ජෝති ජීවමාන කරමින් ජෝතිමත් හඬින් ගී ගයන - සුනෙත් උදයරත්න | Page 2 | සිළුමිණ

ජෝති ජීවමාන කරමින් ජෝතිමත් හඬින් ගී ගයන - සුනෙත් උදයරත්න

මට කවදාවත් ජෝතිපාල වෙන්න බැහැ. නමුත් ජෝතිපාලයන්ගේ හඬට යම් සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියන හැඟීම මට තියෙනවා

මේ වන විට මට චිත්‍රපට දෙකක ගී ගැයීමට ආරාධනය කර තිබෙනවා. මට විශ්වාසයක් තිබෙනවා චිත්‍රපටවලට සාධාරණයක් වන අයුරින් මට ඒ ගීත ගායනා කරන්න  පුළුවන් කියලා

ඔහු එස්. එම්. සුනෙත් උදයරත්න. වර්තමානයේ දෙස් විදෙස් ප්‍රසංග වේදිකාවේ ගායකයකු ලෙසින් නමක් දිනා සිටින ඔහු අද කා අතරත් ජනප්‍රියව හිඳින්නේ ජෝතීගේ හඩින් ගී ගයන්නකු ලෙසිනි. කලින් කලට අසහාය ගායක ජෝති පාලයන්ට සමවිය හැකියැයි යන ලේබලය යටතේ මෙරට කලා ක්ෂේත්‍ර‍ෙය් ‍ෙපරට ආ බොහෝ ගායකයෝ වෙති. ඒ අතර යුටියුබය, මුහුණු පොත හරහා කලක් තිස්සේ ජෝතිපාලයන් ලෙසින් ගී ගයන ගායකු පිළිබඳ සමාජය දැන ගන්නේ මේ කාලයේය. කලක් තිස්සේ ක්ෂේත්‍රයේ රැඳි සිටින ඔහු පිළිබඳ කතා බහකි මේ.

ඔහු නමින් එස්. එම්. සුනෙත් උදයරත්නය. කිරිල්ලවල මධ්‍ය මහා විදයාලයේ ඉගෙනුම ලැබූ ඔහු බාල වියේ සිටම ගීත ගායනයට ආශා කළ අයෙකි. තම බාල විය සිහිපත් කරන සුනෙත් කියන්නේ මෙවැනි කතාවකි.

“මම පුංචි කාලෙ ඉදලම ජෝතිපාල මහත්මයාගේ ගී ගයන්න ආසයි. මම කරන්නේ හැම වෙලේම සින්දු කියන එක. සින්දු කියන එක මට නතර කරන්න බැරි වුණා. මම 2006 වසරේ රැකියාවක් සඳහා දකුණු කොරියාවට ගියා. එහි සේවය කරන අතරතුර ලැබෙන විවේකයෙදි මම කරන්නේ ගීත ගයන එක. ඒක මගේ විනෝදාංශය. මමයි මගෙ යාළුවොයි එකතු වුණාම ලොකු වතුර බෝතල් වලට ගහ ගහ සින්දු කියනවා. දවසක් මම ෆේස්බුක් එකේ තියෙන ඇප් ඒකකින් ගීත ගයන්න ගත්තා. මෙයට බොහෝ ප්‍රතිචාර ලැබුණා. දවසක් රෑ අටට විතර මම මේ ඇප් එකෙන් සින්දු කියලා මුහුණු පොතේ දැම්මා. පහුවදා උදේ බලනකොට මම නොසිතුව විදිහට මේ ගීතය එක එක්නෙකා

‘ෂෙයාර්‘ කරලා තිබුණා. මට එදා පුදුම සතුටක් දැනුණා. මම ඉන් පස්සේ දිගටම ගයන්න ගත්තා. මටම පුදුම හිතුණා. සමහරු මගේ ගීතය ෂෙයාර් කරලා තිබුණේ ‘ජෝති නැවත ඉපදිලා‘ කියලා. බොහෝ අය මෙය දැකලා මට කතා කළා. ඔවුන් මාව අගය කරන්න ගත්තා. මට එය විශාල ධෛර්යයක් වුණා. අපේ රටේ මිනිස්සු මගේ දක්ෂතා අගය කිරීම ගැන මට අදත් තිබෙන්නේ නිහතමානී සතුටක්“

