කලා ලොව හඬවා නික්ම ගිය කලාකරුවෝ තිදෙනා | සිළුමිණ

කලා ලොව හඬවා නික්ම ගිය කලාකරුවෝ තිදෙනා

ගාමිණී අම්බ­ල­න්ගොඩ, රොබින් ප්‍රනාන්දු සහ ඩෙස්මන් ද සිල්වා

එක්වරම නිහඬ වූ බයිලා රජ්ජුරුවෝ

බයිලා ගායනය අපේ රටට පැමිණෙන්නේ පෘතුගීසීන්ගෙන්. බයිලා ගායන සංගීතයේ බොහෝ තාල රූප අයත් වන්නේ වේග රිද්මයටයි. බයිලා ගීතවල බොහෝ පද සංකල්පනා මඟින් ප්‍රකාශ වන්නේත්, සිත් සතුටු කරන අදහස්. අද වගේම එදත් බොහෝ සාද, ප්‍රිය සම්භාෂණ මෙන්ම විනෝද ගමන් වලිදී බයිලා ගායන වලට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. පෘතුගීසීන් ගෙන ආ බයිලා කලාවට නව ප්‍රවේශයක් ලබා දී පෙරට ගැනීමට මූලික වූයේ වොලී බැස්ටියන්.

පසුව ඔහු බයිලා කලාව අපේ රටට ඔබින ලෙස වෙනස් කළා. බයිලා කලාව අපූර්වත්වයෙන් යුත් ගීත ශෛලියක් බවට පත් කළේ එම්. එස් ප්‍රනාන්දුයි. ඔහුව හඳුන්වන්නේ “බයිලා චක්‍රවර්තී” නමින්. ඊට නොදෙවෙනිව තවත් ශෛලියකින් බයිලා කලාව අපේ රටේ ගීත ලෝලීන් අතරට රැගෙන අවේ, ඩෙස්මන් ද සිල්වායි. ඔහු බයිලා කලාවෙන් කෙතරම් ඉදිරියට පැමිණියේදැයි තහවුරු වන්නේ, “බයිලා රජු” ලෙස විරුදාවලිය ලබමින්. 

දශක පහකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ඩෙස්මන් ද සිල්වා නවතින්නේ පරම්පරා ගණනාවගේ ජන හඳ දිනා ගනිමින්. ඒවාගේම නොනවතින බයිලා සංගීතය ද ප්‍රචලිත කරමින්.

“යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ”, “චූඩා මාණිකේ බලලා යනවනේ අපි”, “යමන් බණ්ඩො වෙසක් බලන්න”, “පොල් කටු හැන්දේ මිට වගේ”, “මම්ම නෝ පප්පා නෝ”, “හායි හූයි බබි ආච්චි”, ඔහු ගැයූ ගීත කිහිපයක්. ඒවගේම ඔහු ඉතාම පැරණි ගායකයකු වූ ඒ. ආර්. එම් ඉබ්‍රාහීම් විසින් ගායනා කළ “රාජ සඟ බෝ හිස දී දුගියාටා ... දාන පාරමී” ගීතයත්, වොලී බැස්ටියන් විසින් ගායනා කළ “ලේ කිරි කරලා ඔබ මට පෙව්වා (මතකයි අම්මේ ඔබේ දරු නැළ විල්ල) ” යන ගීත අපූර්වත්වයෙන් යුක්තව ගායනා කර, දෙස් විදෙස් ගීත ලෝලීන්ගේ නොමඳ ප්‍රතිචාර හිමි කර ගැනීමටද සමත් වූවා.

