පැය දෙකකින් දිය ඇලි 5ක් බලන්න සිංහරාජයේ ලංකාගමට එන්න | සිළුමිණ

පැය දෙකකින් දිය ඇලි 5ක් බලන්න සිංහරාජයේ ලංකාගමට එන්න

ගමන් මාර්ගය‍ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව නගරයේ සිට කොස්මුල්ල ලංකාගම මාර්ගයේ යන විට ලංකාගම බ්‍රාහ්මණ ඇල්ල සිංහරාජ පිවිසුමෙන් මේ සුන්දර ඇලි නැරඹීම සඳහා පිවිසිය හැකිය.

 

සිසිල් දිය පහරක් දිගේ ඇවිද යමින් පෙණ පිඬු විසිරෙන දිය ඇල්ලක පහස විඳීම ජීවිතයේ විඳිය හැකි චමත්කාරම අත්දැකීමකි. ඒ වෙනුවෙන් දුෂ්කර මං මාවත් ඔස්සේ ගොස් එක් දිය ඇල්ලක රස විඳීමට වඩා අලංකාර දිය ඇලි පොකුරකම චමත්කාරය විඳීමේ දුර්ලභ අවස්ථාවක් දිය ඇලි ලෝලීන්ට ලබා ගත හැකිය. ඒ අතිශය සුන්දරම ගම්මානයක් වන නෙළුව, ලංකාගම, සිංහරාජයේ හැරියාව දොළේදීය. හැරියාව දොළට සිරියාව කැන්දන්නේ එක් අයකුගේ දෙදෙනෙකුගේ නොව පංච සිරියාවන්තියන්ගේම සිනා හඬය. සිංහරාජයේ ලංකාගම පිවිසුම හරහා වනයට ඇතුළු වී කිලෝමීටර් දෙකක් වැනි කෙටි දුරක් පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළදී ගමන් කර සුන්දරත්වයෙන් අනූන දිය ඇලි පහක් නැරඹීමට අවස්ථාව හිමි වීම නිසා ලංකාගම හැරියාව දොළේ පිහිටි මේ දිය ඇලි පංචය නූතනයේ දියඇලි ලෝලීන් අතර ප්‍රකට ස්ථානයක් බවට පත්වී තිබේ.

 

වනයට පිවිසෙන්නටත් පෙරම මේ දිය ඇලි පංචයේ සුන්දරත්වය විදහා දක්වන්නේ බමුණෙකි. බමුණකුගේ සුදෝසුදු රැවුලක් මෙන් දිස්වන අපූරු දිය ඇල්ලක් වනය මායිමෙන් දිවෙන ලංකාගම - නෙළුව මහා මාර්ගය හරහා හැරියාව දොළෙන් එතෙරවීමට ඇති පාලම මතට ඉතා අපූරුවට දිස්වෙයි. ලංකාගම පිවිසුමෙන් වනය දෙසට යාමට ඇති වන මංපෙතෙහි මීටර් 100 පමණ දුරින් හමුවන මේ අලංකාර ඇල්ල බ්‍රාහ්මණයකුගේ සුදු රැවුල මෙන් දිස්වන නිසා බ්‍රාහ්මණ ඇල්ල ලෙස නම් ලබා ඇති මීටර් 31 ක උසකින් යුත් සොඳුරු දිය ඇල්ලකි. මුහුදු මට්ටමේ සිට මීටර් 237 ක උසකින් පිහිටි මෙම දිය ඇල්ල උස් ගල්කුළක් මතින් එක්වරම පහතට කඩා වැටී ජලතටාකයක් ද සාදන සුන්දර දිය ඇල්ලකි.

බ්‍රාහ්මණ ඇල්ල පසුකොට වන මං පෙත ඔස්සේ උස් නැග්මක් නැඟිවිට පිවිසුමේ සිට මීටර් 700 ක දුරකින් ඌරන් වැටුණු ඇල්ල හමු වේ. මීටර් 24 උස වන මෙම දිය ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 349 ක උසකින් පිහිටා තිබේ. මීටර් 24 උස ඇල්ලක් ලෙස සැලකුවද මෙය විශාල දිගු ගල් තලාවක් ඔස්සේ පහළට ඇදී එන දිය ඇල්ලකි. මේ නිසා සමස්ත ඇලි දාමයේම දිග මීටර් 100 පමණ වේ. වනය හරහා ගමන් ගන්නා වල් ඌරන් නිරන්තරයෙන් මෙම ඇල්ලෙන් ලිස්සා පහළට වැටීම නිසා මෙම ඇල්ල ඌරන් වැටුණු ඇල්ල යන නම ලබා තිබේ.

