නිරූපණ ක්ෂේත්‍රයට කෙනහිලිකම් එපා | Page 2 | සිළුමිණ

නිරූපණ ක්ෂේත්‍රයට කෙනහිලිකම් එපා

2021 ලෝක සංචාරක රූ රැජන නලීෂා බානු
  • ප්‍රවීණයන් එක්ක එකතු වෙලා අලුතින් මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අයට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා
  • කාන්තාවක් ඉදිරියට යද්දී ගොඩක් කකුලෙන් අදින්නෙ කාන්තාවන්මයි. ඒ නිසා හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ එහෙම කරන්න එපා කියලා

ලෝක සංචාරක රූ රැජන 2021 (World of world tourism) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28 වැනිදා) සමත් වුණා. මෙවර එම තරගාවලිය පැවැත්වූයේ පිලිපීනයේ වන අතර රටවල් 30ක තරගකාරිනියන් අතරින් 22 හැවිරිදි නලීශා මෙම ජයග්‍රහණයට හිමිකම් කියනු ලැබුවා.

එහිදී දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හා තෙවන ස්ථානය හිමිවුණේ කැනඩාවටයි. මීට පෙර ලෝක සංචාරක රූ රැජන තරගාවලියෙන් තුන් වන ස්ථානයක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණද ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

කිරුළට අමතරව miss popular සහ miss talent යන ඉසව් ද්විත්වයෙන්ද නිලීෂා බානු ජයග්‍රහණය හිමිකර ගත්තා.

Miss talent ඉසව්වෙන් ඇයට ජයග්‍රහණය හිමිව ඇත්තේ අංගම්පොර හා ගින්දර එකතුව සිදුකළ රඟදැක්වීමකිනි. තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ (28 වැනිදා) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිහිමිවුණා.

නලීශා බානුට සුබපැතුම් එකතු කරන ගමන්ම ඇය සමඟ සිදුකළ කතාබහයි මේ.

නම - නලීශා බානු

ගම - පාදුක්ක වේරගල

පවුලේ විස්තර - අම්මායි අයියලා දෙන්නයි මමයි

පාසල් ගියේ - සාමාන්‍යය පෙළ දක්වා වේරගල කනිෂ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ මම හංවැල්ල සෙන්ට්‍රල් එකට ගියා උසස්පෙළ හදාරන්න.

කොයි කාලෙද නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නෙ

2017 දී, ගොඩක්ම මම බ්‍රයිඩ්ල් තමා කළේ. ඊට පස්සෙ මම 2019 සීතාවක රීජන්සි හෝටලෙන් පැවත්වුවා සීතාවක රීජන්සි ක්වීන් තරගයක්. ඒකට මම ත් සහභාගි වුණා. ඒත් ප්ලේස් එකක් ආවේ නැහැ. ඊට පස්සෙ 2021දී පැවැත්වූවා MR&MISS Teen Sri Lanka තරගය. එකේ මම තුන්වෙනි තැන දිනාගත්තා. ඒකෙන් පස්සෙ එයාල තමා දැම්මෙ මාව මිස් වර්ල්ඩ් ටුවරිසම් කියන එකට. එතනින් තමා මට ජයග්‍රහණය කරන්න ලැබුණේ.

කොහොමද මේ ජයග්‍රහණය දැනුණේ

ඇත්තට ම ලොකු තරගයක් තිබුණේ. වෙනසකට තිබුණේ මෙවර මේ තරගය ඔන්ලයින් පවත්වපු එක විතරයි. කොවිඩ් තත්ත්වය නිසා එහෙම වුණේ. නැත්නම් අපි යන්න ඕන පිලිපීන්වලට. හැබැයි තරගය ඔන්ලයින් පවත්වලා තීරණය දෙනකම් සියල්ල සජීවී ව පැවැත්වුණේ. ඒ නිසා තරගයේ තියෙන හදගැස්ම මේ තරගයේත් එහෙම්ම තිබුණා. ජයග්‍රහණය ලැබුණු වෙලාවේ ශ්‍රී ලංකා කියන නම ඇහුණු මොහොත විස්තර කරන්න බෑ.

ඔබට අයියල දෙන්නෙක් ඉන්නෙ. නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙද්දි කොහොමද ගෙදරින් ලැබුණු සහයෝගය

මට ඉන්නෙ ලොකු අයියලා දෙන්නෙක්. ඒ අයයි මායි අතර වයස් පරතරය වැඩියි. ඒ නිසා මගේ ගැන නිතරම සොයා බලනවා. මුලදී නම් කැමති වුණේ නැහැ මේ පැත්තට යොමු වෙනවට. පස්සෙ එයාල තේරුම් ගත්ත මගේ කැමැත්ත. ඒ නිසා සහයෝගය දුන්නා. ලොකු අයියා විදෙස්ගතව ඉන්නෙ. පොඩි අයියා නම් ලංකාවෙ. මම යන එන තැන් හැමදෙයක්ම හොයලා බලනවා.

