රත්නපුරයෙන් ඇරඹී කළුගං ඉවුර දිගේ ශ්‍රීපාදස්ථානය දෙසට දිවෙන මහා මාර්ගය මල්වල හන්දියේදී දෙකට බෙදෙයි. ඉන් එක් මාර්ගයක් කළුගඟ තරණය කොට වේවැල්වත්ත දෙසට යන ගමනේ හමුවන ගලබඩ මංසන්ධියෙන් වමට හැරී කඳු වලල්ලකින් වට වූ සුන්දර මාවතක් දිගේ ඉහළට නඟින්නට පටන්ගනී. දිව්‍යලෝකයේ පිවිසුම් මාර්ගය වැනි වූ මේ මාර්ගය, පුවක් වැටි වලින් මායිම්වූ සරුසාර තේ වතු අතරින් ශීඝ්‍ර බෑවුම් සහිත වංගු පසු කරමින් ඉදිරියට ඇදෙද්දී දෙපසින්ම පෙනෙන මිහිඳුම් වළල්ලෙන් හැඩ වූ කඳු පන්ති මාර්ගය දිගේ ඉදිරියට යාමට වඩා අතර මග නවතා ගැනීමට තැත් කරයි.
ඇතැම් තැනකදී ගමනේ යෙදෙන රථවාහන ඉදිරියට ගොස් යළි පසු පසට පැමිණ හරවා ගත යුතු ඍජු වංගු පසුකරමින් ඉදිරියට ඇදෙන මේ මාර්ගය වතු සමාගමක දැවැත්ත තේවත්තක් මැදින් ගොස් සුන්දර තෙත් කලාපීය වන ගොමුවකට රිංගා ගනී.
එසේ අඳුරු වන බිම මැදින් ඉදිරියට ඇදෙන මේ මාර්ගයේ අවසන කුඩා කඩ මණ්ඩියකි. එය තවමත් ගමක පිහිටි කුඩා කඩ මණ්ඩියකට හිමි චමත්කාරය රැකගෙන සිටී. ඒ වන ගොමුවත් කඩ මණ්ඩියත් අතරින් රත් පැහැයෙන් බබළන සුන්දර ගංගාවක් ගලා යයි. කළුගඟේ ප්‍රධාන අතු ගංගාවක් වූ මේ ගංගාව, ගඟෙහි වූ රක්ත වර්ණ ගල්කුළු නිසා රත්ගඟ යයි නම් ලබා තිබේ. මේ සුන්දර රත්ගඟටත් වඩා රත්ගඟ වර්තමානයේ ප්‍රසිද්ධ වී පවතින්නේ රත්ගං ඉවුරේ, රත්ගඟත් වන ගොමුවත් අතර ඉදි වූ සුන්දර විහාරස්ථානයක් නිසාය. සුන්දර පරිසරයකට හිමිකම් කී නමුත් රත්නපුරයේ ඈත කෙළවරක දුෂ්කර කුඩා ගම්මානයක් වූ රත්ගඟ ගම ලෝකයාට විවෘත වූයේ ද මේ විහාරය නිසා ය. රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ, 162 එෆ් - රත්ගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ රත්ගඟ ගමෙහි ඉදිවූ මෙම නූතන විහාරය රට පුරා වඩාත් ප්‍රකට වී පවතින්නේ රත්ගඟ “පුංචි දඹදිව” ලෙසිනි.
රත්ගඟ ග්‍රාමයේ දැව සංස්ථාවට දැව ලබා ගැනීමට සකස් කළ මාර්ගයක අවසානයේ වනාන්තරයත් රත්ගඟත් අතර පිහිටි මනරම් භූමියක මේ විහාරයේ ආරම්භය සිදුවන්නේ වර්ෂ 1981ක් වූ අප්‍රේල් මස 14 වැනිදා යෙදුනු සිංහල අලුත් අවුරුදු දිනයකදීය. රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානය අද වනවිට ඉන්දියාවේ දඹදිව සිද්ධස්ථානයන්හි ආකෘති මෙරටදීම දැක බලා වන්දනා කිරීමට හැකි විහාරස්ථානයකි. මෙම විහාරය “පුංචි දඹදිව” යන නාමයෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ ද දඹදිව ආකෘති මෙහි නිර්මාණය කිරීමය. මේ නිසා දඹදිව වන්දනාවේ යාමට නොහැකි අයකුට දඹදිව සිද්ධස්ථානයන් මෙරටදීම වන්දනා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවී තිබේ.
