
ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ හොඳින් තෝරා බේරා ගෙන
මම වෘත්තියෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සහය කථිකාචාර්යවරියක්
පාසල් යන කාලේ තමා මට මගේ ජිවිතේ හොඳම ගුරුවරු ටික හම්බ වුණේ
වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් නැහැ. නමුත් මම රංගනයෙන් ඈත් වෙන්නේත් නැහැ
මලිඳු කාවින්ද කුමාරසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද විප්ලවයට පසු දවසක් ( A Day After Revolution) කෙටි චිත්‍රපටයේ රඟපෑ සසිත සේනානායකට සහ දේවාංගනී දිසානායකට Eurasia International Monthly Film Festival හි හොඳම නළුවා සහ නිළියට හිමි සම්මානය හිමිව තිබෙනවා. සිළුමිණ රසඳුන මේ කතාබහ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ දේවාංගනී දිසානායක සමඟයි.
දේවාංගනී කොහොමද කලාවට එන්නේ
මගේ පාසල නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාව. මම මුලින්ම නර්තනය තමා හැදෑරුවේ. නාට්‍යය වලට එන්නේත් පාසල් වේදිකාවෙන්. උසස් පෙළට මම කරන්නේ නාට්‍යය, නර්තනය සහ මිඩියා විෂයන්. පසුව කැලණිය විශ්වවිද්‍යාලයට එනවා. පාසල් වේදිකාවේ 2009, 2010, 2011, 2012 කියන අවුරුදු හතරේම හොඳම නිළිය. පාසල් යන කාලේ තමා මට මගේ ජිවිතේ හොඳම ගුරුවරු ටික හම්බ වුණේ. මේ වෙලාවේ මගේ නාට්‍යය ගුරුතුමිය මතක් කරන්න ඕනේ. ඊට අමතරව මට උසස් පෙළ දී හම්බුණා චාමික හත්ලහවත්ත සර්. ඔහුගෙන් තමා වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ. ඊට පස්සේ රෙඩ් ඇපල් ඉන්ටනැෂනල් තියටර් ගැදරින් එක. එතැනදී සචිත්‍ර රාහුබද්ධ සර් යටතේ පුහුණු වෙනවා. 2015දී රෙඩ් ඇපල් එකෙන් මම රාජ්‍ය ළමා නාට්‍යය උළෙලට ඉදිරිපත් වෙනවා. ඉංග්‍රීසි ඕපන් කැටගරි එකෙන්. ඒ වසරේ හොඳම නිළිය සම්මානය ගන්නවා. නැවතත් 2016දී ඉංග්‍රීසි කැටගරි එකේ ඇක්ටින් වලට විශේෂ ජූරි සම්මානයක් ලැබෙනවා. ඊට පස්සේ මම එනවා යෞවන සම්මාන නාට්‍යය උළෙලට. එතනදී හොඳම නිළියට මම නිර්දේශ වෙනවා. ඊට පස්සේ 2018 මම රාජ්‍ය නාට්‍යය උළෙලත් මම නියෝජනය කරනවා. ඔය විදියට තමා මම මේ ක්ෂේත්‍රයට එන්නේ. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ප්‍රියංකර රත්නායක, හර්ෂිකා රත්නායක වගේ ගුරුවරු යටතේ නාට්‍යය කලාව හදාරනවා. එතැනදී ඊඩිපස්, ඇන්ටගනී, වගේ නිර්මාණ ගණනාවක රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා.
මේ වෙද්දී ඔබේ වෘත්තිය මොකක් ද?
වෘත්තීය මම තෝරා ගන්නේ Theater Choreography කියන එක, ඒ කියන්නේ වේදිකා රංග වින්‍යාස ශිල්පිනියක් විදියට කටයුතු කරන්නේ. මේ වෙද්දී වේදිකා නාට්‍යය කිහිපයක රංග වින්‍යාස ශිල්පිනියක් විදියට වැඩ කරනවා. ඒ අතර රංගනයෙන් දායක වෙනවා. තව මම අංග රචනා ශිල්පිනියක් විදියටත් දායක වෙනවා.
ජිවිතේ මුල් ම හැරවුම් ලක්ෂ්‍ය මොකක් ද?
