මම කැමති ලොකු වුණාම ගුරුවරියක් වෙන්න | සිළුමිණ

මම කැමති ලොකු වුණාම ගුරුවරියක් වෙන්න

මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගුනාදරී ලෙස රඟන පහන්දි නෙතාරා වල්පිට

පුංචි කාලේ ඉඳන්ම කලාව පිහිටනවා කියන්නේ මොන තරම් වාසනාවක්ද? එහෙම රංග කුසලතාව සහ වාසනාව අරන් ආව කෙනෙක් තමයි මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ "මිනායා" එහෙමත් නැත්නම් අඳුන්ගිර නාට්‍යයේ "තාරා" . ඉතින් මිනායා ට සහ තාරා ට ආදරේ කරන අය ට ඇය ගැන දැන ගන්නත් එක්ක අපි සිළුමිණ රසඳුන කතාබහකට එකතු කර ගත්තා.

හැමෝම ආදරේ කරන මීනා එහෙමත් තාරාගේ සැබෑ නම පහන්දි නෙතාරා වල්පිට

ගම - රත්නපුර

පවුලේ විස්තර - මගේ අම්මා තමාලි රනොජා. තාත්තා සසික චතුරංග. මට ඉන්නේ අයියා කෙනෙක් එයා විහඟ මනොජ් වල්පිට.

පාසැල - රත්නපුර JMC ඉන්ටනැෂනල් කොලේජ් එකට.

දැන් කීවෙනි වසරේද ඉන්නේ - තුන වසරේ

මුලින්ම කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මට අවුරුදු තුනේදී තමා මුලින්ම අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙ‍ෙළඳ දැන්වීමකට පෙනී ඉන්න. ඊට පස්සේ වෙ‍ෙළඳ දැන්වීම් කිහිපයක්ම කළා.

අයියා රඟපාන්න කැමති නැද්ද?

එයා ලැජ්ජයි.

අයියා මොකද කියන්නේ නංගිගේ රංගනය ගැන

අයියට සතුටුයි. එයා මට උදව් කරනවා.

එතකොට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ

හර්ෂ උඩකන්ද මාමගේ ගෝරි කියන චිත්‍රපටය. එහි ගෝරි පැටියා එහෙම නැත්නම් බේබි කියන චරිතය තමා මගේ මුල්ම රංගනය.

මුලින්ම රඟපාද්දී මොකද හිතුණේ

මට ආස හිතුණා රංගනයට.

දෙබස් මතක තියාගන්නේ කොහොමද?

එහෙම නැහැ. එවලේට බලන් කියනවා.

පුංචි තිරයට එන්නේ කොයි නිර්මාණයෙන් ද?

දෙරණ නාළිකාවේ විකාශය වූ රාවණ නාට්‍යයේ පුංචි මන්දෝදරීගෙ චරිතයෙන්.

ඊට පස්සේ නිර්මාණ මොනවද?

ජයප්‍රකාශ් මාමගේ අමා නාට්‍ය, ධනුෂ්ක රත්නායක මාමාගේ හෙලි සහ දාම් හි බට්ටිච්චි, මහපොළව නාට්‍යයේ අනෝහාමි චරිතය, කියා දෙන්න ආදරේ තරම් හි මීනා, අඳුන්ගිර නාට්‍යයේ තාරා.

වැඩිම ප්‍රතිචාර ලැබෙන චරිතය මොකක් ද?

මීනාට තමා. තව ඉතින් අඳුන්ගිර හි තාරා ට.

මීනා වටා ඉන්නේ ක්ෂේත්‍රයේ දක්ෂ ප්‍රවීණ නැන්දලා මාමලා, කොහොමද ලැබෙන සහයෝගය

අම්මෝ කියලා වැඩක් නැහැ හැමෝම මට ආදරෙයි. හැමෝම මට රංගනය ගැන ගොඩක් දේවල් කියලා දෙනවා.

වැඩියෙන්ම ආදරේ කවුද?

එහෙම කියලා නැහැ. ඔක්කොම මට ආදරෙයි.

පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

ඉස්සර ටෙලි නාට්‍යය බාර ගත්තේ නැහැ. වෙ‍ෙළඳ දැන්වීම් විතරයි කළේ. පහුගිය කාලේ පාසල් තිබ්බේ නැහැනේ. ඒ නිසා තමා නාට්‍යය බාර ගත්තේ. එපිසෝඩ් සියයට අඩු නිර්මාණ තමා බාර ගන්නේ. පාසලේ ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

ලොකු වෙලත් රංගන ශිල්පිනියක් විදියට ඉන්නද කැමති

ලස්සන ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වෙන්න. අපේ ඉස්කෝලේ ලස්සන කොණ්ඩේ දිග සුදු ටීචර්ස්ලා ඉන්නවනේ. ඉතින් මමත් ආස ලොකු වුණාම ඒ වගේ වෙන්න.

පාසලේ ඉගෙන ගන්න ආසම විෂය

ගණිතය

ඉදිරියේ දකින්න ලැබෙන සිනමා නිර්මාණ මොනවද?

සංජය නිර්මාල් මාමගේ අලුත් චිත්‍රපටය. තව තරිදු කියලා මාමා කෙනෙක් සංගතන කියලා චිත්‍රපටයකට කතා කළා

ටෙලි නිර්මාණ පැත්තෙන් මතක් කළොත්

සුදත් රෝහණ මාමාගේ මාණික්කාවත නාට්‍යයේ ගුනාදරී කියන අන්ධ චරිතය. තව දෙරණ නාළිකාවේ කොටස් 5ක විකාශය වන නාට්‍යයක රඟපෑවා.

පුංචි තිරයේ වගේම කටකාර සුන්දර පොඩ්ඩෙක් තමා පහන්දී කියන්නේ. ඉතින් පහන්දීගේ මේ රංගනය ගැන වැඩියෙන්ම සතුටු වෙන්නේ ආදරණීය දෙමාපියන් නිසා පහන්දිගේ අම්මා එක්කත් අපි කතා කළා.

පුංචි කාලේ මල් කුමාරියකට හිටිය වෙලාවේ එහි දෙවන මනමාලයාට හිටපු මල්ලි ප්‍රඩක්ෂන් හවුස් එකක වැඩ කළේ. එයා තමා දුව ෆොටෝජෙනික් නිසා වෙ‍ෙළඳ දැන්වීම් වලට සම්බන්ධ කර ගත්තේ. වෙ‍ෙළඳ දැන්වීම්වලට විතරයි මම කාලයක් යනකම් ම දුවව සම්බන්ධ කළේ.

හර්ෂ උඩකන්ද තමා එයාගේ චිත්‍රපටයට හරි යන්නේ දුවම තමා කියලා මගෙන් ඉල්ලුවේ. ඒ චිත්‍රපටයේ ගෝරි පැටියා චරිතෙන් හැමෝම අතරේ කතාබහ වෙන්න පටන් ගත්තා. එතැනින් පස්සේ තමා දුවට ආරාධනා බොහොමයක් ලැබුණේ. කතා කරන හැම නිර්මාණයකටම මම දුවව යවන්නේ නැහැ.

හොඳ ගුණාත්මක බවින් යුතු නිර්මාණ වලට විතරයි මම දුවව සම්බන්ධ කරන්නේ. ඒ වගේම මෙගා නාට්‍යය වලටත් මම සම්බන්ධ කරන්නේ නැහැ. දැන් මේ යන කියා දෙන්න ආදරේ තරම් වුණත් කොටස් 90න් නතර කරන්න තිබ්බේ. හැබැයි දැන් තව කොටස් කිහිපයක් ඉදිරියට යනවා කියලා අධ්‍යක්ෂතුමා මට කිව්වා. බාර ගත්ත නිරමාණයක් නිසා මම කිව්වා පාසල් පටන් ගන්න නිසා නිවාඩු දවස්වල දුවව සම්බන්ධ කර ගන්න කියලා.

දුවගේ රංගනය දැකලා මගේ ඇස්වලට කඳුළු එන අවස්ථාත් එමටයි. කොතැනට ගියත් දුවට ලොකු පිළිගැනීමක් තියෙනවා. මේ වෙද්දී මීනා කියලා තමා කොහේ දැක්කත් දුවට කතා කරන්නේ. අපි ජීවිතේට දැකපු නැති මෙයාට ආදරේ කරන අය ඉන්නවා. සමහරු ඇඳුම් පවා එවනවා. වෙ‍ෙළඳ දැන්වීම් සහ චිත්‍රපටවලට සහ හොඳ ටෙලි නිර්මාණවලට ආරාධනා ලැබුණොත් අධ්‍යාපන කටයුතුවලට බාධා නොවෙන විදියට සම්බන්ධ කරනවා.

 අනුෂා රණසිංහ

Comments