
රටේ ප්‍රධාන බැංකුවලට අමතරව ඉස්සර අපූරු බැංකුවක් තිබුණා. ඒ තමා ගීත රචනා බැංකුව. මේ බැංකුව පිහිටෙව්වෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. කැමති කෙනෙකුට මේ බැංකුවට ගීත රචනා එවන්න පුළුවන්. ගායක ගායිකාවන් මේ බැංකුවට ගිහින් කැමති රචනාවක් තෝරා ගන්නවා. එඩ්වඩ් මහත්මයට මේ ගීතය ලැබෙන්නෙ ඔය කියන බැංකුවෙන් තමයි.
මේ ගීතය වැඩකරන ජනතාව ගැන කියැවෙන ගීතයක්. නමුත් මතුපිටින් පේනවට වඩා ගැඹුරක් මේ ගීතයේ තිබෙනවා. "කරදිය ගැඹරේ" කියල ඇහුණම කෙනෙකුට හිතෙන්නෙ මේ මනුස්සයා ධීවරයෙක් විතරයි කියලා. ඒත් ඊට එහා ගිය දෙයක් මෙතැන තියෙනවා.
මුහුද කියන්නේ ජීවිතේ වගෙයි. කුඩා රැලි, මහා රැළි, කුණාටු සුනාමි, මුහුදට ආවේණිකයි. අපේ ජීවිතයත් ඒ වගේ තමයි. ප්‍රශ්න පත්තරයක්. මේ වැඩිහිටියා ඒ සියල්ල දරාගන්නෙ අනාගත පරපුර වෙනුවෙන්.
"කරදිය ගැඹරේ
තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත්පා යදඬු කරන්නයි
කිරි කැටි පුතුණේ..."
තම දරුවන් ලොකුමහත් කරන්න පියවරුන් කරන අසීමිත කැපවීම මේ නිර්මාණයෙන් හඳුනාගන්න පුළුවන්. "කිරිකැටි පුතුණේ" කියන යෙදුමෙන් අනාගත පරපුර සංකේතවත් වෙනවා.
ගිනි අව්රස්නය තුළින් නැවතත් ජීවිතයේ කර්කශ බව දැනුම්වත් වෙනවා. මතුපිටින් පාර හදන කම්කරුවකු ගැන කියවුණද මෙහි අන්තර්ගතයෙන් සංකේතයක් මතුකර ගත හැකියි. කළුගල් තුළින් ජීවිතයේ අපමණ ගැටලු සංකේතවත් වෙනවා.
ජීවන ගැටලු නැමැති කළුගල් ආත්ම ධෛර්යය විශ්වාසය නැමැති කුළුගෙඩියෙන් සුනුවිසුනු කරන්නේ අනාගත පරපුරට නිවහල් ලෝකයක් තනාදීමටයි.
අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කළුගල් කඩලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුණේ...
මේ නිවහල් ලොව කුමක්ද? ධනයට, නිලයට, බලයට වහල් නොවී ස්වශක්තියෙන් දෙපයින් සිටගත හැකි ලෝකය මේ නිවහල් ලොවයි. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුවද අපේ වහල් බව නිමා නොවූ බව ප්‍රසිද්ධ රහසක්.
දුම්රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ
දැති රෝදයක් ගැන කියූ පමණින් එය කර්මාන්ත ශාලාවක දැති රෝදයක් පමණක් වන්නේ නැහැ. දැති රෝදයෙන් විටෙක දෑත දෙපා පමණක් නොව හිස ද සුන්විය හැකිය.
ධනවතා ධනය අහිමිවීමේ දැති රෝදයට මුහුණ දෙයි. බලවතා බලය අහිමිවීමේ දැති රෝදයට මුහුණ දෙයි. මේ අයුරින් එකිනෙකා ඉදිරියේ අනාරක්ෂිත දැති රෝද පවතී. එය ප්‍රවේශමෙන් හසුරුවා ගන්නා වැඩිහිටි පරපුර එය හසුරුවන්නේ නව මිනිසකු බිහි කිරීම පිණිසයි.
මේ නව මිනිසා කවුද? ඔහු තාක්ෂණයෙන් ද අධ්‍යාත්මයෙන් දියුණු වූ මිනිසකු විය යුතුය. මේ සියලු බාධක මැඬගෙන වැඩිහිටි පරපුරක් වෙහෙසවිය යුත්තේ මේ නව මිනිසා නිර්මාණය කිරීමට බව මෙයින් සංකේතවත් වේ.
තාගොර්තුමාගේ සංකල්පයක් ඇසුරෙන් සේකරයන් කළ නිර්මාණයක් මේ මොහොතේ සිහියට නැඟෙනවා.
"පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින් තබාගෙන
ඉන්නට හැකි කොහිදෝ
එහෙව් නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන
පියාණනී..."
මේ නව මිනිසා පටු අදහස්වලින් අත්මිදිය යුතුය. ඔහුට බියෙන් තොරව හිස කෙළින් තබා ගත හැකි පරිසරයක් නිර්මාණය විය යුතුය.
ගීතය යනු හුදෙක් ප්‍රේමය මත යැපෙන්නක් නොවේ. එය පුළුල් පරාසයක් මත විහිදුවාලිය හැකිය. ප්‍රේමකුමාර ජයවර්ධනයන් තම පන්හිඳ මෙහෙයවන්නේ එම පුළුල් පරාසය තුළයි.
මීළඟ ගැටලුව වන්නේ මේ නිවහල් ලොව ඉදිවී තිබේද? නව මිනිසා නිර්මාණය වී තිබේද යන්නයි. එය එසේ නොවේ නම් මේ මොහොතේ සිට ඒ සඳහා කැපවීම කාගේත් වගකීමයි."