
අම්පාර මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සමීර රුවන්ප්‍රිය
මිනිස් ජීවන ගමන් මඟෙහි යනෙන අප සියල්ලන්ට ඕනෑම අවස්ථාවක දුක සතුට අත් විඳිනට සිදු වෙයි. එහෙත් ඔබ දීර්ඝකාලීනව සිතේ අසතුටෙන් පෙළෙන අයෙක්ද? මෙසේ පවත්නා සිතේ දුක් ස්වභාවය විශාදය රෝගය විය හැකිය. මේ පිළිබඳව අම්පාර මහ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සමීර රුවන්ප්‍රිය පැවසූ කරුණු ඇසුරෙන් මේ ලිපිය සැකසේ.
විශාදය අප ඕනෑම අයකුට ඇතිවිය හැකි බහුල රෝගයකි. මෙම රෝගය ඇති වන්නේ මොළයේ ඇති අක්‍රමිකතා හේතුවෙනි. ප්‍රධාන වශයෙන් ජානමය බලපෑම්, එදිනෙදා ජීවිතයේ පවත්නා අධික පීඩාකාරී දේවල් (Stressful),අධික ලෙස නිකරුණේ නිදි මැරීම (පරිගණක ක්‍රීඩාවලයෙදිම), ජීවිතයේ කඩා වැටීම් (රැකියා අහිමිවීම, ආදර සබඳතා බිඳ වැටීම්), අධික ලෙස යම් දේවල් ගැන සිතීම, පසු ප්‍රසව අවදියේදි කාන්තාවන්ගේ ශරීරයේ ඇතිවන හෝමෝන වෙනස්කම්, දිගුකාලීන කායික රෝග (දියවැඩියාව, අංශබාගය,ආතරයිටිස්, පිළිකා ) මානසික තුවාල (Traumatic events) ආදීන් ද රෝගය ඇති වීමේ ප්‍රවණතා තීව්‍ර කරලීමට බලපාන සාධක අතර වේ.
විශාදීය රෝග ලක්ෂණ
අධික තෙහෙට්ටුව.
ශරීරයේ ශක්තිය දුර්වල වීම.
නිතර නිදිමත ගතිය හෝ රාත්‍රියට නින්ද නොයාම.
කෑම අරුචිය.
තමන් ආශාවෙන් කරපු දේවල් එපා වීම
මතකය අඩුවීම, අවධානය අඩුවීම.
ජීවිතය එපාවීමේ ස්වභාවය,
සියදිවි නසාගැනීමේ සිතුවිලි.
ආතතීය රෝග ලක්ෂණ (බඩදැවිල්ල,උගුරකට වේළීම,හුස්ම ගැනීමට අපහසු ලෙස දැනීම)
මනසේ ඇතිවන නොසන්සුන් ස්වභාවය.
ඉහත රෝගය ලක්ෂණ තීව්‍ර වීමත් සමඟ සියදිවි හානිකර ගැනිම් වැනි අවාසනාවන්ත තත්ත්වයන්ට පුද්ගලයා පත්විය හැකිය. වයස් භේදයකින් තොරව ඇතිවිය හැකි විශාල පරාසයක රෝග ලක්ෂණ විහිදී ඇති විශාදය වර්තමානයේ මිනිස් ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බහුල රෝගයකි.
විශාදය රෝගයෙහි රෝගී අවස්ථාවන් තුනක් යටතේ හඳුන්වා දිය හැකිය.
සුළු විශාදය - රෝග ලක්ෂණ ස්වල්පයක් පෙන්වන අතර ගැඹුරින් ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවේ.
මනෝ චිකිත්සක සහා උපදේශන සේවා මඟින්
සුව කළ හැකිය.
මධ්‍යම විශාදය - මනෝ චිකිත්සක හා
ඖෂධ ප්‍රතිකාර සිදු කිරීම.
තීව්‍ර විශාදය -ඖෂධ මඟින් ප්‍රතිකාර ආරම්භ කර පසුව මනෝ චිකිත්සක ප්‍රතිකාරද ඇතුළත් කරයි.
