මගේ අරමුණ අන්ත­ර්ජා­තික තල­යට මගේ නිර්මාණයක් යවන එකයි - දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10හි කිරුළ දිනූ නාවලපිටියේ දුලංග සම්පත් | සිළුමිණ

මගේ අරමුණ අන්ත­ර්ජා­තික තල­යට මගේ නිර්මාණයක් යවන එකයි - දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10හි කිරුළ දිනූ නාවලපිටියේ දුලංග සම්පත්

මුලින් ම ආවේ 8න් පහළ දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තර­ග­යට. ඒ තර­ග­යට අම්මා මාව එක්ක­ගෙන එන්නේ තෑග්ගක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා
 

 

කියා ගන්න බැරි සතු­ටක් තියෙන්නේ; පහු­වදා වුණත් මම ද ජය­ග්‍ර­හ­ණය කළේ කියලා මගෙන්ම අහ ගත්තා; ඒ හැඟීම වචන වලට පෙර­ළන්න බැහැ;හීන­යක් වගේ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10හි අවසන් මහා තරගය පසුගිය 15වනදා නෙලුම්පොකුණ රඟහලේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. එහි අවසන් වේදිකාවේ කිරුළ වෙනුවෙන් තරග වැදුණේ නාවලපිටියේ දුලංග සම්පත් මොරටුවේ රජිත භානුක සහ රත්නපුරේ අංජලී මෙත්සරා. මේ අය අතුරින් කිරුළ දින්නට වාසනාව හිමි වුණේ නාවලපිටියේ සිට පැමිණි දුලංග සම්පත්ට. සිළුමිණ රසඳුන මේ කතාබහ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10හි කිරුළ දිනූ නාවලපිටියේ දුලංග සම්පත් සමඟයි.

නම - දුලංග සම්පත් රන්තිලක

ගම - නාවලපිටිය

පවුලේ විස්තර - අම්මා තාත්තා අක්කා සහ මම

දැන් වයස - අවුරුදු 20

පාසල - මූලික අධ්‍යාපනය ලැබුවේ නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලෙන්. උසස් පෙළ කළේ කලා අංශයෙන්. නාට්‍යය, සංගීතය සහ මාධ්‍යය විෂයයන් හැදෑරුවේ මහනුවර ධර්මරාජයෙන්.

 

සංගීතයට යොමු වෙන්නේ පවුලේ පසුබිමක් තියෙනවද?

නැහැ. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ වෙලා නැහැ.

 

කොහොමද දුලංග සංගීතයට නැඹුරු වෙන්නේ

අම්මා නම් කියන්නේ මම අවුරුදු තුනේ ඉඳන්ම වගේ සින්දු කියනවලු. ඒ නිසා තමා මාව අම්මා දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 2 එකට ඉදිරිපත් කරලා තියෙන්නේ.

 

අපි අතීතයත් මතක් කරමු

මුලින්ම දෙරණට ආවේ අවුරුදු 8න් පහළ දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරගයට. ඒ තරගයට අම්මා මාව එක්කගෙන එන්නේ තෑග්ගක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. හැමදාම සින්දු කියලා යනකොට තෑග්ගක් හැටියට මට සෙල්ලම් බඩුවක් අම්මා අරන් දුන්නා. ඒ නිසා මමත් මාර උද්‍යෝගයෙන් ගීත ගායනා කළා. නමුත් අවසාන 12 දෙනාගේ වටයෙන් මම ඉවත් වෙනවා. අම්මා නම් කියන්නේ එදා නම් හොඳටම ඇඩුවාලු. ඒ කට්ටිය දාලා යන්න බැහැ කියලා.

 

පාසලේදී සංගීත අංශයෙන් ලැබූ ජයග්‍රහණ මොනවද?