දැන් ඒ අය මොකද කියන්නෙ

පවුලේ අයට සතුටක් තියෙන්නේ. මම මගේ ඉලක්ක බොහොම හෙමින් සම්පූර්ණ කරගන්න හැටි ඒ අය බලන් ඉන්නවා. මට ආශිර්වාද කරනවා උදව් කරනවා.

වෘත්තීය නිරූපණ ශිල්පිනියක් ද කියලා ඇහුවොත්

මම මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. වෙඩින් ඩ්‍රස් ක්ලියො බ්‍රයිඩ්ල් නමින්. ඒක පටන් අරන් අවුරුද්දක් වගේ.

රංගනයටත් දායක වුණා නේද

ඔව්, හිරු නාළිකාවේ විකාශය වන ෂැඩෝ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකත් මේ තරගයට පුහුණුවීම් තිබුණ නිසා නාට්‍යයේ කොටස් කිහිපයකටයි දායක වෙන්න ලැබුණේ. ඉදිරියට හොඳ ආරාධනා ආවොත් බාර ගන්නවා.

ඉදිරි බලාපොරොත්තු මොනවාද

ගොඩක් අය නිරූපණ ක්ෂේත්‍රය කිව්වම එච්චර ගණන් ගන්නෙ නැති තැනක්නේ තියෙන්නෙ. ඒ නිසා ප්‍රවීණයන් එක්ක එකතු වෙලා අලුතින් මේ ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අයට හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

තව පැජන්ට්වලට යන්න බලාපොරොත්තු තියෙනවා ද ?

එහෙම බලාපොරොත්තුවක් නැහැ. මොකද ලංකාවෙ ලස්සන මුහුණු ගොඩක් තියෙනවා. ඒ නිසා අලුතින් එන අයට ඉඩ දෙන්න ඕනේ.

මේ නිරූපණ ක්ෂේත්‍රයේ ගමන පහසුද?

ඔව් වෙනස් කරන්න එක එක කතන්දර කිව්වා. නමුත් මම ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ නිසා අද මම මෙතන ඉන්නවා. විශේෂයෙන්ම කාන්තාවක් ඉදිරියට යද්දී ගොඩක් ම කකුලෙන් අදින්නෙ කාන්තාවන්මයි. ඒ නිසා හැමෝගෙන්ම මම ඉල්ලන්නෙ එහෙම කරන්න එපා කියලා.

අවසාන වශයෙන් මේ ගමන එන්න සහයෝගය දුන්නු අය මතක් කරන්න ඇති

අනිවාර්යයෙන්ම අම්මා අයියලා දෙන්න ඇතුළු පවුලේ සැම. ඒ වගේම 2021.12.28 කියන දිනය. ඇත්තටම මගේ ජීවිතේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. හිතුවේ නෑ international crown එක අපිට ලැබැයි කියලා. රටවල් ගණනාවකින් අද මම මේ ජයග්‍රහය ලැබුවේ. ඒක ඇත්තටම තාමත් හීනයක් වගේ. MR & MISS Teen Sri Lanka නිසායි අද මම මෙතන ඉන්නේ. චරිත් ගුණසේකර සහ ඉසුරු ගුණසේකර, රුක්මල් සේනානායක තමයි මාව මේ තරම් දුර ගෙනාවේ. ඇත්තටම මට වචනවලින් කියන්න බැරි තරම් රුක්මල් සේනානායක උදව් කළා. මගේ ජීවිතයේ මට මුණ ගැසුණු නිහතමානීම චරිතයක්. අද කිරුළ එක මගේ වුණාට එකේ වටිනාකම යන්න ඕනි රුක්මාල්ට. ආදරණීය ගුරවරයෙක් ඔහු.

ඒ එක්කම තරංග කුරේ ඇත්තටම හැමදාම හොයලා බැලුවා .."කතා කියන අය කියපුදෙන් නංගි ඔයා ඔයාගේ ගමන යන්න මම ඉන්නවා ඔයා එක්ක " හැමදාම කිව්වේ ඒ වචන ටික. මට ඒක යෝධ ශක්තියක් වුණා. චන්දිමාල් ජයසිංහටත් බොහොම ස්තූතියි.

වගීශ වික්‍රමවංශ බණ්ඩාර ගොඩක් මහන්සි වුණා දවස් 4/5කින් talent එකක් පුහුණු කරන්න හරි අමාරුයි. ඒත් මගේ ගුරුවරයා ඒක කළා; බොහොම ස්තූතියි. තව මට මේ ගමන එන්න වචනයකින් හරි දිරිමත් කළ අයට සේම මාව අධෛර්යවත් කළ අයටත් මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ අය තමා මාව ශක්තිමත් කළේ.

අනුෂා රණසිංහ

Comments