මට ඕන වුණේ චිත්‍ර කතා සංකල්පය ඉදිරියට අරන් යන්න - ලංකාවේ පළමු ගැෆික් නවකතාව වන දේශාටනය හි කර්තෘ චරිත් විජේවර්ධන | සිළුමිණ

මට ඕන වුණේ චිත්‍ර කතා සංකල්පය ඉදිරියට අරන් යන්න - ලංකාවේ පළමු ගැෆික් නවකතාව වන දේශාටනය හි කර්තෘ චරිත් විජේවර්ධන

පිටු 13න් 15න් ඉවර වෙන පොත් කොමික් බුක් කියලා හඳුන්වන්නේ, හැබැයි පිටු 48ට වැඩි නම් එය ග්‍රැෆික් නවකතාවක් වෙනවා.

මගේ මේ පොතේ පිටු 50ක් තියෙනවා. ඒ නිසා තමා මෙය දේශාටනය නමින් ග්‍රැෆික් නවකතාවක් විදියට මුද්‍රණය වුණේ

 

චරිත් විජේවර්ධන ශ්‍රී ලාංකීය චිත්‍රකතාවේ ප්‍රථම චිත්‍රකතා පුවත්පත වන සතුට නිර්මාණය කිරීමට ඇප කැප වූ අනුර විජේවර්ධන ශූරීන්ගෙ පුතු බව ඔබ දන්නා කරුණක්. ඔහු දක්ෂ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්. මේ වෙද්දී විදෙස්ගතව ජීවත් වුවත් ශ්‍රී ලාංකීය චිත්‍රකතා රසිකයන් වෙනුවෙන් දේශාටනය නමින් ග්‍රැෆික් නවකතාවක් නිර්මාණය කළ ඔහු සමඟයි මේ කතා බහ.

 

චරිත්ට මේ කලාව පිහිටන්නේ පිය උරුමයෙන්. ඒනිසාම අපි මේ කතා බහ අපි පටන් ගත්තේ ඉතිහාසයෙන්

ලංකාවේ චිත්‍රකතා පත්තර කියන දේ හරියට පටන් ගත්තේ ලේක්හවුස් හි සතුට පත්තරෙන්. ඒ අදහස සම්පුර්ණයෙන්ම මගේ තාත්තගේ. ඒ කියන්නේ තාත්තායි සතුට පත්තරේ කර්තෘ වුණු බන්දුල සමරසිංහයි පිටරට තිබ්බ මැගසින් එකක් අරන් තමයි ඩී ආර් විජේවර්ධනට මහත්තයට කතා කරලා තියෙන්නේ ලංකාවේත් මේ වගේ කොමික් පොත් ගහමු කියලා. ඊට පස්සේ තමා ඒ යෝජනාව වෙනස් වෙලා පත්තරයක් ගහන්න කැමති වෙලා තියෙන්නේ. ඒ 1971 දී. ඒ නිසා තාත්තා ඇඩ්වටයිසින් වලින් ඈත් වෙලා සතුට පටන් ගන්න ලේක්හවුස් එකට ආවා 1972දී. මට මතක විදියට 1972 අගෝස්තු තමා සතුට පටන් ගත්තේ. ඒ කාලේ සතුට දෙවැනි කලාපය ලක්ෂ 2ක් විතර මුද්‍රණය වෙලා තියෙනවා. එකේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා හැටියට වැඩ කළේ මගේ තාත්තා. වික්‍රම, සරත් මධු, ජනක රත්නායක, බන්දුල හරිස්චන්ද්‍ර, තලංගම ජයසිංහ, ගුණපාල ජයලත්, සමරසිංහ වගේ අය පසුව සතුට සමඟ සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ සිත්තර සහ සිත්තර සත්සිරි වගේ පත්තර බිහිවුණා. පසුකාලීනව සතුට මධුර වුණා. මධුර එකේ තලංගම ජයසිංහ මහතා තමා කර්තෘ වුණේ. එකෙත් තාත්තා ප්‍රධාන චිත්‍ර ශිල්පියා හැටියට හිටියා. ලේක්හවුස් එ‍කෙන් අස්වුණාට පස්සේ සිත්තරට ඇන්දා. ඊට පස්සේ අන්තිමට ඇන්දේ සිළුමිණේ රාජිණි කියන චිත්‍ර කතාව.

 

දේශාටනය බිහි වෙන්නේ කොහොමද?

මම දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. Illustrator's Association එකේ සාමාජිකයෙක් විදියට මම ඉන්නවා. මමත් මෙහෙ කොමික් දෙකක් කළා ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉතින් මම හිතුවා ලංකාවේ ඇයි කොමික් කරන්න බැරි කියලා. ලංකාවෙත් හොඳ කොලිටි එකට කළෝත් මිනිස්සු ගනී කියලා මම හිතුවා. මේක මම කරන්නෙම තාත්තා ගෙනාපු චිත්‍ර කතා සංකල්පය ඉදිරියට අරන් යන්න. තාත්තත් මගෙන් ඇහුවා ලංකාවට දෙයක් කරන්නේ නැද්ද කියලා. දැන් මේ වැඩෙන් තාත්තත් සතුටට පත්වෙලා තියෙනවා.