6 වසරේ ඉඳලා 13 වසර වෙනකම් සමස්ත ලංකා තරග විශාල ප්‍රමාණයක් ගායන අංශයෙන් ජයග්‍රහණය කළා. සිංහල භාෂා සහ ජන ගායනා තරග වලින් ජයග්‍රහණ ලැබුවා. පාසලේ 10 වසරේ ඉන්නකොට විශාරද විභාගය සමත් වුණා. ඒ වගේම ධර්මරාජ විද්‍යාලයේ සංගීත අංශයේ අපි එකතු වෙලා ‘කලාබර’ කියලා බෑන්ඩ් එකක් හදාගත්තා.

 

සිහින මැව්වේ කවුරු වෙන්නද?

කවදා හරි ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙනවා කියන එක තමයි හිතේ තිබුණේ.

 

ලිට්ල් ස්ටාර් එකෙන් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට එද්දී දැනුණු හැඟීම කොහොමද?

නුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් එකේ තිබුණේ පළවෙනි ඔඩිෂන් එක. එදා සින්දුව කියද්දීම මට රෝහණ බෝගොඩ මහතා සහ සමිතා මුදුන්කොටුව මහත්මිය කිව්වා ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා.

 

ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ මුලින්ම ගැයූ මුල්ම ගීතය මතකද

‘දුරස් වන්නට මේ ලෙසින්’ ගීතය සහ හින්දි ගීතයක් ගායනා කළා. එතනින් පස්සේ පියවරෙන් පියවර ඉදිරියට එද්දී මොකද හිතුණේ

48 වටයට එද්දී ඔක්කොම එක වගේ දක්ෂයන් හිටියේ. එකෙනුත් ඉදිරියට එද්දී මට ඕනේ වුණේ අවසන් වේදිකාවේ සින්දු කියන්න. ඒ නිසා ඒ වෙනුවෙන් ගොඩක් කැපවුණා.

 

අවසන් තුන්දෙනා වුණ වෙලාවේ එදා මොකද හිතුණේ, කවුද වැඩි අභියෝගයක් වුණේ

අවසන් තුන්දෙනා අතරට ආව වෙලාවේ එදා ගොඩක් සතුටු වුණා. දෙන්නම අභියෝගයක්. මොකද දෙන්නම දක්ෂයන්. නමුත් වැඩි අභියෝගයක් තිබ්බේ අංජලි.

 

කොහොම හරි කිරුළ දිනුවනේ, මොකද හිතුණේ නම කියද්දී

කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. පහුවදා වුණත් මම ද ජයග්‍රහණය කළේ කියලා මගෙන්ම අහ ගත්තා. ඒ හැඟීම වචන වලට පෙරළන්න බැහැ. හීනයක් වගේ, හිතාගන්න බැහැ.

 

හැබැයි අම්මට තිබ්බා නේද පුතා දිනනවා කියන විශ්වාසයක්

අනිවාර්යෙන්ම. අම්මා තාත්තා දෙන්නම ගොඩක් කැපවුණා මට ඒ ගමන යන්න පුළුවන් කියලා. අම්මා මගේ පස්සෙන්ම හිටියා එදා ඉඳන්ම. අම්මට ලොකු අධිෂ්ඨානයක් තිබ්බා.

 

ඩ්‍රීම් ස්ටාර් ගමනේ දුලංග ගැයූ ගීත අතරේ හැරවුම් ලක්ෂ­්‍යයක් වුණු ගීතය මොකක් ද?

මුලින්ම මම 48 ට තේරිලා සජීවී ගයන තුන්වෙනි වටයේ දී වගේ මම ගායනා කළා "යක්බෙරේ හඬ".

ඒකත් ඩ්‍රීම් ස්ටාර් ආව විරාජ් භාතිය අයියගේම සින්දුවක්. එදා සමිතා මැඩම් කිව්වා ඩ්‍රීම් ස්ටාර් වෙන්නත් පුළුවන් කියලා. උමාරා මැඩම් කිව්වා අනිවාර්යෙන්ම ෆයිනල් එකේ බලාපොරොත්තු වෙනවා කියලා.

