ලොව පසිඳු සිත්තරාවියෝ 5ක් | සිළුමිණ

ලොව පසිඳු සිත්තරාවියෝ 5ක්

කලා ඉතිහාසයේ වැජඹෙන ඩාවින්සි, වැංගෝ, පිකාසෝ ආදී දැවැන්ත සිත්තර චරිත අතර ඔවුහු මතු නො වෙති. එසේ වුවද, ඔවුන්ගෙන් තොරව චිත්‍ර කලා ඉතිහාස සිතුවම පරිපූර්ණ කිරීම අසීරුය. සිත්තර ලෝකයේ ඔවුන් මතුවිය යුතු වන්නේ කාන්තාවන් නිසා ම නොව ඔවුන්ගේ නිර්මාණ හේතුවෙනි. ඒ වෙනුවට, බොහෝ දුරට සිදුව ඇත්තේ කාන්තාවන් වීම හේතුවෙන් ම ඔවුන් ඉතිහාසයෙන් ද යටපත්වීමය. ඔවුන්ගේ නිර්මාණ භාවිතාව විමසනවිට මේ යටපත්වීම විය යුතු ද යන පැනයට පිළිතුරු ලැබෙනු ඇත. සිත්තරාවියන්ගේ ජීවන තතු විමසන විට බොහෝ දෙනෙක් නිර්මාණ ලෝකයට පා තබා ඇත්තේ සිත්තර පියවරුන්ගේ ආභාසය ඔස්සේ බව ද පෙනී යන්නේය. එසේ ම විශ්ව කීර්තිධර සිත්තරුන්ගේ ආභාසය හා මඟ පෙන්වීම ද ඇතැමකු ට ලැබී තිබේ. මෙහි සිටින්නේ සිය නිර්මාණ විසින් ම යටපත් කළ නොහැකි ලෙස ඔසොවා තබනු ලැබූ ලෝ පරසිඳු සිත්තරාවියන් අතරින් පස්දෙනෙකි.

ෆ්‍රීඩා කාලෝ (1907 – 1954)

ෆ්‍රීඩා කාලෝ තරම් විසි වැනි සියවසේදී සම්භාවනාවට පාත්‍ර වූ අන් චිත්‍ර ශිල්පිනියක නොමැති තරම්ය. තරුණ වියේදීම හදිසි අනතුරකට ලක්වීමත්, සැමියා වූ දියාගෝ රිවෙරා සමඟ පැවැති කලබලකාරී සබැඳියාවත් හේතුවෙන් ඇයගේ කලාත්මක හැකියාව යම් කලක යටපත්ව තිබිණි.

ෆ්‍රීඩා වඩාත් ප්‍රචලිත වූයේ ස්වයං අලේඛ්‍ය සිතුවම් හේතුවෙනි. මානව ශරීරය සිතුවම් කිරීමේදී මෙන් ම, විවධ වූ මිනිස් සන්තාපයන් ප්‍රකට කිරීමේදී ඇය දැක්වූ දක්ෂතාව විශිෂ්ටය. ඇයගේ සිතුවම් වඩාත් ඉස්මතු වූයේ ඇයගේ මරණයෙන් අනතුරුවය. ඇය අතින් බිහිවූ විශිෂ්ට සිතුවම් ලොව පුරා මුල් පෙළේ කලාගාර හා කෞතුකාගාරවල ප්‍රදර්ශනය කෙරේ. ෆ්‍රීඩා ස්ත්‍රීවාදිනියක ලෙස ද ප්‍රකටය.


සොෆොනිස්බා ඇංග්විසෝලා

(1532 – 1625)

ඉතාලියානු පුනරුද යුගයේ බිහිවූ සිත්තරාවියකි. දිළිඳු වංශවත් පවුලක උපත ලැබුව ද ඇයගේ පියාට තිබූ අවශ්‍යතාව උනන්දුව මත ඇය මෙන් ම සොහොයුරියන්ට ද ආයතනගතව සෞන්දර්ය කලා අධ්‍යාපනයක් ලද හැකි විය. ප්‍රකට දේශීය චිත්‍ර ශිල්පීන් ඇසුරේ චිත්‍ර කලා විෂයය ප්‍රගුණ කිරීමට එහිදී අවස්ථාව සැලසිණි. ඇන්ග්විසෝලා තුළ තිබූ ප්‍රතිභාව ලෝ පරසිදු චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජිලෝගේ නිරීක්ෂණයට ලක් වූයේ, ඇය ඒ සිතුවම් ඔහු වෙත යොමු කළ බැවිනි.

ස්ත්‍රියක වූ බැවින් ඇයට මානව ශරීරය ව්‍යුහාත්මකව හැදෑරීමේදී මෙන්ම ප්‍රායෝගික ආදර්ශ ඇදිමේදී ද සදාචාරාත්මක සීමා බලපෑවේය. චිත්‍ර ශිල්පිනියක ලෙස ස්පාඤ්ඤයේ 2 වැනි පිලිප් රජ පවුල ආශ්‍රිතව ලැබූ අත්දැකීම් ඇයගේ සාර්ථකත්වයට හේතුවිණි. වසර 14ක් පමණ තිස්සේ ඇය රාජකීයන්ගේ හා වංශවතුන්ගේ ආලේඛ්‍ය සිතුවම් ඇදිමේ නිරත විය. මේ වන විට ඇයගේ සිතුවම් ලොව පුරා කලා එකතුවල දැකිය හැකිය.


