මගේ සාර්ථකත්වය පිටුපස ඇත්තේ ඉලක්ක පසුපස හඹා යෑමයි | සිළුමිණ

මගේ සාර්ථකත්වය පිටුපස ඇත්තේ ඉලක්ක පසුපස හඹා යෑමයි

කැල්ගරි විශ්වවිද්‍යාලයයේ අන්තර්ජාතික සහ පර්යේෂණ කටයුතු පිළිබඳ උප කුලපති, වරලත් ඉංජිනේරු සහ වරලත් ප්‍රමාණ සමීක්ෂක, මහාචාර්ය ජානක රුවන්පුර

වසර විසි හයක් තිස්සේ මේ මහපොළොවෙන් දුරස්වී ලේ ඥාති කිසිවකුත් නොමැති රටක බිරියත්, එක ම පුතුත් සමඟ හුදෙකලා වූ ජීවිතයේ ඉඩහසර ලැබෙන නිමේෂය උපන් දෙරණේ බතක් මාළුවක රස බලා යන්න ඔහු අමතක කරන්නේ නැත. ඔහු මට හමුවන්නේ එවන් නිමේෂයකදී ය. කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයයේ අන්තර්ජාතික සහ පර්යේෂණ කටයුතු පිළිබඳ උප කුලපති, වරලත් ඉංජිනේරු සහ වරලත් ප්‍රමාණ සමීක්ෂකවරයෙක් මෙන් ම සැලසුම් පරිපාලන පීඨයේ හිටපු අධ්‍යක්ෂවරයා වන මහාචාර්ය ජානක රුවන්පුර කොළඹ නාලන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්වවිද්‍යාලයටත්, කැනඩාවේ ඇල්බර්ටා විශ්වවිද්‍යාලයටත් උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලද මහාචාර්ය රුවන්පුර කොළඹ ආයුර්වේද මහා රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරි වෛද්‍ය ආර්.පී. සිරිසේන සහ නන්දා සිරිසේන යුවළගේ එක ම දරුවා ය. සිතූ පැතූ සැප සම්පත් රිසි සේ භුක්ති විඳිමින් සිටි ඔහුට වයස අවුරුදු 22 දී පියා අහිමි වන්නේ ය. බැලුමක නැඟී අවට සිරි නරඹමින් මහත් වූ ප්‍රීති ප්‍රමෝදයකින් උස් අහසට නැඟ යද්දී කුරුලු තුඩකින් සිදුරු වී බැලුම පිපිරී එක් වර ම සමතලා පොළොව මත ඇද වැටුණාක් මෙන් සිය පියා මෙලොව හැරදා යාමෙන් මෙලෝ හසරක් නොදත් පවුල් බර ඔහුගේ උර මත පතිත වුණි. පැවරෙන කාර්ය නිසි ලෙස ඉටු කරන්නට කුඩා කල පටන් ඔහු තුළ වූ හුරුව සහ තිර අදිටන මෙකී සංකීර්ණවූ අභියෝගය ජය ගැනීම උදෙසා ඉවහල් වුණි.

"මම 1992 දී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධියක් ලබා ගත්තා. එහිදී වසර හතරම "Batch Top" (වසරේ ඉහළම ශිෂ්‍යයා) වුණා. අවසන් වසරේ හොඳ ම ශිෂ්‍යයා සඳහා කල්දේරා අනුස්මරණ සම්මානයත්, වසරේ හොඳම උපාධිධාරියා සඳහා වන ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනයේ සම්මානයත් 1992 දී මට ලැබුණා. මම 1992 සිට 1995 දක්වා මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළා. ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත්කරුවන් සහ සමාගම් ගණනාවක් සඳහා උපදේශකයකු ලෙසත්, ශ්‍රී ලංකාවේ ප්‍රමාණ සමීක්ෂණ ආයතනයක ව්‍යාපෘති ආරම්භක කළමනාකරු ලෙසත් මම සේවය කළා. එක්සත් ජනපද ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ශිෂ්‍යත්වය මට ලැබුණේ 1994 දී. ඒ අනුව ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී ශාස්ත්‍රපති උපාධියක් හැදෑරීමට මම එහි ගිහින් 1997 දී එම උපාධිය ලබා ගත්තා. ඉදිකිරීම් ඉංජිනේරු සහ කළමනාකරණය පිළිබඳ ලොව ඉහළම මහාචාර්යවරයකු වූ මහාචාර්ය සයිමන් අබු රිස්ක් යටතේ ආචාර්ය උපාධිය ලැබුවා.

ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ විශේෂඥ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු ලෙස 2001 දී කැල්ගරි විශ්වවිද්‍යාලයට එක් වුණා. 2006 දී සහකාර මහාචාර්යවරයකු ලෙසට උසස් කෙරුණා. 2007 දී ව්‍යාපෘති කළමනාකරණ පද්ධති පිළිබඳ කැනඩා පර්යේෂණ මහාචාර්යවරයකු ලෙස මාව නම් කෙරුණා. 2012 දී එය තවත් වසර 5කට අලුත් කළා. 2011 දී පූර්ණ මහාචාර්යවරයෙක් බවට පත් වුණා. 2005 වසරේ සිට ව්‍යාපෘති කළමනාකරණ විශේෂඥතාවේ අධ්‍යක්ෂවරයා වුණා. 2011 දී Schulich School of Engineering හි ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වුණා. 2013 දී මහාචාර්ය ධූරයෙන් තවත් ඉහළට යන්න හැකි වීමෙන් ජාත්‍යන්තර උපාය මාර්ගයට නායකත්වය දීමට සුදුස්සෙක් වුණා. එම ජ්‍යෙෂ්ඨ නායක තනතුර බාරගැනීම සඳහා මම කැනඩා පර්යේෂණ මහාචාර්ය ධුරයෙන් ඉල්ලා අස්වුණා. කැල්ගරි විශ්වවිද්‍යාලය 2020 දී මාව ද්විත්ව භූමිකාවක් සඳහා පත් කිරීම නිසා අතිරේක උපකුලපති ලෙස අන්තර්ජාතික සහ පර්යේෂණ විෂයයෙහි නිරත වෙනවා."

මහාචාර්ය ජානක රුවන්පුර ශ්‍රී ලාංකිකයෙක් මෙන් ම කැනේඩියාවේ ද පුරවැසිභාවය ඇති අයෙකි. ඇල්බර්ටා හි බලපත්‍රලාභී වෘත්තීය ඉංජිනේරුවෙක් (P.Eng) සහ කැනඩාවේ වෘත්තීය ප්‍රමාණ සමීක්ෂක (PQS) සේ ම එක්සත් රාජධානියේ (MRICS) වරලත් මිනින්දෝරුවරුන්ගේ රාජකීය ආයතනයේ වෘත්තීය/වරලත් සාමාජිකයෙකි.

එසේ ම ඔහු කැනේඩියානු සිවිල් ඉංජිනේරු සංගමයේ (FCSCE) සාමාජිකයෙකි. 2021 දී එක්සත් ජනපදයේ ඉදිකිරීම් ජාතික ඇකඩමියේ සාමාජිකයකු ලෙස ඇතුළත් වූ ඔහු යටිතල පහසුකම් ඔරොත්තු දීමේ හා ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාත්‍යන්තර ආයතනයේ කැඳවුම්කරු ද වූයේ ය.

සුනාමියෙන් බලපෑමට ලක් වූ හෝ ඌන සංවර්ධිත කලාපවල අලුත් කිරීම් සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති සඳහා ද ප්‍රධානියකු වන ඔහු රාජ්‍ය හා ඉඩම් ප්‍රදාන විශ්වවිද්‍යාල සංගමයේ (APLU) ජාත්‍යන්තර මුලපිරීම් විධායක කමිටුවේ විධායක සභාපතිවරයා ලෙස ඡන්දයෙන් පත් විය. APLU හි එක් කොමිෂන් සභාවක සහ විධායක කමිටුවේ මුලසුන දැරූ පළමු කැනේඩියානු සාමාජිකයා ද වන ඔහු 2020 නොවැම්බර් සිට ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැනේඩියානු කාර්යාංශයේ මණ්ඩල සාමාජිකයෙකි.

උපාධිධාරී සිසුන් 150 කට අධික පිරිසකට උපදේශකත්වය සහ අධීක්ෂණය ලබා දී ඇති ඔහු ඉදිකිරීම් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ ව්‍යාපෘති කළමනාකරණය යන ක්ෂේත්‍රවල ඉංජිනේරු සහ තාක්ෂණයේ හොඳම භාවිත සහ මෙවලම් සංවර්ධනය කිරීමට ද නායකත්වය දුන්නේය. විනිසුරු සඟරා පත්‍රිකා සහ සම්මන්ත්‍රණ පත්‍රිකාවල තාක්ෂණික ලිපි 180 කට වඩා ප්‍රකාශයට පත් කර, ප්‍රධාන දේශන 15ක්, ඉදිරිපත් කිරීම් සහ වැඩමුළු 200කට අධික ප්‍රමාණයක් පවත්වා ඇති මහාචාර්ය ජානක රුවන්පුර අවදානම් සහ ව්‍යාපෘති කළමනාකරණයට අදාළ බොහෝ නව්‍ය මෙවලම් සහ ක්‍රියාවලීන් දියුණු කිරීම නිසා කැනේඩියානු සමාගම්, සංගම් සහ සංවිධාන රැසක ද බොහෝ රටවල් සඳහා ද ඔහුගේ උපදේශන, වෘත්තීය සහ පුහුණු සේවා ලබා දී ඇත.