 

දේශාටනය ග්‍රැෆික් නවකතාවක්

පිටු 13න් 15න් ඉවර වෙන පොත් කොමික් බුක් කියලා හඳුන්වන්නේ, හැබැයි පිටු 48ට වැඩි නම් එය ග්‍රැෆික් නවකතාවක් වෙනවා. මගේ මේ පොතේ පිටු 50ක් තියෙනවා. ඒ නිසා තමා මම දේශාටනය නමින් ග්‍රැෆික් නවකතාවක් විදියට මුද්‍රණය වුණේ. මෙතනදී මට ප්‍රේම් දිසානායක අයියා ලොකු සහයෝගයක් දුන්නා. මෙහි වෙනස්කම් රාශියක් තියෙනවා. මම ඩබල් පිටු යොදා ගෙන තියෙනවා. චිත්‍ර කතා පත්තරයක වත් පිටු දෙකක් එකට යවන්න බැහැනේ. මම මුළු පොතම කලර් ප්‍රින්ට් එකක් කළේ. මම මෙහෙන් පිටු හදලා ප්‍රේම් අයියට මේල් කරා. ඔහු එය ඉතා හොඳින් හදලා තිබ්බා. මගේ ශ්‍රමය මම මෙතැනදී අමතක කළා. එය මිල කළේ නැහැ. ඒ එක්කම මම මේ පොත එක්ක බෝනස් කොමික් එකක් (බාබෙරියන් ) දෙන්න සැලසුම් කළා.

 

ග්‍රැෆික් නවකතාවක් සමාජගත කරන්න හිතුවේ ඇයි

මේ කාලය ගත්තම මිනිස්සු හැමදෙයක් ගැනම විඳවන කාලයක්නේ. අපිට විඳින්න කියලා දෙයක් නැහැනේ. නමුත් චිත්‍ර කතා කියන්නේ ඒ කාලේ මිනිස්සු ගොඩක් විඳපු දෙයක්. ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වගේ රටවල් ගත්තම ගොඩක් තරුණ ප්‍රජාව අතරේ මේ කොමික් හරි ජනප්‍රියයි. අපේ ලංකාවේ නම් චිත්‍ර කතාවලට ඉතුරු වෙලා ඉන්නේ වයසක අය විතරයි. ඒ මොකද තාම ලංකාවේ තියෙන්නේ චිත්‍ර කතා විතරයි. ඒ නිසා මට ඕනේ වුණේ ග්‍රැෆික් නවකතාවක් විදියට ඉදිරිපත් කරලා යොවුන් පරම්පරාව අතරට ගෙනියන්න. නැත්නම් ලංකාවේ තව අවුරුදු ගාණක් ගිහින් චිත්‍ර කතා තිබුණද කියලා මිනිස්සු කතා කරයි. දැන් එහෙම නෙවෙයි 2022 දී මේක අලුත් වුණා, චිත්‍ර කතාව ග්‍රැෆික් නවකතාවක් විදියට ආවා කියන දේ සමාජගත වෙනවා. ඒ එක්කම මම දන්නවා මේක තව ඉදිරියට යනවා කියලා.

 

දේශාටනය ග්‍රැෆික් නවකතාවේ අන්තර්ගතය

වයිකින්වරුන් ගැන මෙහි තියෙන්නේ. අධිරාජ්‍යයන්, අධිරාජ්‍යවරුන්, රජුන්, රුජිනන් වෙනුවෙන් ලේ දහදිය වගුරවමින් සටන්වැද දිවිපිදූ රණශූරයන්, රණවිරුවන්ගෙන් පිරුණු ලෝක ඉතිහාසයේ වයිකින් වරුන්ටද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. බොහෝ දෙනෙක් ඔවුන් මිලෙඡ්ඡයන් ලෙස හැඳින්වූවත් ඔවුන් බොහෝ දෙනකු තුළ තිබූ ලෝකය පිළිබඳ ගවේශනය කිරීමේ නොසන්සිදෙන ආශාව ඇමෙරිකාව සොයාගත් කොලම්බස්ටත් එහා ගිය එකක් කියලයි මට නම් හිතෙන්නේ. මේ පොත ඔවුන්ගේ බොහෝ කතා ඔබ වෙත ගෙන එන පොත් පෙළක පළමු වැන්න. මගේ තාත්තට, ඒ වගේම පොත සඳහා නම යෝජනා කළ බිරිඳ දොෂාන්ත්‍රී රණතුංගට වගේම පොතේ මුද්‍රණ කටයුතු ඉහළම නිමාවකින් කර දුන් ප්‍රේම් අයියාට ස්තුතිවන්ත වෙනවා.

 

මෙහි අවසන් පිටු 5 ගැනත් කතා කළ යුතුමයි

ඔව්, මේ පොත අවසානයේ පිටු මම වෙන් කළේ චිත්‍ර කතා ඉදිරියට අඳින්න කැමති අයට ඉගෙන ගන්න පුළුවන් පාඩම්. මොකද අපෙන් පස්සෙත් මේක පවතින්න ඕනේ. ඒ නිසා තරුණ ශිල්පීන් අවශ්‍යයි. තරුණ ඇති දක්ෂ ශිල්පින් අපි දැකලත් තියෙනවා සමාජ මාධ්‍යයෙන්. ඒ අයට චිත්‍ර කතා ගැන මුලික දැනුමක් ලබා දෙන්නයි ඒ පිටු 5 වෙන් කළේ.

Comments