එතනින් පස්සේ තව හැරවුම් ලක්ෂ­්‍යයක් වුණා අංජලි සහ මම ගායනා කළ බැට්ල් එක. Mere Rashke quamar සින්දුව. ඒක ට්‍රෙන්ඩ්ඩින් වන් ආවා.

 

සමිතා මුදුන්කොටුව එක්කත් මීට පෙර ගීතයක් ගායනා කරලා තියෙනවා නේද?

ඔව්. ඒ අපේ ධර්මරාජ පාසලේ තියෙනවා සුසර කියලා සංගීත ප්‍රසංගයක්. මම 12 වසරේ ඉන්නකොට ඒ ප්‍රසංගයේ ආරාධිතයන් සඳහා ආවේ වික්ටර් රත්නායක සර් සහ සමිතා මුදුන්කොටුව මිස්.

එදා මට අවස්ථාවක් ලැබුණා සමිතා මිස් එක්ක ගායනා කරන්න. ඒක මගේ ජීවිතයේ සදාතනික මතකයක්. ඩ්‍රීම් ස්ටාර් එකේදී මිස් මාව අඳුන ගත්තේ නැහැ. මම ඒ සිදුවීම සමිතා මිස්ට මතක් කරලා දීලා මාව මතකද කියලා ඇහුවා. ‘අනේ මේ ඒ ළමයා ද ’ කියලා සමිතා මිස් පුදුම වුණා.

 

ඩ්‍රීම් ස්ටාර් ගමන් මගේ අමතක නොවන මතක ඇති

අපි අවසන් 48 දෙනා අතරට ආවට පස්සේ අපිට පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් තලවතුගොඩ ගෙදරක හැමෝම නතර කළා. එහි මාස තුනක් වගේ කාලයක් අපි පිරිමි ළමයි ටික එකටම තමා හිටියේ.

ඒ කාලය නම් අමතක වෙන්නෙම නැහැ. අපි සින්දු විතරක් නෙවෙයි එහි නාට්‍යය කළා. කෙටි චිත්‍රපට කළා. ජීවිතේට වෙනස්ම සුන්දර අත්දැකීමක් එකතු වුණු කාලයක්. තව දෙයක් තමයි මමයි රජිත අයියයි එක රූම් එකේ

 

 හිටියේ. අපි දෙන්නා දිගටම ෆයිනල් වෙනකම් ම ආවා. ඒ නිසා තලවතුගොඩ ලොජ් එකේ ගෙවුණු කාලය නම් අමතක වෙන්නේ නැහැ. ඒ එක්කම සජීවී ව සින්දු කිව්ව නිසා අපිට දැන් ඕනෙම වේදිකාවක බය නැතුව සින්දු කියන්න පුළුවන්. විශේෂයෙන්ම සුරේෂ් මාලියද්ද සර්ව මතක් කරන්න ඕනේ. සර්ගේ ඇකඩමි එකට ආවට පස්සේ අපේ මනසට ලොකු ජවයක් එකතු කළා..

 

ඉදිරියේදී රංගනයට හෝ නිවේදනයට ආරාධනා ලැබුණොත් බාර ගන්නවද?

බාර ගන්නවා. මොකද මම උසස් පෙළට පවා නාට්‍යය හා රංග කලාව හැදෑරුවා.

ඉදිරියට මොන වගේ නිර්මාණ ද කරන්න ඉන්නේ

මේ තමා අපේ කාලය. ඒ නිසා අලුත් හොඳ සින්දුවක් කරන්න ඉන්නවා.

ඒ එක්කම FM දෙරණෙන් අපිට සින්දුවක් දීලා තියෙනවා. ඒක නම් මේ සතියේ බොහෝදුරට ඉවර වෙයි. ලස්සන වැඩක් කරනවා.

මගේ අරමුණ අන්තර්ජාතික තලයට මගේ වැඩක් යවන එක. ඒ වෙනුවෙන් මම කැපවෙනවා.

ඒ එක්කම සංගීත් නිපුන් විභාගය කරන්න අදහසක් තියෙනවා.

 

 

ජායාරූප - දේවා ජයවර්ධන

Comments