ඩෙස්මන් ද සිල්වා ගැයූ ගීතවලට එවක ඇතැම් විචාරකයන්ගෙන් එල්ල වූයේ යහපත් ප්‍රතිචාරම නොවේ. ඒවගේම බොහෝ විචාරකයන් සැම විටම ඔහුව හැඳින්වූයේ බයිලා ගායකයකු ලෙසින් පමණි. වරක් ඕස්ට්‍රේලියා‌වේ කැන්බරා නුවර දී පැවති සජීවී ප්‍රසංගයකට සහභාගී වූ ඔහු පැමිණ සිටි පිරිස අමතින් පැවසූයේ, “විචාරකයන් බොහොමයක් මගේ බයිලා ගීත වලට නටන බවයි”.එසේ පැවසූවත් ඔහු විචාරකයන් සමඟ උරණ වූයේ නෑ. ඒවාගේම බයිලා ගීත ගැයීමට පමණක් සීමා වූයෙත් නෑ. ඔහු ප්‍රවීණ ගීත නිබන්ධකයකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් හමුවී, බයිලා නොවන ගීත නිර්මාණය කර ගත්තා. ඒ “කිරල්ලී රන් කිරිල්ලී නොකියා ගියා පියාඹා” මෙන්ම අදටත් ඉතාම ජනප්‍රිය “නිල්වන් මුහුදු තීරේ ... ගල්මල් පිපුණු යායේ” ගීත. ඔහුට මෙම ගීතවලට තනු නිර්මාණය කරමින් සංගීතය යොදා දුන්නේ, ප්‍රවීණ සංගීතඥ ස්ටැන්ලි පීරිස්. සැබවින්ම ඔහු මෙවැනි ගීත ගායනා කිරීමෙන් ප්‍රකට කළේ තමන්ට ඕනෑම ගීතයක් ගායනා කිරීමට ඇති හැකියාවයි.

2022 ජනවාරි මස 09 වැනි දින ඕස්ට්‍රේලියා‌වේ මෙල්බන් නුවර දී, හදිසි හෘදයාබාධයකින් දිවි ගමනට සමු දෙන විට ඩෙස්මන් ද සිල්වාට වසස අවුරුදු හැත්තෑ හතක්. ඩෙස්මන් ද සිල්වා ලෝකයේ ‌බොහෝ රටවල්වල සංගීත ප්‍රසංග පවත්වා ජනප්‍රිය වූූ නිර්මාණකරුවෙක්.

ඔහු මහා බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටි සමයේ ලන්ඩනය කේන්ද්‍ර කරගනිමින් විදේශ කටයුතු සඳහා සහයවූ කණ්ඩ­ායමක් සමඟ ද විවිධ ස්වරූපයේ ප්‍රසංග පවත්වා තිබෙනවා.

ඒවාගේම ඩෙස්මන් ද සිල්වාට ලොව පුරා රසික රසිකාවියන්ගේ අවධානයත් ආකර්ෂණයත් දිනා ගැනීමට හැකි වූයේ, විවිධ ප්‍රසංග පැවැත් වීමෙන් පමණක් නොවේ; ඔහුගේ ගීත ඇතුළත් සීඩී තැටි මිලියන ගණනක් අලෙවි වන බැවින්. ඒ අයුරින් ඩෙස්මන් ද සිල්වා ශ්‍රී ලාංකීය බයිලා කලාව ලොව පුරා ප්‍රචලිත කිරීම වෙනුවෙන් සිදු කළ මෙහෙවර අගය කළ යුතුයි.

අනුෂාද් වෙදගේ


ප්‍රහසන‍ෙයන් රට සැනසූ කලාකරුවා ගාමිණී අම්බලන්ගොඩ

ප්‍රවීණ වේදිකා හා ටෙලි නාට්‍ය ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ ජීවිතයට දිවි සැරියට සමුදුන්නේ ජනවාරි 9 දා ය. දිවි සැරියෙන් සමුගන්නා විට ඔහුගේ වයස අවුරුදු හැට හයකි. වර්ෂ 2016 දී කලා නිර්මානයකට සහභාගී වෙමින් සිටියදී සිදුවූ හදිසි අනතුරින් ප්‍රථමයෙන්ම ඔහුගේ පාදයකට හානි වී තිබේ. පසුව එම රෝගී තත්ත්වයත් හේතුවක් වී වරින්වර ඇති තවත් රෝගී තත්ත්වයන් ඇති වීම හේතුවෙන් මේ ඉරණමට මුහුණ දීමට සිදු වී තිබේ.