ඌරන් වැටුණු ඇල්ලෙන් පහළට බැසි විට සොබාදහමේ විශ්මිත නිර්මාණයක් වන මීටර් 12 උසකින් යුත් ගල් ඔරුව ඇල්ල හමු වේ. ගල් දොරුව ඇල්ල ලෙසද හඳුන්වන පිවිසුමේ මීටර් 800 ක දුරකින් පිහිටි මෙම ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 336 ක උසකින් පිහිටා තිබේ. ඉහළින් පිහිටි ඌරන් වැටුණු ඇල්ලේ මුළු ජලස්කන්ධයම ඉතා පටු ගල් දොරුවක් ඔස්සේ අධික වේගයෙන් ගලා බැසීම නිසා මෙම ඇල්ල බිහිවී ඇති අතර අඳුරු වන ගොමුව තුළ අධික ශබ්දයක්ද නඟමින් ගැඹුරු ගල් දොරුව ඔස්සේ පහළට ජලය ගලා යාම නිසා මෙම ඇල්ල භයංකාර ස්වරූපයක්ද මවාපායි.

මෙම දිය ඇලි පන්තියේ පළල්ම දිය ඇල්ල වන තට්ටු ඇල්ල ගල්ඔරුව ඇල්ලට පහළින් තරමක් ඈතින් පිහිටා තිබේ. මීටර් 15 පමණ උස තට්ටු කිහිපකින් සමන්විත තට්ටු ඇල්ල පිවිසුමේ සිට කිලෝ මීටර් 1.1 ක දුරකින් පිහිටා තිබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 293 ක උසකින් පිහිටි මේ දිය ඇල්ල වනය තුළ පුළුල් විවෘත පෙදෙසක පිහිටි මීටර් 60ක පමණ පළලකින් යුත් දිය ඇල්ලකි. මෙම ඇල්ල ඇද වැටීමෙන් පසු සාදන නොගැඹුරු පුළුල් ජල තලය මෙම ඇල්ලට අපූර්ව චමත්කාරයක් එක් කරයි.

හැරියාවේ දොළේ අවසාන දිය ඇල්ල වන්නේ දූවිලි ඇල්ලයි. මීටර් 25 ක උසක සිට හාත්පස පෙණ බිඳිති විසුරුවමින් ඇද වැටෙන මෙම දිය ඇල්ලට දූවිලි මෙන් දිය බිඳිති විසුරුවන නිසා ඒ නම ලැබී තිබේ. පිවිසුමේ සිට කිලෝ මීටර් 1.2 ක දුරකින් පිහිටි මෙම ඇල්ල මුහුදු මට්ටමේ සිට මීටර් 318 කින් පිහිටා තිබේ. මෙම ඇල්ලද කඩා වැටෙන්නේ ඇල්ල පාමුල පුළුල් ජල තටාකයක් සාදමිනි. දිය බිඳිති විසුරුවමින් ඇද වැටෙන නිසා හිරු එළිය සහිත අවස්ථාවේදී දර්ශනීය දේදුන්නක්ද මේ දිය ඇල්ල පාමුල දැකිය හැකිය.

එක් දිය දහරකින් මෙවැනි සුන්දර ඇලි පොකුරක් ම එක්වර නැරඹීමේ අවස්ථා වෙනත් තැනකදී නොලැබෙන තරම් ය. ඒ නිසා මේ සුන්දර කුමරියන් දෙස බලා සතුටු සිත් ඇතිව ඒ කුමරියන්ගේ සිරියාව තව බොහෝ කාලයක් විඳ ගැනීමට ඉඩ තබමින් පැමිණීම හැරියාව දොළේ සිරියාව මතු පරපුරටත් උරුම කර දීමක් වනු ඇත.

Comments