සමාජයෙන් ක්‍රීඩාවට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ | සිළුමිණ

සමාජයෙන් ක්‍රීඩාවට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ

ආසියානු සවි එසවීමේ ශූරිය ශෙනුකි දිශාල්‍යා එදිරිමුණි

2019 වසරේ ජාතික ජිම්නාස්ටික් තරගාවලියට සහභාගී වෙන ඇය එහි Balance Beam ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා

මම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඇකඩමියක් පවත්වා ගෙන යනවා.ඒක ස්වේච්ඡාවෙන් කරන්නෙ

පසුගිය දා තුර්කියේ ඉස්තාම්බුල් නගරයේ දී නිමා වූ Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියේ දී Dead Lift (කිලෝග්‍රෑම් 105), Bench Press (කිලෝග්‍රෑම් 42) සහ Squat (කිලෝග්‍රෑම් 85) ඉසව් ත්‍රිත්වයෙන් රන් පදක්කම් 3ක් සහ කිලෝග්‍රෑම් 47 බර කාණ්ඩයේ සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කමත් සමඟින් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 4ක් දිනා ගනිමින් ආසියානු සවි එසවීමේ ශූරිය බවට පත් වූයේ ශෙනුකි දිශාල්‍යා එදිරිමුණි. එලෙස ලංකා මාතාවට අභිමානයක් එක් කළ ශෙනුකි දිශාල්‍යා ක්‍රීඩිකාව සමඟයි මේ කතාබහ.

නම - ශෙනුකි දිශාල්‍යා එදිරිමුණි

උපන් ගම - කොළඹ

පාසල - කොළඹ බිෂෝප් විද්‍යාලය

වයස - අවුරුදු 19

පවුලේ විස්තර - අම්මා ක්‍රිශාන්ති කුලසූරිය. මාධ්‍යවේදිනියක් ලෙස Team Works Media ආයතනයේ සේවය කරනවා. තාත්තා අනුෂ එදිරිමුණි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂකවරයෙක් මෙන් ම මාධ්‍යවේදියෙක්. අක්කා ඉෂිනි ඔආශා. ක්‍රීඩාවට සම්බන්ධ නැහැ. විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලබනවා. මල්ලි මෙත් අභිමන්‍ය. අවුරුදු 5යි.

කොහොමද ක්‍රීඩාවට නැඹුරු වෙන්නේ

අම්මා නම් කියන්නේ මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ක්‍රියාශීලී කෙනෙක් කියලා. එක තත්පරයක්වත් එක තැන ඉන්නේ නැහැලු. උඩ නඟිනවා, පුටුවල නගිනවා, දුවනවා, පනිනවා වගේ වැඩමලු කරන්නේ. ඒ වගේම අම්මා මගේ ශරීරයේ ඉතා නම්‍යශීලී බවක් දැකලා තියෙනවා. ඒ නිසා ජිම්නාස්ටික් ක්‍රීඩාවට සුදුසුයි කියල හිතලා මාව ඊට යොමු කරලා තියෙන්නේ.

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණ මොනවද?

ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ජාතික තලය දක්වා ආවා. දිස්ත්‍රික්, පළාත් ශූරතා දිනා ගනිමින් ජිම්නාස්ටික් පිටියේ දක්ෂතා පෙන්නුම් කළා. ඔය අතරතුර 2014 වසරේ දී පිහිනුම් ක්‍රීඩාවේ ආකර්ෂණීය අංගයක් වන දිය පැනුම් හෙවත් Diving ඉසව්වට යොමු වුණා. ඒ ඔස්සේ ද ජාතික තලය දක්වා එන්න හැකි වුණා. ජිම්නාස්ටික් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් 2016 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති කනිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සහ තායිලන්තයේ පැවති ආසියානු ජිම්නාස්ටික් ශූරතාවලිය ද නියෝජනය කළා. 2019 වසරේ ජාතික ජිම්නාස්ටික් තරගාවලියට සහභාගී වෙන ඇය එහි Balance Beam ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.

ශෙනුකි යන්නෙම දිනන්න බලාගෙන ද?

නැහැ. මම ජයග්‍රහණවලට වඩා බලාපොරොත්තු වුණේ සහභාගීත්වය. එක දවසක්වත් පුහුණුවීම් මඟ හැරලා නැහැ. මම ක්‍රීඩා දෙකම සමබරව කරගෙන ගියා. ජිම්නාස්ටික් වගේම තමයි Diving ක්‍රීඩාවත්. එකිනෙකට වෙනස් වුණත්, ශරීරය පාලනය කිරීමේ දී මේ දෙකේ ආභාසය මට විශාල ශක්තියක් වුණා.

කොහොමද අධ්‍යාපන කටයුතුත් එක්කම මේ ක්‍රීඩා දෙකම කරගෙන ගියේ

මම ඉතා ආසාවෙන් තමයි මේ ක්‍රීඩාවන් දෙක ම කරන්නේ. පුහුණුවීම්වලට, තරගවලට සහභාගී වීමේ දී අම්මා කාලය කළමනාකරණය කරල දුන්නා. ඒ නිසා අධ්‍යපන කටයුතුවලට බාධා නොවී ක්‍රීඩා අංශ දෙකෙන් ම ඉහළට එන්න පුළුවන් වුණා.

හැබැයි එක තැනකදී ඔබ මේ ක්‍රීඩාවන් දෙකටම සමු දෙනවා.