පාසල් යන වසයේ පටන්ම කලාවට ළැදියාවක් දැක් වූ ගාමිණී පාසල් වේදිකා නාට්‍යවල ද රඟපා තිබේ. ඔහු ප්‍රසිද්ධ වේදිකාවට පැමිණ තිබෙන්නේ, “රට බාරයි නුඹට පුතේ” වෙිදිකා නාට්‍යයේ රඟපෑමෙනි. එම වේදිකා නාට්‍ය පද්මසේන ද සිල්වාගේ නිෂ්පාදනයකි. පසුව ඔහුගේම තවත් වේදිකා නාට්‍යයක රඟපෑමට අවස්ථාව උදා වී තිබේ. එය නමින් “නරා මල්” ය.

පියවරෙන් පියවර තම හැකියා පිළිබඳව වටහාගත් ඔහු කොළඹට පැමිණේ. ඒ තම ප්‍රධාන අරමුණක් වූ රංගන හැකියාවන් ඉටු කර ගැනීම සඳහා ය. ඒ අනුව ඔහුට ප්‍රවීණ නාට්‍යවේදී පුණ්‍යසේන ගුණසේනගේ කාලගෝල වේදිකා නාට්‍යට සම්බන්ධ වීමට අවස්ථාව උදා වේ. ප්‍රථමයෙන්ම එම නාට්‍යයේ ඔහුට හිමි වී ඇත්තේ කොරසය කීමට පමණි. එහෙත් අත් නොහළ ඔහුගේ උත්සහයේ ප්‍රතිඵලය නිසා පසුව එම නාට්‍යයේම දිප්පිටිය නැමති ප්‍රධාන චරිතයට පණ පෙවීමට හැකියාව ලැබෙනු ඇත. ඒ ප්‍රවීණ නිළි මැණිකේ අත්තනායක සමඟ ය. මෙම වකවානුවේ ම ඔහු සිඟාල ගෝස්තරය වේදිකා නාට්‍යයේ ද රඟ පා තිබෙනවා.

ඒ අනුව ඔහුගේ රංගන දිවියේ ඇරඹුමේ දී මේ වේදිකා නාට්‍ය දෙක ම එකසේ වැදගත් වුණු ඇත. පසුව ස්වර්ණපාලී, රජගේ නාඩගම, රාජකපුරු, රූකඩ රජ්ජේ වැනි වේදිකා නාට්‍ය විසිපහට ආසන්න සංඛ්‍යාවක් ගාමිණී අම්බලන්ගොඩ විසින් රඟ පා තිබෙනවා. වේදිකා නාට්‍යවල රඟපෑමෙන් ලැබූ අභාසය රූපවාහිනි මාධ්‍යයේ දීද ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ඒ අනුව ඔහුට ටෙලි නාට්‍ය ගණනාවකම නරඹන්නන්ට වඩාත් අවධානය යොමු වන චරිත නිරූපණය කිරීමට හැකියාව ලැබේ. කළුවර ගෙදර, ස්වයංජාත, සරදියෙල්, ආදරණීය පූර්ණිමා, ආදර වසන්තය අදී ටෙලි නාට්‍යවල නරඹන්නනගේ මතකයේ හිටින චරිත කිහිපයක් ඔහු විසින් නිරූපණය කරනු ලැබුයි.