“ගෝලීය ඉගෙනුම්, පර්යේෂණ සහ නියැළීම් සඳහා වන කීර්තිමත් ආයතනික සම්මානය ඇතුළු විශිෂ්ටතා සහ නවෝත්පාදන සම්මාන රැසක් කැල්ගරි විශ්වවිද්‍යාලයයට දිනා ගැනීමේදී ඒ වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් සහ නායකත්වයක් ලබා දීමට මට හැකි වුණා. ජාත්‍යන්තර සබඳතා වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් කැල්ගරි විශ්වවිද්‍යාලයීය විශේෂ ඇගයුමට පාත්‍ර වී තිබෙනවා. චීනයේ විද්‍යා සහ ඉංජිනේරු උපාධි අපේක්ෂකයන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතු නිවසේ සිට ම ආරම්භ කර සම්පූර්ණ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණ කාර්යයේදීත්, බලශක්තිය පිළිබඳ නව ගෝලීය පර්යේෂණ අඩවියක් වර්ග මීටර් 4000ක නව ඉඩක පර්යේෂණාගාර 7 ක් සහ පුහුණු කාමරයක් සහිත ව චීන සමාගමක පරිත්‍යාගයකින් ස්ථාපිත කිරීමේදීත්, මෙක්සිකානු බලශක්ති අමාත්‍යාංශය හවුල්කාරිත්වයෙන් බලශක්ති අංශය නංවාලීම සඳහා දිගුකාලීන හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේදීත්, කැල්ගරි විශ්වවිද්‍යාලයයේ සිසුන්, පීඨ සහ පරිපාලන කාර්ය මණ්ඩලය සඳහා ජාත්‍යන්තර අධ්‍යාපනය, පර්යේෂණ සහ පුහුණුව දිරිගැන්වීම සඳහා පුළුල් අවස්ථා ගොඩනැංවීමේදීත් පුළුල් දායකත්වයක් කැල්ගරි විශ්වවිද්‍යාලයය වෙනුවෙන් ලබා දෙන්න මට හැකි වුණා. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ දරුවන් කිහිප දෙනෙකුට කැනඩාවට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දීමටත්, කැනඩාවේ ළමයින් කිහිපදෙනෙකුට මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමටත් අවස්ථාව ලබා දුන්නා.

උපන් රට වෙනුවෙනුත්, ජීවත් වන රට වෙනුවෙනුත් ඉතා කෙටි කාලයක් ඇතුළත විශාල වැඩ කොටසක් කරන්න මට හැකි වීම ගැන ඇත්තට ම ලොකු සතුටක් දැනෙනවා."

කැල්ගරි විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර කීර්තියට, ගෞරව සම්මානයට පාත්‍ර වෙද්දී මහාචාර්ය ජානක රුවන්පුර ද නිරතුරුව ම සම්මාන ගෞරවයට පාත්‍ර විය. ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වූ කැනේඩියානු කාර්යාංශයෙන් "අධ්‍යක්ෂ මණ්ඩල නායකත්ව සම්මානය" (2020) ද කැල්ගරි නගරයේ සම්මාන උළෙලේ (2020.06.15) "ජාත්‍යන්තර ජයග්‍රහණ සම්මානය" ද ඇරිසෝනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ "කීර්තිමත් ඉදිකිරීම් ආදි ශිෂ්‍ය" සම්මානය ද ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා පදනමෙන් "ජීවිත කාලීන ජයග්‍රහණ" සම්මානය (2016.11.20) ද සංක්‍රමණ සම්මාන උළෙලේ (2016.03.20) "විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය" සම්මානය ද කැනඩාවේ ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාවේ දියුණුව සහ භාවිතය සඳහා කැපී පෙනෙන දායකත්වය වෙනුවෙන් 2012 දී කැනේඩියානු සිවිල් ඉංජිනේරු සංගමයේ Walter Shanly වෘත්තීය සම්මානය ද ආදි වශයෙන් ඔහු සම්මාන රැසකට හිමිකම් කීවේ ය. Walter Shanly වෘත්තීය සම්මානය දිනූ ළාබාලතම විද්‍යාඥයා වූයේ ද ඔහු ය. එසේ ම ලොස් ඇන්ජලිස් හි ශ්‍රී ලංකා පදනමෙන් ඔහුට සම්මානය හිමි වෙද්දී ඔහුගේ වයස අවුරුදු 50ක් පමණ විය. සාමාන්‍යයෙන් එම සම්මානය ලබන්නට බොහෝ අයට හැකි වන්නේ වයස අවුරුදු 70, 80 වැනි කාලයේදී ය.