විදේශගතව සිටි කාලයේ ඇරඹි ගී ගැයිම දිනෙන් දින වැඩි දියුණු වීමට පටන් ගත්තේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මතය. ඔහුගේ ගී හඬ රසිකයන් ආදරයෙන් වැලඳ ගැනීමට හේතු වුයේ ඔහු ජෝතිගේ ගී ගැයීමය. “මම ජෝති මහත්තයාගේ ගී ගයන නිසා මිනිස්සු මට ආදරය කරන්න ගත්තා. සමහරු ඇවිලා මාව බදා ගන්නවා; ඉඹිනවා. මටත් පුදුමයි මිනිස්සුන්ගේ හැසිරීම ගැන. සමහරු මා එක්ක ඉදලා ෆොටෝ ගන්නවා. ඒ හැමෝම මගෙ හඬට ආදරය කරනවා. මේ අතර මම මගේම ගීත කිහිපයක් පටිගත කෙරුවා. මේ ගීත සංගීතවත් කළේ සරත් ද අල්විස් මහත්මයා. එතුමා බොහෝම නිහතමානි කෙනෙක්. මට ඔහුගෙන් බොහෝම හොඳ සහායක් ලැබුණා.“

ජෝතිපාලයන් මිය ගොස් දශක තුනකටත් වැඩිය. ගෙවී ගිය මේ කාලය තුළ ජෝති හඬින් ගී ගැයීමට උත්සාහ කළ ගායකයෝ බොහෝය. මේ අතරිනුත් සුනෙත් උදයරත්න ඊට හාත්පසින්ම වෙනස් මඟක් ගත් අයකු යැයි අපට හැඟෙන්නේ ඔහු හා කතා බහ කිරීමේදීය. ඔහු උපන්නේ කොළඹ සංගරාජ මාවතේ බෝගහවත්ත ප්‍රදේශයේය. බාලවිය එහි ගෙවුණත් පසුකාලිනව ඔවුන් පදිංචිය වෙනස් කරන්නේය.

අපේ තාත්තාගේ හොඳ යාළුවෙක්ලු ජෝතිපාල මහත්මයා. බොහෝ අය කියනවා මම ජෝතිපාලයන්ගේ නැවත ඉපදීමක් කියලා. නමුත් මම නම් ඒ විශ්වාසයේ නැහැ. මම කුඩා කාලයේ සිටම එතුමාගේ ගීත වලට ප්‍රිය කළා. මම ගීත ගැයුවා. මාස පහක් පමණ යද්දි බොහෝ ජනප්‍රිය වුණා. අද මම ගොඩක් ජනප්‍රියයි. මම විශ්වාස කරනවා විශ්ව ශක්තිය. මම විශ්වාස කරනවා මට ඒ හඬට ළංවෙන්න පුළුවන් වුණේ ඒ නිසයි කියලා. මම ගොඩාක් ගරු කරනවා එතුමන්ට. මම ඔහුට ගොඩක් ආදරෙයි. මම විශ්වාස කරනවා මට නිරන්තරයෙන්ම එතුමාගේ ආශීර්වාදය ලැබුණා, ලැබේවා කියලා. මම ලොකු කලාකාරයෙක් නොවෙයි. නමුත් අද මා වටා විශාල පිරිසක් ඉන්නවා. එය මට ලොකු ශක්තියක්. මට කවදාවත් ජෝතිපාල වෙන්න බැහැ. නමුත් ජෝතිපාලයන්ගේ හඬට යම් සාධාරණයක් කරන්න පුළුවන් වුණා කියන හැඟීම මට තියෙනවා. මම කිසිම දවසක ජෝති මහත්මයාට අගෞරවයක් කරන්නේ නැහැ. මම කියන්නේ මෙච්චරයි . අපි නැතත් මේ ගීත තවත් අවුරුදු සියයක්වත් රැඳෙන්න ඕන. අපි වගේ ගායකයෝ මේ ගීත ගායනා කළොත් තමයි මේ ගීත වලට පැවැත්මක් තියෙන්නේ. අද මාධ්‍යයෙන් වෙන්නේ එතුමන්ගේ ගීත උපන්දිනයට අනුස්මරණ දිනයට ප්‍රචාරණය කරනවා එපමණයි. නමුත් අපි වගේ අය මේ ගීත ගැයීමෙන් වෙන්නේ එතුමන් අමරණිය වීමයි. ජනතාව නැවත නැවත එතුමන්ගේ හඬට ළං වීමයි.“