රංගන දිවියේ දී ඔහුට වඩාත් ම තිබුණේ නරඹන්නන් සතුටු කිරීමේ අවස්ථා ය. ඒ අනුව ඔහු නරඹන්නන් ඇති තරම් සතුටු කළේ ය. ඒ ප්‍රහසන රංගන ශිල්පියකු ද විලසිනි. ඔහුගේ ජීවන ගමන් මගේ අවසාන අරමුණ වූයේ ද තව තවත් නරඹන්නන් සතුටු කිරීම ය. එහෙත් උග්‍ර රෝගී තත්ත්වය ඊට ඉඩ නොදුන්නේ ය. නිර්මාණවලට දායකවෙමින් දීර්ඝ කාලයක් නරඹන්නන් සතුටු කිරීමට නොහැකි වූයේ ආරෝග්‍ය පරමා ලාභා එසෙත් නැත්නම් නිරෝගී සුවය ඔහුගෙන් ඈතට ගමන් කළ නිසා ය.

අනුෂාද් වෙදගේ


රංග පෞරුෂයත් සටන් පෞරුෂයත් එක්තැන් කළ රොබින්!

වර්ෂ 1997 දී ඩීමන් ආනන්ද විසින් ලියන ලදුව රන්ජන් ද සිල්වා විසින් අධ්‍යක්ෂණය කළ “ සංග්‍රාමය “ නැමැති ටෙලි නාට්‍යයේ චරිත සඳහා නළු වරණය සිදුකෙරෙමින් තිබුණු අවස්ථාවකදී, සියලු දෙනාගේම ඒකායන තේරීම වී තිබුණේ ක්‍රියා දාම ටෙලි සිත්තමක වුව ඩිකී වීරකෝන් නමැති රහස් පරීක්ෂකවරයා ගේ චරිතය නිරූපණය පිණිස සුදුසුකම ඇත්තේ රොබින් ප්‍රනාන්දු නමැති ප්‍රවීණ සිනමා රංගධරයා ට බව ය. ඒ එකී චරිතයේ රංග පෞරුෂය උදෙසා වෙනත් ආදේශකයක් ටෙලි නාට්‍යය විසින් එවකටත් සොයා ගෙන නො තිබුණ හෙයිනි.

රංග තලයේදී මුණ ගැසුණු දින මා ඔහු දෙස බලා සිටියෙමි. වර්ෂ 1964 “ධීවරයෝ “ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහුට ,” චණ්ඩියා “ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සමඟ කළ විශිෂ්ට සටන් ජවනිකාවල සිට චිත්‍රපට ගණනාවක ඔහු සමඟ කරට කර සටන් කර තම නාමය ඔසොවා තබා ගැනීමට හැකිවී තිබිණ. “සංඛපාලි” චිත්‍රපටයේ දී සෑදලය නොමැති ව වේගයෙන් අසු පදවා තම ක්‍රීඩා දක්ෂතාව ඉදිරිපත් කරන අතර රංගනයෙන් ප්‍රේක්ෂකයා රඳවා ගැනීමේ විසල් හැකියාව ද ඔහු වෙත තිබිණි. ඔහු කිසිසේත් හුදු සටන් ශිල්පියා වූයේ නැත. වෙනස එයයි. ඔහු සිනමා සටනට රංගය කැඳවාගෙන ආ රංගන ශිල්පියා ද විය. රංගන ශිල්පියා ඇතුළේ සටන් ශිල්පියා ද විය. එයින් ඇතිවූයේ අතිශය චමත්කාරයකි.

එසේ ක්‍රියාදාම කෙරේ නැමියාව ඇති ඔහු ගාමිණී රංග අත්දැකීම අවසන් කළේ තමන්ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වූ “සුරදූතියෝ “ චිත්‍රපටයෙන් පසුව ඔහු විසින් අධ්‍යක්ෂණය කළ “ නින්ජා ශ්‍රී ලංකා “ චිත්‍රපටයට ගාමිණී පුත් දමිත් ෆොන්සේකා එහි ප්‍රධාන චරිතයට යොදා ගනිමිනි.

ටයිටස් තොටවත්ත ගුරු ඇසුරේ “හාර ලක්ෂය“ චිත්‍රපටයේ සිටම චරිත රංගනය කළ ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළේ “ දැවෙන පිපාසය “ චිත්‍රපටයේ ය. “සිකුරු ලියා “ ජිවන ගංගා “ “ රුහුණු කුමාරි “ “බයිසිකල් හොරා “ සිරිපාල සහ රන් මැණිකා “ සසර චේතනා” ඔහුගේ චිත්‍රපට නාමාවලියේ විශිෂ්ට සලකුණු ය.

