අපි අප්ඩේට් නොවුණොත් අපිට රැඳෙන්න බෑ | Page 2 | සිළුමිණ

අපි අප්ඩේට් නොවුණොත් අපිට රැඳෙන්න බෑ

රවීන්ද්‍ර මුණසිංහ

ජාතික නාළිකාව 2021 ට සමුදීලා 2022 පිළිගත්තේ කැලණි පාලමේ සජීවී සංගීත ප්‍රසංගයකින්. මේ ප්‍රසංගය පාලමක් උඩ පැවති පළමු සජීවී ප්‍රසංගය නිසා බොහෝ දෙනා 31 රෑ ඒකරාශී වෙලා හිටියේ ජාතික නාළිකාව එක්ක බව නොඅනුමානයි. ඒ නිසාම හිතුණා මේ ප්‍රසංගයේ නියමුවා එහෙමත් නැත්නම් මේ සජීවී සංගීත ප්‍රසංග අත්දැකීම ලොවට ලබා දුන් මේ වැඩසටහනේ නිර්මාණකරුවා සමඟ කතාබහ කරන්න. ඔහු නමින් රවීන්ද්‍ර මුණසිංහ. ජාතික නාළිකාව සමඟ දිගු කාලයක් සේවය කරන සම්මානිත දක්ෂ නිර්මාණශීලි වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් බව ඔහු කළ කී වැඩසටහන් තුළින් සනාථ කර අවසන්.

අපි කතාව පටන් ගමු කැලණි පාලමේ ප්‍රසංගයෙන්

ඒක ඇත්තටම අලුත් අත්දැකීමක් වුණා. පාලමක් උඩ මෙවැනි සජීවී ප්‍රසංගයක් ලෝකයේ කොහෙවත් කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතුවා අලුත් තාක්ෂණය එක්ක මේ වගේ අත්දැකීමක් ලබා දෙන්න. මගේ දැනීමේ හැටියට තාක්ෂණ සහ නිෂ්පාදන දැනීමත් එක්ක ජාතික රූපවාහිනියට තමා මේවගේ ප්‍රසංගයක් හොඳින්ම කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සම්ප්‍රදායෙන් මිදිලා 31 රෑ මේ වගේ වැඩක් කරන්න හිතුවා.

මේකේ ඇත්තටම 99%ක්ම තිබුණේ තාක්ෂණික හරඹයක්. විශේෂයෙන්ම මේ වගේ වාහන අධිකව ගමන් කරන ඉතාම අනතුරුදායක තැනක මෙවැනි එළිමහන් ප්‍රසංගයක් සජීවීව කරනවා කියන එක එතරම් පහසු දෙයක් නෙවෙයි. තාරුණ්‍යයට ගෝචර වන සංගීත කණ්ඩායමක් සහ ගායක ගායිකාවන් පිරිසක් තමා අපි මෙතැනදී මේ ප්‍රසංගයට සම්බන්ධ කර ගත්තේ. දැනට සියලුම නාළිකා අතරින් ඉහළම ට්‍රෙන්ඩ්ඩින් තියෙන සංගීත වැඩසටහන තමයි කෝක්රේඩ් (Coke Red) කියන්නේ. ඒක තරුණයන් අතර ගොඩක් ජනප්‍රියයි. ඒකට හේතුව තමයි තාරුණ්‍යයට ගෝචර වන විදියට මේ වැඩසටහන ඉදිරිපත් කිරීම. ඒකත් එක හේතුවක් වුණා 31 රෑ මෙවැනි සජීවී ප්‍රසංගයක් පවත්වන්න.

අපි මතක් කරමුද යොදා ගත්ත තාක්ෂණික ක්‍රම

අපි මෙතැනදී පාවිච්චි කළා ලංකාවේ පළවෙනි වතාවට කිලෝ මීටරයක ආසන්න දුර ඉඳන් අපි සජීවීව ශබ්දය සහ රූපය රැහැන් රහිත ඒ කියන්නේ වයර්ලස් ක්‍රමයට රූපයට ගැනීම. ඒක තමා මේකේ තිබ්බ මැජික් එක. ඒක කරන්නේ කොහොමද කියලා අපි කරුණු හෙව්වා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සහයෝගය ලැබුණා. මේකේ ආලෝකකරණය ගැන තමා අපිට තර්ජන තිබ්බේ. මොකද පාරත් කළුයි, රූපත් කළු නිසා ඒවා හොඳ මට්ටමින් ගන්න එක ගැන වැඩියෙන් හිතන්න වුණා. මේක තවත් එක් සංගීත ප්‍රසංගයක් නොවන විදියට හයිටෙක්නොලජි එක පාවිච්චි කරලා දැනට තියෙන ෆුල් HD කියන ඉහළ ම ක්‍රමවේදයට රූපත් ශබ්දය ස්ටීරියෝ කියන තාක්ෂණයටත් කරන්න අපි උත්සහ කළා.

සාම්ප්‍රයික වැඩසටහන් වලින් 31

රෑ රූපවාහිනී නාළිකා හැඩවෙද්දී ජාතික නාළිකාව වෙනස් මඟක් ගත්තා.