ජෝතිගේ ගී හඬට සමාන හඬකින් ගී ගයන සුනෙත්ට ඉදිරියේදි චිත්‍රපට ගායනයට ද ආදරාධනා ලැබී තිබෙන්නේය. ඒ පිළිබඳ අපට තොරතුරු කියු සුනෙත්.

මේ වන විට මට චිත්‍රපට දෙකක ගී ගැයීමට ආරාධනය කර තිබෙනවා. මට විශ්වාසයක් තිබෙනවා චිත්‍රපට වට සාධාරණයක් වන අයුරින් මට ඒ ගීත ගායනා කරන්න පුළුවන් කියලා. අපේ නැති වී ගිය චිත්‍රපට වල ගීත කලාවට පුනර්ජීවයක් දිය හැකියි කියන විශ්වාසය මට තියෙනවා.

සුනෙත් විවාහකයෙකි. ඔහුට දරුවන් හතර දෙනෙකි. සිය බිරිය හා දරුවන් ගැන ඔහු සිහි කරන්නේ බොහෝ ආදරයෙනි.

මගේ බිරිඳ කලනි මාලා ගුණවර්ධන. ඇයත් මමත් විවාහ වුණේ

වසර අටක ප්‍රේම සම්බන්ධයකින් පසුව. වසර පහළොවක් මම විදේශ ගතවෙලා හිටියේ. මගේ බිරිය මට පුදුමාකාර ශක්තියක් හැමදාම. ඇය තමයි ගෙවල් දොරවල් හදාගෙන, දරුවෝ හදාගෙන අපේ ජීවිත මේ තරම් පිළිවෙළ කළේ. අද මම නිදහසේ ගීත ගයන්නෙත් ඇය නිසයි. ඇගෙන් මට පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. මට ඉන්නවා දුවලා තුන්දෙනෙක් සහ පුතෙක්. මේ හැමෝම මගේ ජීවිතය හැඩ කරන්නෝ. මගේ බිරිය හොඳ මවක්; හොඳ බිරිඳක්. එයා තමයි මට තියෙන ලොකුම හයිය.“

ජෝති වෙනුවෙන් ඉදිරියේදී කරන්නේ කුමක් දැයි විමසූ විට සුනෙත් කිව්වේ මේ වගේ කතාවක්.

“ මම හිතාගෙන ඉන්නවා ජෝතිපාල මහත්මයා වෙනුවෙන් උපහාර උත්සවයක් කරන්න මේ අවුරුද්දේ මාර්තු මාසයේදී. දැන් ඒකට තමයි ටික ටික සුදානම් වෙන්නේ. මට මේ තරම් දුරක් එන්නට උදව් කළ අය බොහෝමයි. විශේෂයෙන්ම මගේ අම්මා චන්ද්‍රා රූපවති, තාත්තා එස් එම් උදයරත්න, සහ අක්කා, අයියා මතක් කළ යුතුමයි. ඒ හැරෙන්න මා වටා සිටින රසිකයන්ගෙන් ලැබෙන දිරි ගැන්වීම තමයි හැමදාමත් මාව ඉදිරියට යන්න දිරිමත් කරන්නේ. ඒ හැමෝටම ස්තුතියි.

Comments