ඔහු බොහෝ දේ ළඟා කරගත්තේ නිසි වයසට පෙරදී ය. සැන් ඇන්ටෝනියෝ හි පැවති 2012 වාර්ෂික රැස්වීමේදී කීර්තිමත් බ්‍රයන් ඩී ඩන්ෆීල්ඩ් අධ්‍යාපනික සේවා සම්මානය හිමි කර ගනිමින් එය දිනා ගත් පළමු කැනේඩියානුවා වීමේ භාග්‍ය උදා කර ගනු ලැබුවේ ද මහාචාර්ය ජානක රුවන්පුර විසිනි. මෙකී සම්මානවලට අමතරව කැල්ගරි විශ්වවිද්‍යාලයෙන් ද ඔහුට සම්මාන රාශියක් පිරිනැමිණි.

බැරි වැඩ බාර නොගෙන ඉන්නත්, බාරගත් වැඩක් අන් අය බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ට ලෙස නිම කිරීමටත් මහාචාර්ය ජානකට හුරුව ලැබුණේ පාසලෙනි.

"අභියෝග ජය ගන්න මට ඉලක්ක තිබුණා. ඉලක්ක මං හදා ගත්තා. බයක් නැතුව යමක් කරන්නත්, අධිෂ්ඨානයක් එක්ක වැඩ කරන්නත් මට හැකියාවක් තිබුණා. කිසි ම දෙයක් උඩින් පල්ලෙන් නැතුව ගැඹුරට ම ගිහින් සොයා බලා හරියට කිරීමේ වුවමනාවක් මට තිබුණා. පාසලේ බෞද්ධ සංගමයේ නායකත්වය දරමින් කාර්ය ඉටු කිරීමේදීත්, ශිෂ්‍ය නායකයකු ලෙසත්, තවත් බොහෝ කාර්යන්හීදී නායකත්වය පිළිබඳ අත්දැකීම් සහ පුහුණුව මට පාසලෙන් ලැබුණා. අද මම ලබා ඇති සියලු ජයග්‍රහණ, සම්මාන, තනතුරු, කාර්යක්ෂමතාවට හේතුව එය යි. ඒ සම්මාන මාව පුදුමයට පත් කළ ඒවා යි. හැම දෙයකින් ම මගේ ගමනට ශක්තියක් ලැබුණා. ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනවා. මගෙන් මං ජීවත් වන රටටත්, මගේ සේවය ලබා ගන්නා කැල්ගරි විශ්වවිද්‍යාලයයටත්, ඒ හරහා ලෝකයේ අනෙකුත් රටවල අදාළ ක්ෂේත්‍රයන්ටත් යහපතක් ඉටු වෙනවා කියා මට සතුටු විය හැකියි. මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ අයෙක් නෙවෙයි. නමුත් ජයග්‍රණ එකින් එක මගේ දෑත මත රැඳෙද්දී එයින් මා ඉහළට ඔසවා තැබීමට ධෛර්යය හා උත්ප්‍රේරණය ලැබුණා.

අපේ සෑම දරුවෙක් ම මේ ආදර්ශය හිතට ගත්තොත් අපේ රට තවමත් පරාජිත නෑ. මෝරපු, දිරා ගිය අතු නවන්නට නොගොස් ළමා සහ තරුණ දරුවන් ජීවිතය ජය ගන්න තමන්ගේ ඉලක්ක තමන් විසින් ම ගොඩ නඟාගෙන ගමනක් යා යුතුයි. දෙමව්පියන් කළ යුත්තේ දරුවන්ට සාර්ථක ව යා හැකි ගමනට හැකිතරම් දරුවන් ව උනන්දු කරවීමයි. මගේ ජීවිතයෙන් මා උපන් රටේ දරුවන්ට ගත හැකි ආදර්ශය එයයි. මගේ ජීවිත ගමනට බිරිය සේනානිගෙන් ලැබෙන සහාය ගැන කිව යුතු ම යි. ඇය මං වෙනුවෙන් ජීවිතයේ බොහෝ දේ කැප කර මගේ ජයග්‍රහණවල සෙවණැල්ලක් වී සිටිනවා. අපේ පුතා සෙනුර කැල්ගරි විශ්වවිද්‍යාලයයේ ම පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරනවා. කාර්ය බහුල වුණත් අපි සතුටින් ඉන්නවා."

 තුෂාරී කළුබෝවිල

Comments