ඔව්. ක්‍රීඩාවේ දී ඇති වුණු කළකිරීමක් එක්ක ඒ දේ වෙන්නේ. මොකද ක්‍රීඩකයන්ට ලැබෙන්න ඕනේ නිසි වටිනාකම් ලැබෙන්නේ නැහැ. ගොඩක් ක්‍රීඩකයෝ ක්‍රීඩාවෙන් සමු අරන් මේ වනකොට කලකිරිම් නිසා. මගේ යාළුවො හිටියා ගොඩක් දක්ෂතා තිබුණ. එයාල හිතනවා ක්‍රීඩා කරන එක බොරු වැඩක් කාලය අපතේ යැවීමක් කියලා. ඒත් මන් හිතන්නේ ක්‍රීඩා හැකියාවක් කියන්නේ කෙනෙකුට ලැබෙන ලොකු ආශිර්වාදයක් කියලා. මන් ඉල්ලා සිටිනවා එහෙම ළමයින්ව රටක් වෙනුවෙන් හඬක් නඟන්න හැකියාවන් තියෙන ක්‍රීඩකයන්ව රැක ගන්න කියලා.

නමුත් යළිත් අලුත්ම ක්‍රීඩා ඉසව්වකින්

(සවි එසවීමේ) ක්‍රීඩාවට පිවිසෙනවා

සවි එසවීම් ක්‍රීඩාවක් ලෙසින් තෝර ගන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. Diving සහ ජිම්නාස්ටික්වලින් ඉවත් වුනත් මම මගේ දෛනික ශාරීරික ව්‍යායාම් වෙනුවෙන් OSMO Fitness එකට ගියා. එතැන දී තමයි සවි එසවීම කියන ක්‍රීඩාව දැක්කේ. ටික දවසක් මේක දකිද්දී මටත් හිතුණා මේක කරන්න ඕන කියලා. එතැන දී මට මඟ පෙන්වීම් කරන්නේ ප්‍රවීණ සවි එසවීමේ ක්‍රීඩක රන්සිළු ජයතිලක. ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ ක්‍රීඩාව හැදෑරුවා. පසුව 2021 දෙසැම්බර් මාසයේ පැවති ජාතික සවි එසවීමේ තරගාවලියේ දී ජාතික වාර්තා දෙකක් දිනා ගනිමින් ජාතික ශූරිය බවට පත් වෙන්න මට පුළුවන් වුණා.

ශෙනුකි ක්‍රීඩා ඇකඩමියක් පවත්වා ගෙනයනවා නේද?

ඔව්. Daily Dose Sri Lanka නමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඇකඩමියක් පවත්වා ගෙන යනවා. එය සම්පූර්ණයෙන් ම ස්වෙච්ඡාවෙන් කරනු ලබන දෙයක්. ළමුන් 20ක් විතර මේ වෙද්දී ඉන්නවා. මම ලබා ගන්නා ක්‍රීඩා අත්දැකීම් ඔවුන් සමඟ බෙදා ගැනීම එහි අරමුණයි. මම ඒ තුළින් විශාල තෘප්තියක් ලබනවා. කොපමණ පුහුණුවීම් තිබුණත් සතියට දින දෙකක් මම ඔවුන් සමඟ ගත කරනවා. මම මෙතෙක් ඉගෙන ගත් දේවල්වලින් ඔවුන්ගේ ජීවිත ගොඩනඟන්න වැදගත් යැයි හැඟෙන දේවල් කියල දෙනවා. ඔවුන්ට ශාරීරික යෝග්‍යතා පවත්වා ගෙන යෑමට උගන්වමින් තමන්ගේ එදිනෙදා කටයුතු කර ගන්න පහසු වෙන ආකාරයට ශරීර හැඩ ගස්වනවා. පිහිනනවා, දුවනවා පනිනවා වගේ ම එදිනෙදා පුංචි ම පුංචි ළමයි කරන සෙල්ලම් පවා අපි කරනවා. ඔවුන්ගේ ලෝකය හරි ම අහිංසකයි. ඔවුන්ට මම වීරවරියක්. මම ඒකට ආසයි.

ආපු ගමන් මග ගැන මොකද හිතෙන්නේ

ආපු ගමන ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ කිසිවක් පදක්කම් හෝ වාර්තා බලාගෙන කළේ නැහැ. මම හැමදාම කරන දේ හරියට කරන්න ඕන කියන හැඟීමෙන් වැඩ කළා. රට නියෝජනය කරමින් ගිය සෑම තරගයක දී ම රට වෙනුවෙන් යමක් කළ යුතුයි කියන අදහස විතරයි මට තිබුණේ. හෙටටත් ඒ හැඟීමෙන් ම තරග පිටියට පිවිසෙනවා. එළඹෙන ජූලි මාසයේ දී ලෝක සවි එසවීමේ තරගාවලියේදීත් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීම තමා මගේ බලාපොරොත්තුව.

මේතාක් දුර එන්න උදව් කළ අය ගැන මතක් කරන්න ඇති

අනිවාර්යෙන්ම. මගේ ජයග්‍රහණ සමඟ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අය අතරින් අම්මා විශේෂයි. ඒ වගේ ම තාත්තත්, අක්කත් මල්ලිත් මතක් නොකර ම බැහැ. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මම මේ වගේ දක්ෂතා දක්වන්නේ. ඒ වගේ ම මගේ ජිම්නාස්ටික් පුහුණුකරු තරිඳු පෙරේරා , Diving පුහුණුකරු චානක වික්‍රමසිංහ, සවි එසවීමේ පුහුණුකරු රන්සිළු ජයතිලක සහ ක්‍රීඩා උපදේශක විමුක්ති ද සොයිසාත් ආදරයෙන් මතක් කරනවා. ඔවුන් දැක්වූ සහයෝගය නොවන්න මට මේ ගමන මේ තරම් ඉක්මනට එන්න බැහැ.

 අනුෂා රණසිංහ

ජායාරූප -කල්ප මේනක පීරිස්

Comments