කොහොමද ලැබුණු ප්‍රතිචාර

සමහර සමීක්ෂණ අනුව සහ අපිට ලැබෙන අනෙකුත් ප්‍රතිචාර එක්ක බොහොමයක් දෙනා 31 රෑ බලලා තියෙන්නේ ජාතික රූපවාහිනිය. ඒ මම හිතන්නේ එකේ තිබ්බ වෙනස නිසා. සජීවී අත්දැකීමක් නිසා වැස්ස පොඩ්ඩක් බලපෑවා. යම් යම් පොඩි පොඩි අඩුපාඩු තිබුණා. නමුත් ඒවා මේකට ගත යුතු මට්ටමේ නොතිබුණු බවට තමා මට ලැබුණු ප්‍රතිචාරවල තියෙන්නේ. ඒ වගේම කියන්නම ඕනේ දෙයක් තියෙනවා මෙතැනදී අපි එක්ක 200කට ආසන්න ප්‍රමාණයක් වැඩ කළා. තාක්ෂණික, නිෂ්පාදන, කැමරා පැත්ත කියන හැමෝගෙන්ම කණ්ඩායම් හැඟීම කියන මම පුදුම විදියට අත්වින්දා මේ වැඩසටහන තුළින්. මම මගේ රූපවාහිනී ජිවිතේම මට වැඩි ම සහයෝගය ලබපු වැඩසටහන. ඒ නිසා මම ලබන්න පුළුවන් හොඳම සතුට මම ලැබුවා.

2021 දීනේ ඔබ ජාතික නාළිකාවට කෝක්රේඩ් (Coke Red) හඳුන්වා දෙන්නේ, 2022ට මොන වගේ වෙනස්කම් ද කරන්න හිතන්නේ

අපිට රැඳෙන්න බෑ අපි අප්ඩේට් නැතුව. අපේ වයසත් එක්ක බැලුවම තරුණයෝ හිතන විදියට හිතන එක තමා අමාරුම. මොකද මම මගේ වයසේ විදියට හිතන්න ගත්තොත් මට මේවා කරන්න බෑ. හැබැයි ඒ මට්ටමේ වැඩසටහන් කරන එක හරි සරලයි. නමුත් අමාරුම එක ජොබ් එක තමයි තරුණයන් එක්ක ඔවුන් සිතන පතන විදියට හිතන එක. ඒක මම දිනලා තියෙනවා කියලා හිතෙනවා ලැබෙන ප්‍රතිචාර වලින්. කෝක්රේඩ් (Coke Red) වලට ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා තමා රූපවාහිනි නාළිකා වලින් කරන සංගීත වැඩසටහන් අතර යූ-ටියුබ් ට්‍රෙන්ඩ්ඩින් වැඩිම වැඩසටහන වෙලා තියෙන්නේ. මම හැමවෙලාවෙම අප්ඩේට් වෙනවා. ඒ නිසා මම 2022දීත් අප්ඩේට් වෙනවා. හැමවෙලාවෙම සොෆ්ට්වෙයාර් වල,ටෙක්නිකල් පැත්තේ,අන්තර්ජාලයෙන් ලෝකයේ වෙන දේවල් ගැන අධ්‍යනය කරමින් මම ඉන්නේ. නැත්නම් මම හිතන්නේ නැහැ 2022 ඉස්සරහට එන්න පුළුවන් වෙයි කියලා.

නොකියා කියන්නේ කෝක්රේඩ් (Coke Red) වලට එහා ගිය දෙයක් 2022ට ඔබ අරගෙන එනවා කියන එකනේ

අනිවාර්යෙන්ම. අදහසක් තියෙනවා. මම කරපු වැඩසහන් ජනප්‍රිය වෙලා තියෙනවා සහ ඒක තමා බොහෝ වැඩසටහන් වල මුලාරම්භය වෙලා තියෙන්නේ. උදා: මනෝහාරී, නදුන් උයන, වගේ වැඩසටහන් තුළින් අපි කළේ ආකෘති නිර්මාණය කිරීම. ඒ මොඩ්ල් තමා අනෙක් නාළිකා කරන්න පටන් ගත්තේ. දැන් වෙලා තියෙන්නේ පිටරටක හදන මොඩ්ල් තමා ඒ විදියටම කරන්නේ. නමුත් අපි ජාතික රූපවාහිනිය විදියට අපිට තියෙන වගකීමත් එක්ක අපි මොඩ්ල් හදලා දෙනවා.

40 වසරක් සපුරන ජාතික නාළිකාව එක්ක ඔබේ ඉතිහාසය මතක් කළොත්

දැන් අවුරුදු 37ක් මගේ සේවා කාලය. අපි ගොඩක් දේවල් කළා. ජාතික නාළිකාව විදියට අපිට ලොකු වගකීමක් තියෙනවා. හැමෝම කරන දේ අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. අපි කරන ගුණාත්මක හොඳ දේ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් මම මේ වසරේත් තාරුණ්‍ය වෙනුවෙන් අලුත් දෙයක් කරන්න සූදානම්.

ඉඟියක් දෙන්න පුළුවන් ද?

මේ වෙද්දී ලෝකයේ ම ට්‍රෙන්ඩ්ඩින් එකක් වෙලා තියෙනවා කවර් සෝන්ග් කියන එක. ඒ පැත්තෙන් යමක් සිද්ධ වෙයි. ඒ ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් තරුණ තරුණියන්ට.

 අනුෂා රණසිංහ

 

Comments