2019 දී මගේ විශ්වවිද්‍යාල අවසන් වසර නිෂ්පාදනයේදී මම අධ්‍යක්ෂවරියක් විදියට සම්බන්ධ වෙනවා. ඒ කොලොන්නස්හි ඊඩිපස් - ආගන්තුකයා වේදිකා නාට්‍යයෙන්. එය නැවත ප්‍රති නිෂ්පාදනයක් විදියට මාර්තු මාසයේදී කරන්න සූදානම් වෙනවා. මේ වෙනකොට අධ්‍යක්ෂවරියක් විදියට කටයුතු කරනවා.
මේ වෙද්දී විප්ලවයට පසු දවසක් කෙටි චිත්‍රපටය නිසා සම්මාන ලැබිලා තියෙනවා, ඒ ගැන කතා කළොත්
මලිඳු කාවින්ද මල්ලි විශ්වවිද්‍යාලයේ මගේ අධ්‍යයන අංශයේමයි. මම මලිඳුගේ පළවෙනි කෙටි චිත්‍රපටයටත් සම්බන්ධ වෙනවා.
එතැනදී තමා මම පළවෙනි වතාවට මලිඳු එක්ක වැඩ කරන්නේ. ඒ හැඳුනුම්කමත් එක්ක මට මේ නිර්මාණයට සම්බන්ධ වෙන්න ආරාධනා කළා. මාවම හිතේ තියාගෙන ලිව්වේ කියලා මට කතා කළා. මේක ඉතාම කෙටි කාලයකදි කෙටි පිරිසක් එක්ක කළ වැඩක්.
ඔහු ජාත්‍යන්තර කෙටි චිත්‍රපට කිහිපයකටම මේක දාලා තිබුණා. එතැනදී තමා මේ සම්මාන උළෙලෙන් අපිට මේ සම්මානය ලැබුණේ.
මේ ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ
ඉතාම සතුටුයි. මෙයත් මගේ ජිවිතේ තවත් එක් හැරවුම් ලක්ෂ්‍යයක්. මගේ ජිවිතේ වේදිකාවෙන් සම්මානිත වූ අවස්ථා බොහොමයක් තියෙනවා. නමුත් මේක චිත්‍රපට කියන අංශයේ කෙටි චිත්‍රපට ප්‍රවර්ගයෙන් ලැබෙන පළවෙනි සම්මානය. ඒ නිසා එය ජාත්‍යන්තර මට්ටමින් ලැබුණු සම්මානයක් නිසා ඉතාම සතුටු වෙනවා.
ටෙලි නිර්මාණ වලට දායක වෙන්නේ නැද්ද?
මම ජාතික රූපවාහිනියේ විකාශය වූ සන්තුස ලියනගේ සර්ගේ තව දවසක් හමුවී කියන ඒකාංගික ටෙලි නාට්‍යයට තමා මුලින්ම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඒකාංගික ටෙලි නාට්‍යය කිහිපයකට සම්බන්ධ වෙනවා.
ඊට පස්සේ අපරාරම්භ ඒකාංගික නාට්‍යයට සම්බන්ධ වුණා. මම හදා ගත්ත දෙයක් තියෙනවා; ඒ තමා මම මෙගා ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක. නමුත් මම වැඩ කිහිපයක් කරලා තියෙනවා. ඒවා ඉදිරියට එන්න තියෙනවා. රා ගත්ත music videos කිහිපයකටම දායකත්වය දීලා තියෙනවා.
එතකොට සිනමාවට
ආසාවෙන් ඉන්නවා හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න. බලමු එකත් මේ ලැබුණු දේවල් එක්ක ඉදිරියට යද්දී සිනමාවටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙයි. මේ දිනවල නම් අධ්‍යාපන කටයුතුවලට වැඩි ඉඩක් දීලා තියෙනවා.
වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් නැහැ. නමුත් මම රංගනයෙන් ඈත් වෙන්නේත් නැහැ. වෘත්තියෙන් රංග වින්‍යාස ශිල්පිනියක් විදියට කටයුතු කරන ගමන් රංගනයට දායක වෙනවා.
මේ කාලය වැඩිපුර යොදවලා තියෙන්නේ මොනවටද?
මේ වෙනකොට කැලණි විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්බ කලා අධ්‍යයන අංශයේ.
ඒ වගේම මේ වෙද්දී දර්ශනපති උපාධිය හදාරනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්. බොහෝ ඉක්මනින් මේ වසර වෙද්දී උපාධිය අවසන් කරලා මගේ ආචාර්ය උපාධිය ආරම්භ කරන්න තමා බලාපොරොත්තුව.