මේ විහාරයට පිළිබඳ බොහෝ පිරිසකගේ මතකයේ පවතින්නේ විශාල ජනකායක් ගැවසෙන, විශාල රථගාල්, කඩ සාප්පු, විසිතුරු තොරොම්බල් බඩු විකුණන වෙෙළඳ කුටි වලින් වටවූ කෘතිම නගරයකට මැදිවුණු විහාරයක් ලෙසිනි.
සැබැවින්ම එවැනි ස්වරූපයක් කලකට පෙර මෙහි පැවති අතර වතු ආශ්‍රිත ජනතාව ආගිය කුඩා කඩමණ්ඩියක් පමණක් වූ රත්ගඟ ගම කඩමණ්ඩියට, මේ විහාරය කරා පැමිණි අතිවිශාල ජනතාව නිසා කෘතිම නගරයක් ලෙස දියුණු වීමටද හැකිවිය. එසේ පැමිණි ජනතාව ඉලක්ක කරගනිමින් ඉදිවුණු තාවකාලික සල්පිල්, රථගාල්, ආපනශාලා ආදියද මෙහි බොහෝ විය. මේ නිසා සුන්දර ගමක බිහිවුණු අසුන්දර නගරයකට පැමිණියාක් වැනි හැඟීමක්ද මෙහි පැමිණෙන පුද්ගලයන් තුළ ඇතිවී තිබුණි.නමුත් අද වන විට ඒ සියල්ල ස්වාභාවිකවම යටපත්වී, පුංචි දඹදිවට සොබාදහමින් ලැබුනු සෞන්දර්යාත්මක අගය සොබාදහමින්ම යළි ලබා දී තිබේ. එදා ඉදිවුණු තාවකාලික කඩපේළි ඉවත්වී පරිසරය නිදහස් වෙද්දී ඉදිවී තිබූ රථගාල් සුන්දර වන ගොමු බවට පත්ව තිබේ. එදා මහා ජනකායක් ගැවසුණු පුංචි දඹදිව විහාරය අද වනවිට නිහඬ නිසංසල හුදකලා විහාරයක් බවට පත්ව තිබේ.
අද මෙම විහාරයට එන අයකුට දඹදිව සිට මෙරටට වැඩම කළ ජය ශ්‍රී මහා බෝධීවන්සේගේ ශාඛාව, ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකළ බුද්ධගයා මහා විහාරයෙහි අනුරුව, අසූමහ ශ්‍රාවක පස්විසි බුදුරජ මහ විහාරය, දෙමහල් චෛත්‍ය, පිරිනිවන් මංචකය, මිනිසකුගේ උසින් අඩකින් පමණ වන කුඩා දොරටුවකින් රිංගා ප්‍රවේශ විය යුතු දුර්ගේෂ්වරී අනුරූ විහාර මන්දිරය ආදී විහාරාංග රැසක් වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිව තිබේ. රත්ගඟ පුංචි දඹදිව විහාරස්ථානයේ සිට කොයිදෙස බැලූවද, බැලූ බැලූ අත දිස්වන්නේ මීදුමෙන් වැසුණු හරිත වර්ණ කඳුවැටි ය. ඈතින් දිස්වන කඳුවැටි වලින් ගලා හැලෙන දිය ඇලි සුදෝ සුදු පෙණ වලාවන් මෙන් කඳු වැටි අතරින් දිස්වෙයි. සිහින් හඬක් නඟමින් පිරිසිදු ජලය පිරි රත්ගඟ විහාර මායිමෙන් ගලා යන්නේ රක්ත වර්ණ ගංගාවේ අසිරිය කඩිනමින් කළුගං කොමළියට ලබා දීමටය. මේ සුන්දර භූමිය කොළඹ නගරයේ සිට පවා එක් දිනකින් පැමිණ යා හැකි ගමනාන්තයකි. එබැවින් එය සංචාරයට බර වන්දනාකරුවකු අත් නොහැරිය යුතුම ගමනකි.
ගමන් මාර්ගය
රත්නපුර නගරයෙන් ඇරඹෙන බී 391 මාර්ගයේ මල්වල හරහා ගලබඩ මංසන්දියට පැමිණ එතැනින් රත්ගඟ මාර්ගයෙන් හෝ රත්නපුරයේ සිට මාර්ග අංක 478/4 රත්නපුර - රත්ගඟ බසයක නොමැති නම් රත්ගඟ හරහා පොල්වත්ත හෝ වැලිකුඹුර බස් රථයක පැමිණ මෙම ස්ථානයට ළඟා විය හැකිය.
අසිරු වේදිත කරුණාරත්න