ජාතික ගුවන් විදුලියේ සරල ගී ශිල්පියෙක් ලෙස 1995 වසරේදී ගායන දිවිය ඇරඹූ ලක්ෂ්මන් පතිරණගේ ගීත අද ද වෙළෙඳ සේවය, සිටි එෆ්.එම් සහ ලක්හඬ ආදී ගුවන් විදුලි නාළිකාවල ප්‍රචාරය වේ. නෙතු අගට කඳුළු බිඳුවක්, කරුණක් කියන්නම්, පූජනීය කන්දෙ විහාරේ, ඉද්දගහේ පොකුරට, සුදු නංගියේ වැනි ජනප්‍රිය ගීත ඒ අතර වේ.
“90 දශකයෙහි අගනුවර පැවති ආධුනික ගී තරගයෙන් මම දෙවැනි තැනට පත්වුණා. එහි විනිශ්චය මණ්ඩලයේ සිටි මාගේ ගායන කුසලතාව වටහාගත් හේමසිරි හල්පිටගේ ගුරුහරුකම් නිසයි මම ගායන ක්ෂේත්‍රයට යොමු වුණේ. එහි ප්‍රතිඵලයක් විදිහට 1995 වසරේදී ගීත 10 කින් යුත් කැසට් පටයක් නිකුත් කළා. ස්වාධීන රූපවාහිනියේ සත්සර රංගන, මධුරසාංග, ගී සිතුවම් වැනි සංගීත වැඩසටහන්වලින් නිතරම මගේ ගීත ප්‍රචාරය වෙනවා.“
ලක්ෂ්මන් පතිරණ අතීත මතක අවදි කරමින් කීවේය. දිගු නිහැඬියාවකට පසුව ඔහු ගැයූ පැරණි ජනප්‍රිය ගී හා නවතම ගී තනු රැගත් සංයුක්ත තැටියක් එළිදැක්වීමට මේ දිනවල කටයුතු කරමින් සිටී. ජනප්‍රිය ගී පද රචක බණ්ඩාර පිලවල හා ලක්ෂ්මන් පතිරණ විසින් රචනා කරන ලද ගීත ඊට ඇතුළත්ය. මහින්ද බණ්ඩාර, නවරත්න ගමගේ, නන්දසේන කටුවාවල යන සංගීතඥයන් විසින් ඊට නිර්මාණ දායකත්වය ලබා දී ඇත. ගායන ශිල්පියකු ලෙස සන්දර්ශන වේදිකාවට මෙන්ම පැදුරු සාජ්ජ සඳහා ද තමාට ආරාධනා ලැබෙන බව ලක්ෂ්මන් පතිරණ කීවේය. දැනට වේදිකා නාට්‍ය කීපයකම පසුබිම් ගායන ශිල්පියකු ලෙස කටයුතු කරන ඔහු, සරසවියයි මහ මුහුදයි, ක්ලියෝ පැට්රා, ජුලියස් සීසර් සහ ආදරවන්තයෝ යන වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු ලෙස ද කටයුතු කරයි. ඓතිහාසික කතා රැගත් නාට්‍ය දෙකක් වන කිසා ගෝතමී හා සීගිරි කාශ්‍යප සඳහා ද ඔහු රංගනයෙන් හා ගායනයෙන් දායකත්වය ලබා දෙයි.
ඊට අමතරව ටෙලිනාට්‍ය රංගනයට ද දායක වී ඇති ලක්ෂ්මන් පතිරණ කෝපිකඩේ ටෙලිනාට්‍ය මාලාවට 2015 වසරේ සිට මේ දක්වා විවිධ චරිත නිරූපණය කරයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ බද්දට හෝ කුලියට ටෙලිනාට්‍යයේ පොඩි මහත්මයාගේ චරිතය නිරූපණය වෙනුවෙන් ලැබුණු ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ ඔහු සිහි කළේ සතුටිනි. ඉදිරියේදී ඔහු රඟපෑ තවත් නාට්‍ය දෙකක් විකාශනය වීමට නියමිත අතර නව නිර්මාණයකට ද තමා තෝරා ගෙන ඇති බව පැවසීය.
ගායන හා රංගන ශිල්පයට අමතරව ලක්ෂ්මන් පතිරණ ලංකාවේ දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ප්‍රදර්ශන සංවිධානය කරන අතර දෙස් විදෙස් ගැනුම්කරුවන් හට චිත්‍ර සපයන අතරමැදියකු ලෙස කටයුතු කරයි. එමෙන්ම ඔහු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වන ළමා චිත්‍ර වැඩමුළුව හා චිත්‍ර තරගයේ ශිල්පියකු හා උපදේශකයෙකි.
බේරුවල, මුංහේන ග්‍රාමයේ උපන් කලා ශිල්පී ලක්ෂ්මන් අධ්‍යාපන ලබා ඇත්තේ මුංහේන ද්වීතික විද්‍යාලයෙනි. මේ වන විට බේරුවල අඹේපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහු, පුරා වසර 25ක් ගායන ශිල්පියකු හා රංගන ශිල්පියකු ලෙස කලා ලොව දිගු ගමනක් ඒමට තමාට උදව් උපකාර කළ සියලු දෙනාට විශේෂ ස්තුතිය පිරිනැමීමට ද අමතක නොකළේය.