව අකුරු කරද්දි මගේ ඇස්වලටත් කඳුළු පිරුණ අවස්ථා රාශියක් තිබුණා.
මා වඩාත් සංවේදී කළ පාඨක ප්‍රතිචාරය
මන්දබුද්ධික දරුවකු වටා ලියවුණ ‘මලක් පිපිලා නමක් නැති’ නවකතාව කියවපු නාරම්මල ප්‍රදේශයේ නැඟණියක් පැය ගාණක් මගෙත් එක්ක දුරකථනයෙන් කතා කළා. තමන්ගෙ මන්දබුද්ධික සොහොයුරා නිසා අම්මා විඳින මානසික පීඩනය වටහා ගන්න මගේ නවකතාව මහත් පිටුවහලක් වුණ බවත් ඔවුන් අතහැර සොහොයුරා සමඟ වෙනම ජීවත්වෙන්න හිතපු අම්මව යළි නිවසට කැඳවාගෙන එන්න ඇය සහ ඇගේ පියා ක්‍රියා කළේ ‘මලක් පිපිලා නමක් නැති’ කතාව කියවීමෙන් පසුව බවත් ඇය පැවසුවා. ඇය සොහොයුරා සහ මවුපියන් සමඟ පසුගිය දවසක මාව බලන්න මගේ නිවෙසටත් පැමිණියා. ඒ පාඨක ප්‍රතිචාරය සහ සිදුවීම මගේ හිත වඩාත් සංවේදී කළා.
මගේ ඉදිරි නිර්මාණ සැලසුම්
ජීවිතේ හැලහැප්පීම් ගොඩක් එක්ක මම මේ ගමන ආවේ හුඟාක් හෙමින්. ඉස්සරහට යන්නත් හදිස්සියක්, ඉක්මනක් නෑ. ගතවූ 2021 වසරේදී මම අලුතින් එක ම පොතක්වත් ප්‍රකාශයට පත් කළේ නැහැ. 2022 මුල් මාස කීපය ඇතුළත පොත් දෙකක් මුද්‍රණයෙන් නිකුක් කරන්න සූදානම් කරගෙන ඉන්නවා. 2021 වයඹ පළාත් සාහිත්‍ය තරගාවලියෙදි මගේ ‘ආඩම්බර උපාසකී’ කෘතියට මුද්‍රිත කෘති නවකතා කාණ්ඩයෙන් තුන්වැනි ස්ථානය හිමිවුණා. ඊට පසු ඒ නවකතාවට ලැබුණ පාඨක ඉල්ලුම නිසා නැවත මුද්‍රණයක් කරන්න සිදු වෙලා තියෙනවා. 2022 වසරේ මුල් මාස කීපය ඇතුළත එයත් මුද්‍රණයෙන් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව කවි පොතක් කරන්නත් හීනයක් තියෙනවා. ඒ හීනයත් හැබෑ කරගන්න උත්සාහ කරමින් ඉන්නවා. ලේඛන කලාවට අත්පොත් තැබූ දා සිටම මගේ නිර්මාණ කාර්යයට සහයෝගය දක්වපු සියලු ම දෙනාට සහ ආදරණීය පාඨක සමූහයට ගෞරවනීය ස්තුතිය පුද කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.