නරපති යුගයෙන් ජනපති යුගයට ආ වියළි බිමේ රජ උයන | සිළුමිණ

නරපති යුගයෙන් ජනපති යුගයට ආ වියළි බිමේ රජ උයන

ගමන් මාර්ගය මරදන්කඩවල සිට ත්‍රිකෝණමඩු දක්වා  විහිදෙන A11 මාර්ගයේ පොළොන්නරුව  නගරයේ  පිහිටා තිබේ

 

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට යාබද වර්තමාන තානායම පිහිටි ස්ථානයට සමීපයේ උස් භූමියක වූ නටබුන් ගොඩනැගිලි සහ පොකුණු සහිත සුන්දර උද්‍යානය ක්‍රි .ව. 1153-1186 අතර රජකළ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සිය විනෝදය, ස්නානය සහ ජල ක්‍රීඩා කිරීම ඇතුළු විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් ඉදිකරන ලද ද්වීපොද්‍යානය හෙවත් දීප උයන ලෙස වර්තමානයේ හඳුනාගෙන තිබේ.

 

කාෂ්ටක අව්වෙන් ගිනියම් වන පොළොන්නරුව වියළී ගිය රළු නගරයක් විය හැකි යැයි එහි පරිසර ස්වාභාවය විමසන අයකුට පෙනී ගියත් සැබැවින්ම පොළොන්නරුව රමණීය භූමි, සුන්දර මල් උයන් වලින් සපිරි සෞම්‍ය නගරයකි. එසේ වන්නේ පැරකුම් සමුදුර සිසාරා එන සිසිල් සුළං දහරාව තුරු ගොමුව අතරින් හමාවිත් ගිනියම් පොළොන්නරුව සිසිල් කිරීම නිසා ය. ගිනියම් පොළොන්නරුව සිසිල් කරවා බත බුලතින් රට සරුසාර කිරීමට මහා සාගරයක් බඳු වැවක් තැනීම හැර වෙනත් විසඳුමක් නැතැයි සිතූ මහා පරාක්‍රමබාහු මහරජතුමා අදටත් පොළොන්නරුවේ අනන්‍යතාව වූ මේ සුන්දර වාරිකර්මාන්තය කරවන්නට ඇත.

එසේ සිදුකළ මහා වාරිකර්මාන්තයේ මිහිර විඳිමින් සිටි මහා පරාක්‍රමබාහු රජතුමාට එහි සුන්දරත්වය විඳිය හැකි මනරම් උද්‍යානයක්ද ඉදිකළ හැකි නම් එහි අගය තවත් වැඩි දියුණු වනු ඇතැයි සිතෙන්නට ඇත. අද පොළොන්රුව පරාක්‍රම සමුද්‍රයේ හමුවන දීප උයන එදා ඇතිවූ ඒ සිතිවිල්ලේ ප්‍රතිඵලයකි. පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මට යාබද වර්තමාන තානායම පිහිටි ස්ථානයට සමීපයේ උස් භූමියක වූ නටබුන් ගොඩනැගිලි සහ පොකුණු සහිත සුන්දර උද්‍යානය ක්‍රි .ව. 1153-1186 අතර රජකළ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සිය විනෝදය, ස්නානය සහ ජල ක්‍රීඩා කිරීම ඇතුළු විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් ඉදිකරන ලද ද්වීපොද්‍යානය හෙවත් දීප උයන ලෙස වර්තමානයේ හඳුනාගෙන තිබේ.

හුණු ගලින් නිමකරන ලද ධවලඝරය, විද්‍යා මණ්ඩපය, ස්වර්ණ කිංකිණි යොදන ලද දෝල මණ්ඩපය, ක්‍රීඩා මණ්ඩපය, තිස්කරණී මණ්ඩපය, මයුර මණ්ඩප, සනි මණ්ඩප, ආසද මණ්ඩපය, ශෘංගාර මණ්ඩපය වැනි මණ්ඩප වලින් මේ මනරම් උයන සමන්විත වූ බව එහි සඳහන් වේ. එමෙන්ම විසිතුරු සිතුවමින් සහ ශෘංගාර ශබ්දයන්ගෙන් යුත් සිවු මහල් විමන එහි වූ බවත් අලංකාර රුක් උයනකින්ද යුක්ත වූ බවද මෙහි අසිරිය විස්තර කෙරෙන වර්ණනාවන්හි දැක්වේ. මේ සුන්දරත්වය නිසා පසුව රජ පැමිණි නිශ්ශංක මල්ල රජතුමා සිය රාජ සභාවද මෙම උද්‍යානයට ගෙනවිත් එය තම පාලන මධ්‍යස්ථානය බවට පත්කර ගැනීමටද කටයුතු කරන ලදි.