කොළඹ කොටහේනේ ඉපදී, සාන්ත බෙනඩික් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මේ ජව සම්පන්න තරුණයා, ඔහුගේ සුමිතුරු විජය කුමාරතුංගගේ පෙම් රැඟුම් මෙන්ම “ අපේක්ෂා “ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ සමඟ කළ ප්‍රේමාන්විත රංගනය සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයාගේ මතකයෙන් කිසිදා ගිලිහී නොයනු ඇත.

මේ සියල්ල මෙනෙහි කරමින් මා ඔහු දෙස බලා සිටියා මට දැනුදු මතක ය. ඔහු මා වෙත පුළුල් සිනාවක් පෑවේ ය. අපේ මිතුරුකම ඇරඹුණේ එලෙස ය.

ඉතා සුන්දර සිනහවක් හිමි ඔහුගේ වයස එවකට වසර පනස් ගණනක් වූ නමුදු එයිට වඩා බොහොමයක් තරුණ රූ සපුවකට, ජවයකට හේ හිමිකම් කිවේ ය. කා බී නටන රංගන ශිල්පීන් බහුල ලෝකයක ඔහු ශරීර සුවතාව පිළිබඳ කතා කළේ ය. ඉතා රසවත් ආහාරපාන සැකසීමට ද ඒවා පිළිගැන්වීමේ සතුට ද ඔහු වෙත විය. දක්ෂ ජිම්නාස්ටික් ශිල්පියකු වූ ඔහුගේ ක්‍රීඩාව කෙරෙහි තිබු නැමියාව ඔහුගේ ආත්මය සමඟ ම පැමිණෙන්නක් විය. සිනමාව කර්මාන්තයක් ලෙස ස්ථාවර කරගැනීමටත්, සිනමාව ගුරු කොටගෙන එහි නියැළීම විනා ටෙලිවිෂන් සල්පිලට බැස එහි දෛනික කම්කරුවකු වීම ද ඔහුට රිසි නොවී ය. සාද තෙපුල් මැද අග්‍රේසරව සිටි ඔහු ආගමික කටයුතුවලදී පෙරමුණ ගෙන සිටියේ ය. ඔහුගේ අනුග්‍රහය නොමඳව ලද විහාරස්ථාන විය. කලාවෙන් ලබන තාවකාලික ජනප්‍රිය බව මත තම පෞද්ගලික දිවිය දියකර හරින වත්මන් තාරුණ්‍යයක ඔහු මං හසර කියන පහන් ටැඹක් විය.

වර්ෂ 84 ක් ආයු වලඳා අද සවස බොරැල්ලෙන් නික්මෙන ඔබේ රූප කාය දෙස බලා මට මෙසේ කියන්නට ඉඩ දෙන්න.

තාක්ෂණික හරඹ නොමැති කාලයක, ස්වකීය දක්ෂතාවයෙන් පමණක් සුසැඳි ව, ඔබ ජනතාව වෙත පුද දුන් ඒ අනුපමේය මෙහෙවර අවසන් කොට, තම සසර කෙළවර කරන හුදෙකලා සටනට එළඹෙන ඔබට එයින් ද ජය අත්වේවා! හුදු සටන් නළුවාගේ භූමිකාවට රංගනය එකතු කොට ක්‍රියාදාම ක්ෂේත්‍රයේ තාත්වික සටන් රංගන ශිල්පියාගේ, අධ්‍යක්ෂ වරයාගේ පුරෝගාමී භූමිකාව ඉදිරිපත් කොට නික්ම යන ඔබට, සුබ ගමන් කියන්නට අවසර දෙන්න!

අමිත්ත වීරසිංහ

Comments