රෝහල් ගතකර ප්‍රතිකාර කිරීමටද සිදුවිය හැකිය.
විශාදය රෝගයේදී මොළයේ සෙරටොනින් රසායනික ද්‍රව්‍ය ක්‍රියාත්මක වීමේ ඌණතාවයක් ඇති වේ. ඉහත කී බොහෝ ලක්ෂණවලට හේතුව එයයි. ඖෂධ මඟින් නැවත මොළයේ සෙරටනින් නිෂ්පාදනය හා භාවිතය කාර්යක්ෂම කර මොළයේ ස්නායු ආවේගවල ක්‍රියාකාරිත්වය නැවත යථා තත්ත්වයට පත් කිරීම කෙරේ.
මෙම ඖෂධ නියමිත මාත්‍රාවට ලබා ගැනීම තුළින් රෝගය සුවපත් වී ආවේග ක්‍රියාත්මක වීම කාර්යක්ෂම කරයි. වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගැනීමෙන් විශාදය නිසා දීර්ඝකාලීනව ඇතිවන කායික මානසික හා සමාජීය ගැටලු අවම කරගෙන පුද්ගල කාර්යක්ෂමතාව ළඟාකර ගත හැකිය.
මීට අමතරව අධි තීව්‍ර අවස්ථාවලදී රෝගියා රෝහල්ගත කර දැඩි රැකවරණය යටතේ ප්‍රතිකාර කරයි. විද්යුත් කම්පන ප්‍රතිකාරය මඟින් වඩා ආරක්ෂාකාරීව ඉක්මනින් රෝගියා සුව කරයි.
ඒ වගේම රෝගියාගේ සිතුවිලි හඳුනාගෙන මනසේ ඇතිවන සිතුවිලි හසුරවා ගැනීමට මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබාදෙයි.ඉහත ප්‍රතිකාර මඟින් රෝගියා එම රෝගයේ අවදානම් අවස්ථාවෙන් මුදාගෙන ක්‍රමානුකූලව රෝගියාගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සිදු කර සමාජයේ යහපත් ලෙස ජීවත් වීමට අවශ්‍ය ලෙස මනස හා ශරීරය ශක්තිමත් කරයි..
විශාදය මගහැර ගැනීම
පවුල් ජීවිතයේ දීර්ඝකාලීන ගැටලු ඇත්නම්
ඒවාට විසඳුම් සොයා ගැටලු විසඳා ගැනීම.
අයහපතක් ජීවන රටා අවම කර ගන්න.
(තරබාරුව, වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වීම,
සමාජ සබඳතා අඩුවීම)
ප්‍රමාණවත් ලෙස ව්‍යායාම්වල නිරත වීම.
විනෝදාංශයක යෙදීම.
සමාජශීලී වීම.
මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය පාලනය හෝ නවතා දැමීම.
මේ ආකාරයට ඔබේ කායික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම තුළින් විශාදය වැනි සුලබ මානසික රෝගවලින් මිදීමට හා අවම කර ගැනිමට හැකියාව පවතී. එමෙන්ම සියදිවි නසාගෙන හෙට ලෝකයට අහිමි වී යන වැඩදායී ජීවිත රැක ගැනීමට අවස්ථාව උදාවෙයි. ඔබට හෝ ඔබගේ හිතැතියන්ට විශාදය හෝ මානසික ගැටලු ඇත්නම් ළඟම රෝහලේ මනෝ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න. එසේත් නැතිනම් 1926 ගාස්තු රහිත පැය 24පුරා ක්‍රියාත්මක මානසික සෞඛ්‍ය දුරකථන සේවය අමතා ඔබගේ ගැටලු පවසන්න. ඔබගේ මානසික සෞඛ්‍ය මෙලෙස යහපත්ව පවත්වා ගැනීම තුළින් ඔබගෙත් ඔබගේ පවුලෙත් රටෙත් දියුණුව කරා ඉවහල් වන බව අමතක නොකරන්න.
සඳුනි අරුමප්පෙරුමාච්චි