එළිසබෙත් විගී ල' බ්‍රන් (1755 – 1842)

ප්‍රංශ චිත්‍ර ශිල්පිනී එළිසබෙත් විගී ල’ බ්‍රන් වඩාත් ප්‍රකට වූයේ අලේඛ්‍ය සිතුවම් ඇඳීමෙනි. අලේඛ්‍ය හා භූ දර්ශන 1000ට වඩා වැඩියෙන් ඇයගේ නිර්මාණ එකතුවට ඇතුළත්ය. චිත්‍ර කලාව කෙරෙහි නැඹුරුවීමට ඇයට බලපෑවේ පියාගේ ආභාසයයි. යොවුන් වියේදීම ඇයගේ නිර්මාණ කලා ලෝකයේ අවධානයට ලක්විය. ඇය වඩාත් ප්‍රචලිත වූයේ මාරි ඇන්ටොනයිට් බිසවගේ අලේඛ්‍ය සිතුවමත් සමඟයි.

රොසෝකෝ සම්ප්‍රදාය සහ නව සම්භාව්‍ය යුගය අතර පරතරය ඇයගේ නිර්මාණ විසින් පිරවූ බව විචාරක අදහසය. ප්‍රංශ විප්ලවයෙන් අනතුරුව රටින් පිටව සිටිමින් ද ඇය සිතුවම්කරණයේ යෙදිණි. යුරෝපය පුරා වංශවතුන් අතර ඇය ජනප්‍රියම චිත්‍ර ශිල්පිනියකි. බොහෝවිට ඉහළ ප්‍රභූ පැළැන්තිය සිත්තරුන්ගේ තෙළිතුඩින් දුටු එකල ඇයගේ නිර්මාණ විප්ලවීය ඒවා ලෙස සැලකේ.


රෝසා බොනෝවා (1822 – 1899)

බොහෝ චිත්‍ර ශිල්පිනියන්ගේ මෙන්ම රෝසා ගේ පියාණන් ද චිත්‍ර ශිල්පියෙකි. ප්‍රංස යථාර්ථවාදී චිත්‍ර ශිල්පිනියක වූ ඇය 19 වැනි සියවසේ බිහිවූ විශිෂ්ට සිත්තරාවියක ලෙස පිළිගැනේ.

ඇයගේ නිර්මාණ අතර කැපී පෙනෙන්නේ සතුන් නිරූපණය වන විශාල ප්‍රමාණයේ සිතුවම් ය. පැරිසියේ මෙන්ම අමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ද ඇය වරින්වර චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වූවාය.

සතුන්ගේ ස්වභාවික ඉරියව් හා හැසිරීම් චිත්‍රණය කරන ඇයගේ සිතුවම් බෙහෙවින් ස්වභාවිකය. කැන්වසය මත ඔවුන් මැවීමේදී ඇය පළ කළ ප්‍රතිභාව විශිෂ්ටය.

1850 ගණන්වල මැදභාගයේ පටන්ම ඇය ඇන්දේ පිරිමි ඇඳුම්ය. එසේ කිරීම සඳහා පොලිසියෙන් අවසර ලබා ගැනීමට පවා ඇයට සිදු විය. කලිසම් සහ ලිහිල් හැට්ට ඇඳීම හේතුවෙන් ඇය විවේචනයන්ට ද ලක්විය. එසේ වුවද, ජීවිත කාලය පුරාම ඇයගේ ඇඟලුම් එපරිදි විය. රෝසා නිර්මාණ ජීවිතය මෙන්ම පෞද්ලික ජීවිතය ද අවධානයට ලක්වූවකි. ඇය සමරිසි ජීවිතයට නැඹුරු වූ අයෙක්. එවකට එය රජය විසින් හෙළා දුටු චර්යාවක් විය. අනාගත චිත්‍ර ශිල්පිනියන්ට මාවත විවර කළ පුරෝගාමී සිත්තරාවියක ලෙස ඇය හැඳින්විය හැකිය.


මාරි කසාට් (1844 – 1926)

අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ උපත ලැබූ මාරි කසාට් චිත්‍ර ශිල්පය හැදෑරීම සඳහා ප්‍රංශයට සංක්‍රමණය වූ අතර ඉන් පසු වැඩි කාලයක් ජීවත් වූයේ එහිය.

ඒ වන විට ප්‍රංශ කලා ලෝකය උපස්ථිතිවාදයේ ආධිපත්‍යයට නතුව තිබිණි. පැරීසියේ උපස්ථිතිවාදී සිත්තරුන් සමඟ සිය නිර්මාණ ප්‍රදර්ශනය කළ එකම අමෙරිකානු සිත්තරාවිය මාරිය. නිර්මාණකරණයේදී ඇය හා එඩ්ගා කෙගාස් අතර සුසංයෝගය ප්‍රකටය.

කාන්තාවන්ගේ සමාජ ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය නිරූපණය කිරීමේදී ඇය බෙහෙවින් ඉස්මතු විය. විශේෂයෙන් මව සහ දරුවන් අතර වන සබැඳීයාව ඇයගේ සිතුවම් කෙරෙන් ප්‍රබලව දැක්විණි. ඇය චිත්‍ර ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ කාන්තාවන් සුළු ප්‍රමාණයක් පමණක් එම ක්ෂේත්‍රයේ නියැළෙන අවදියකය. චිත්‍ර කලා ලෝකයේ සුප්‍රකටම උපස්ථිතිවාදී චිත්‍ර ශිල්පිනිය ලෙස මෙන්ම ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටම චිත්‍ර ශිල්පිනියක ලෙස මාරි කසාට් සම්භාවනාවට ලක්වේ.

 ධම්මික සෙනෙවිරත්න

Comments