මම මුලින්ම කළ ගීතයට තමයි ප්‍රතිචාර බොහොමයක් ලැබුණෙ මංගලා ගුණරත්න | සිළුමිණ

මම මුලින්ම කළ ගීතයට තමයි ප්‍රතිචාර බොහොමයක් ලැබුණෙ මංගලා ගුණරත්න

සංගීත ක්ෂේත්‍රයේ නව පරපුරේ නියෝජන බොහොමය. මංගලා ගුණරත්න යනු සංගීතය හදාරමින් එහි නියැළෙමින් සාරවත් නිර්මාණ කිරීමට උත්සහ ගන්නා දක්ෂ ගායන ශිල්පිනියකි. ඉතින් දිගු කලා ගමනක සුබ නිමිති පෙන්වන මංගලා පිළිබඳ අද කතාබහ දිග හැරෙන්නෙ මෙලෙසයි.

මංගලා මේ ක්ෂේත්‍රයට එන්නෙ කොහොමද?

මම සංගීත ක්ෂේත්‍රයට එන ක්‍රම දෙකක් තියෙනවා. මම පොඩි කාලේ ඉදන්ම සංගීතය හැදෑරුවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේම සංගීතයෙන් භාත්ඛණ්ඩය ඩිප්ලෝමා එකක් පවා හැදෑරූවා. පසුව ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් සමත් වුණා. පසුව සරල ගී ගායනා කළා කොළඹ ස්වදේශී සේවයේ සහ රජරට සේවයේ. ඊට අමතරව මහනුවර සේවයේත් වැඩ කටයුතු කළා.අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය විශේෂවේදී උපාධිය ලබා ගන්නවා. පසුව මම ශ්‍රී ලංකා ජලසම්පාදන සේවයට එකතු වෙනවා සහකාර අධ්‍යක්ෂක කෙනෙක් විදියට. ජොබ් එකත් වෙනම ක්ෂේත්‍රයක නිසා මට සංගීතය මග හැරෙනවා. හේතුව කාර්යබහුලත්වය සහ වගකීම් වැඩි නිසා. දැනට මම ග්‍රාමීය මාර්ග අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ විදියට වැඩ කටයුතු කරනවා. ඒ කාර්යබහුලත්වය මත සින්දු කියන එක තනියම ඉන්න වෙලාවට මුමුණන තැනට පත්වෙනවා. පසුව සින්දු කියන්න නැවත ආසාවක් ඇති වෙනවා. ඒ ගමන තමයි මම මේ නැවත පටන් ගන්නෙ. දැන් මගෙම ගීත 16 ක් ඉවර කරලා තිබෙනවා. ජයසේකර අපොන්සු විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයක පසුබිම් ගායනය කළා. එය තවම විකාශනය වුණේ නැහැ. ඊට අමතරව රූපවාහිනී නාළිකාවල වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

ඔබ ගායනා කළ ගීත දහසයෙන්ම වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු ගීතය ගැන කිව්වොත්?

මම මුලින්ම කළ ගීතයට තමයි ප්‍රතිචාර බොහොමයක් ලැබුණෙ. මම එය නම් කළේ "යන්නම යන්න හදන්නෙ" යනුවෙන්.අදටත් මට එයට බොහොමයක් ප්‍රතිචාර ලැබෙනවා. අනෙක් ගීතය මගේ ප්‍රේම සිත්තරා ගීතය. එයටත් ඊට නොදැවනි ප්‍රතිචාර ලැබෙනවා. සමහර ගුවන් විදුලි නාළිකා වල වගේම මම සහභාගි වුණ රූපවාහිනි නාළිකාවලත් මම එය ගායනා කළා.

ඔබේ පළමු ගීතය පිටුපස ලොකු ශක්තියක් තිබෙනවා නේද?

ඔව්. මාව නැවත ගීත ගායනයට පෙලඹුවේ මගේ මිතුරෙක් විසින්. ඔහුත් ජල සම්පාදනයේ අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කටයුතු කරනවා සුරංක ඉරෝෂන් කියලා. සුරංක තමයි මට කතා කළේ නැවත ගීතයක් කරමු කියලා. සුරංකයි මමයි පශ්චාත් උපාධිය හැදෑරුවෙ ඕස්ට්‍රේලියාවෙ. ඒ ඇතිවුණ හැඳුනුම්කම මත තමයි ඔහු ඉල්ලීම කරන්නෙ. පසුව ඔහු මට අනුරාධ අබයසිංහ මුණ ගස්වනවා. අනුරාධ කියන්නෙ අද පරපුරේ ඉන්න දක්ෂ ම සංගීතඥයෙක්. පසුව අප තුන්දෙනාගෙ ම එකමුතුවෙන් තමයි මේ යන්නම යන්න හදන්නෙ ගීතය නිර්මාණය වන්නෙ. සුරංක මම වෙනුවෙන් ගීත පහක් ලියනවා. ඒ පහේම තනු නිර්මාණය කරන්නෙ අනුරාධ. එය මට හොඳ අරම්භයක්.

මේ වසර තුන තුළ ගීත දහසයක් කරනවා කියන්නේ ටිකක් අභියෝගාත්මක කර්තව­්‍යක්. ඔබ ඒ අභියෝගය බාරගත් විදිය ගැන කතා කළොත්?

මේ කාලය ඇතුළත රැකියාවත් කරමින් ගීත මෙපමණ ප්‍රමාණයක් කරන එක ලොකු අභියෝගයක්. විශේෂයෙන්ම ප්‍රවීණයන් සමඟ තමයි මම වැඩ කටයුතු කළේ. විවිධ විදියේ පද රචනා ලැබුණා. ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහ, ලක්ෂ්මී දිසානායක, චාන්දනී රත්නායක, සුරන්‍ත ඉරෝෂන්, ඒ වගේ අයගෙන් හොඳ පද රචනා ලැබුණා; විවිධ තේමා යටතේ. මම මෑතකදි ගීතයක් කළා.තවම එළියට දුන්නෙ නැහැ. ලබන මාසේ වගේ මම ප්‍රේක්ෂකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.

 සචිනි බස්නායක

 

Comments