නිශ්ශංකමල්ල රජු විසින් මෙම උද්‍යානය තුළ සිය රාජ සභාව ඉදිකොට මෙය “කාලිංග උද්‍යානය” ලෙස යළි නම් කරමින් නිශ්ශංක මල්ල රජ මාළිගය, නිශ්ශංක මල්ල රාජ සභා මණ්ඩපය වැනි ගොඩනැගිලිද දීප උයනට එක් කොට තිබේ.

මෙසේ සුන්දර උද්‍යානයක් ලෙස රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සිත් සතුටු කළ රාජකීය දීප උයන පොළොන්නරුව බිඳ වැටීමෙන් පසුව අභාවයට පත්වූ අතර වර්තමානයේ දක්නට ලැබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංරක්ෂිත දීප උයන පුරාවිද්‍යා උද්‍යානයයි. එහි පැරණි රජවරුන් කළ සියලු ඉදිකිරීම් හඳුනාගත නොහැකි වූවත් නිශ්ශංක මල්ල රජ මාළිගය, නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය, ධවලාඝරය, කලා ක්‍රීඩා විනෝද මණ්ඩප, ගල් ආසන ලිපිය, පොකුණ හා ස්නානාගාරය හා පරාක්‍රම සමුද්‍රයේ ඉදිකර තිබු ද්විත්ව බිසෝකොටුව සහ සොරොව්වක් දැකිය හැකිය. මේ අතරින් නිශ්ශංකමල්ල රාජ සභා මණ්ඩපය පැරණි රාජ සභාවක ලක්ෂණ හඳුනා ගත හැකි වැදගත් නිර්මාණයක් ලෙස සලකයි. පැරණි සිංහල රාජ සභාවක සංවිධාන ව්‍යුහය පිළිබඳව මෙතරම් පැහැදිලි සාධක වෙනත් කිසිඳු ස්ථානයකින් හමුවී නොමැත. මෙහි පිහිටි ශෛලමය සිංහ රූපය රජුගේ සිංහාසනය බව එහිම සඳහන් කොට තිබේ. රාජ සභාව තුළ ඒ ඒ අමාත්‍යවරුන් සහ නිලධාරීන් සඳහා ආසන පනවා තිබුණු තැන් මෙහි ඇති ටැම් මත කොටා ඇති ලිපි අනුව නිශ්චිතවම හඳුනා ගත හැකිය. දීප උයන ඉදිරියේ වැවෙහි වූ කුඩා දූපතක තවත් චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන් දැකිය හැකිය. දීප මන්දිරය ලෙසද හඳුන්වන මෙය වෙත යාමට ඔරුවක් අවශ්‍ය වන අතර මෙය පරාක්‍රමබාහු රජතුමාගේ ගිම්හාන ගෘහයක් හෙවත් ලෙස එය භාවිත වන්නට ඇති බවට විශ්වාස කරයි.

එලෙස වසර දහස් ගණනක් රමණීය ලෙස පැවති උද්‍යානය පසුව නටබුන් බවට පත් වූවත් මේ දීප උයන නරපති යුගයෙන් පසුව නවීකරණය කොට යළි සුන්දර කිරීම ජනපති යුගයේදී සිදුවිය. අලංකාර මලින් පිරි රුක් ගොමුවකින් සමන්විත නව දීප උද්‍යනයක්ද පැරණි දීප උද්‍යානයේ පෞරාණික බව ආරක්ෂා කරමින් එය හා බද්ධ වන පරිදි 2017 වසරේ ඉදිකරන ලදී. ආහාර පාන ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ආපන ශාලා, ආහාර ගැනීමේ ස්ථාන, උද්‍යාන බංකු, කැළිකසළ බැහැර කරන ස්ථාන ආදී සියලු අංගයන්ගෙන් නව දීප උයන පරිපූර්ණය. අතීතයේ රමණීය රාජකීය උද්‍යානයක් වූ පැරණි දීප උයන පුරාවිද්‍යා උද්‍යානයක් ලෙස වර්තමානයේ සංරක්ෂණය කොට ඇති අතර සංචාරකයන් සඳහා නූතන උද්‍යාන තාක්ෂණය අනුව නව දීප උයන නිර්මාණය කොට තිබේ. මේ නිසා පැරණි දීප උයනේ ශ්‍රී විභූතිය විඳ පැරකුම් සයුර දෙස බලා අතීතය පිළිබඳ ආඩම්බරවීමට පොළොන්නරුවට පැමිණෙන සංචාරකයන්ට විවේකයෙන් කාලය ගත කිරීමට නව දීප උයන කදිම ස්ථානයක් බවට පත්වී තිබේ.

 

Comments