
රුසියාවේ විප්ලවයට කලින් අතිප්‍රබල ලේඛක පරපුරක් හිටියා. ඇලෙක්සැන්ඩර් කැප්රින් එයින් කෙනෙක්. ඔහුගේ අපූරු කෙටි කතාවක් තිබෙනවා. ඒ කෙටිකතාවෙ නම ‘රත්මිණි වළල්ල‘.
එක්තරා විවාහක ගැහැනියකට ඇගේ සෑම උපන් දිනයකම තැපෑලෙන් තෑග්ගක් ලැබෙනවා. බොහෝ විට එය වටිනා ස්වර්ණාභරණයක්. එවූ කෙනාගෙ නම සඳහන් වෙන්නෙ නෑ. ඇගේ සැමියාට මෙය ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඔහු මේ ගැන හොයන්න පටන් ගන්නවා. තැපැල් කන්තෝරුව මාර්ගයෙන් ඔහුව සොයාගත් ඇගේ සැමියා ඔහුට මරණීය තර්ජන එල්ල කරනවා. ටික දවසකින් ඇයට තැපෑලෙන් ලියුමක් ලැබෙනවා. ඒ ලියුමෙ සාරාංශෙ මෙන්න මෙහෙමයි. ඒ ලියුම අතිශයින් ශෝකජනක ලියමනක්.
ඇය විවාහක ගැහැනියක වුණත් තමා ඇයට යටි මනසින් ආදරය කළ බව එහි සඳහන් වෙනවා. ඒ වගේ ම මේ ලිපිය ඇය අතට පත්වන විට තමා ජීවතුන් අතර නොමැති බවත් තමාගේ මළගමට පැමිණෙන ලෙසත් එහි සඳහන් වෙනවා. තමන්ගෙ ලිපිනය සඳහන් කරලා ඔහු කරන ආයාචනය ඉතාම බැගෑපත්.
ඇය දක්ෂ පියානෝ වාදිකාවක් බව ඔහු දැනන් ඉඳලා තියෙනවා. ඔහුගෙ ලිපියෙ අපූරු දෙයක් තිබෙනවා. ඔහුගේ මළකඳ තිබෙන කාමරයේ එක්තරා තැනක ‘බිතෝවන්‘ නැමැති සංගීතඥයාගේ ස්වර ප්‍රස්තාරයක් තිබෙන බවත් එය රැගෙන ගොස් වාදනය කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා. ඒ වාදනය තුළින් ඔහු තුළ ඇයට පැවැති ආදරය හඳුනා ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.
සැබැවින් ම ඇය ඒක කරනවා. ඇය ඒ ස්වර ප්‍රස්තාරය වයද්දී ඇගේ ඇසින් ඔහු වෙනුවෙන් කඳුළු බිංදුවක් වැටෙනවා.
ප්‍රේමය නැමැති හැඟීම අතිශයින් පුදුමාකාරයි. තමා පෙම් කරන තැනැත්තා හෝ තැනැත්තිය තමා සතු කරගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ වගේ ම අන්සතු බව දැන දැනම හෝ නොදැන ඇතැමුන් තුළ ප්‍රේමණීය හැඟීම් පහළ වෙනවා. අවසානයේ එය කඳුළක් පමණක් ඉතිරි කරනවා. විශේෂයෙන් ම පාසල් සමයේ මේ වගේ අත්දැකීම්වලට අප මුහුණ දෙනවා. මේ ගීයෙන් උත්සාහ කරන්නෙ එවැනි පරාජිත පෙම්වතෙකුගේ හිත හදන්න.
“සීතල සඳ එළියේ
පිපුණ සුවඳ මලේ
නෑඹුල් සුවඳ පැතූ
බමරෝ නුඹ නාඬන්“
සඳ එළියේ පිපුණු මල මොන තරම් සුන්දර වුණත් ඒ මලෙන් රොන් ගන්නා බමරෙකු ඉන්නවා. ඒ නිසා නෑඹුල් සුවඳක් ඔහුට ලබන්නට බෑ. ඔහු හිතින් හඬා වැටෙන විට ඒ හිත හදන්නට රචකයා උත්සාහ කරනවා.
පාසල් යන වයසෙදි මාත් මේ අත්දැකීම ලබල තියෙනවා. ගැහැනු ළමයෙකු සමඟ හාද වෙන්න මාත් සෑහෙන්න උත්සාහ කළා. පස්සෙ තමා දන්නේ ඒ ළමයට යාළු පිරිමි ළමයෙක් ඉන්න බව. ඒ පිරිමි ළමයම ඇවිත් මට කාරණේ පැහැදිලි කරලා දුන්නා. ඒ කාලෙ වින්ද ශෝක රසයත් අද සුන්දරයි. පුන්සිරි සොයිසාගෙ එක් ගීයක් තියෙනවා අද වගේ ම එදත් ජනප්‍රිය.
“බිඳුවක් ඉවසා අහන්න හිතවත
අහන්න හිතවත ඈ මගෙ පෙම්වතියයි
කිසිදා නොලබන පෙමක් පතා ඔබ
ඈ රිදවනු වැරදියි“
ප්‍රේමය ලබාගන්න ගහ මරා ගන්න සමාජයට මේ ගීත සෙත් කවි බවට පත් වුණා. වන රේඛා අතරින් මලානික හඳ එළියක් ගලා එන මොහොතක රෑ සිහිනෙන් මුව ගෑ අඳුනකට මේ අහිමි ප්‍රේමය රචකයා සමාන කර තිබෙනවා.
සදා හරිත වන රේඛා අතරේ
මලානිකව ගලනා හඳ එළියේ
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බමරෝ නුඹ නාඬන්
මේ බමරාට වැලපීමෙන් ප්‍රයෝජනයක් නැති බව රචකයා පුන පුනා ප්‍රකාශ කරනවා. නව යෞවනය තුළ හිත් හදා ගැනීමේ කලාව රචකයා යොවුන් සිතට පුරුදු කරනවා. ඇසේ කඳුළු වියළවා හරින්න රචකයාට පුළුවන්. ඔහුට මේ පෙම්වතා ගැන තිබෙන්නෙ අනුකම්පාවක්.
සඳලුතලාවේ මුනින්තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නේ
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බමරෝ නුඹ නාඬන්
මිනිස් ජීවිතය ලැබීම් සහ නොලැබීම්වලින් සමන්විතයි.
“වැටෙන් එහා මල් පඳුරේ
නුඹ පිපී වැනෙයි අත නුදුරේ
මිලින වුණත් ගන අඳුරේ
මල් නෙළන්න නම් තහනම්
(සුනිල් ආරියරත්න)
මල් සහ බමරු අතර ගනුදෙනුව අතිශයින් සංකීර්ණයි. ලෝකය අපට ඕනෑ විදිහටම කරකවන්න බෑ. විඳීම් සහ විඳවීම් සමබරව බාරගන්න වෙනවා. ගුණදාස කපුගේ මහත්තයාගේ ශෝකී හඬ, හඩ්සන් මහත්තයාගෙ වචනවලින් කියා පාන්නේ ඒ ධර්මතාවයම තමයි.