ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
මෙවර සෞඛ්‍ය ලිපිය ඔස්සේ අප අවධානය යොමු කරන්නේ කාන්තාවන් බොහෝ දෙනකුට බලපෑම් කරන ගැබ් ගෙල පිළිකාව පිළිබඳව යි. මෙවර ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ගැබ්ගෙල පිළිකා ගැන නොදන්නා තතු රැසක් සිළුමිණ රසඳුන පාඨකයන් වෙනුවෙන් ඉදිරිපත් කළේ ය.
කාන්තා ප්‍රජනක පද්ධතියෙ ප්‍රධානම අවයවයක් ලෙස ගැබ්ගෙළ හඳුනා ගත හැකිය. ගර්භාෂය යෝනි මාර්ගයට විවෘත වන ස්ථානය ගැබ්ගෙල නම් වේ. මෙම රෝගී තත්ත්වය ඇති වීමේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර රුධිර වහනය, ඔසප්වීම් දෙකක් අතර රුධිර වහනය හා ලිංගික සංසර්ගයෙන් පසු අසාමාන්‍ය ලෙස රුධිර වහනය (වයස අවු.35ට වැඩි කාන්තාවන්) වැනි ලක්ෂණ දැකිය හැකිය. ගැබ්ගෙල පිළිකාවෙහි දරුණුම අවස්ථාව වනුයේ HPV DNA හියුමන් පැපිරෝමා වයිරස ආසාදනය වී ගැබ්ගෙළ පිළිකාව ඇති වීමයි.
මෙම රෝගයේ විශේෂත්වය නම් අනෙක් පිළිකාවන්ට සාපේක්ෂව ගැබ්ගෙළ පිළිකා කල්තියාම හඳුනා ගැනීමට හැකියාව පැවතීමයි. මේ ආශ්‍රිත රෝග ගැබ්ගෙල පිටතින් පරික්ෂා කිරීමටද හැකි වේ. ඒ සඳහා ගැබ්ගෙල ශ්‍රාව පටල පරීක්ෂණය (Pap smear test ) සිදු කරයි. මෙම පරීක්ෂණට ගැබ්ගෙල කොටසින් ඇසට නොපෙනෙන තරම් සෛල කොටසක් රසායනාගාරයට යවා පිළිකාවක රෝග ලක්ෂණ හෝ පිළිකාවක් සෑදී ඇත්ද යන්න පරික්ෂාවට ලක් කරයි. වයස අවු. 35-45 අතර කාන්තාවන්ට රජයේ සායන ඔස්සේ නොමිලේ මෙම පරීක්ෂණය සිදු කර ගැනීමට හැකිය. ඒ වගේම ගැබ්ගෙල ආශ්‍රිත රෝගී ලක්ෂණ මතු වන කාන්තාවන්ට යම් සැකයක් ඇත්නම් පිළිකාවක් ඇති බවට ඔබේ අවශ්‍යතාව පරිදි පෞද්ගලික රෝහලකින්ද මෙම පරීක්ෂණය සිදුකර ගැනීමට අවස්ථාව ඇත.
සුව කර ගන්න පුළුවන් ද?
මෙහිදී රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගැනීමට ඉහත පරීක්ෂණ යොදාගත හැකිය. තවද රෝගී ලක්ෂණ නිරීක්ෂණ සඳහා ඇති පරීක්ෂණයක් ලෙස කොල්පොස් කොපි (Colposcopy) හඳුන්වා දේ. එහිදී ගැබ්ගෙළ තුළට අන්වීක්ෂය යොදා රසායනික ද්‍රව්‍ය භාවිත කොට පිළිකාවක් ඇතිද යන්න පරීක්ෂා කරයි. එහිදී අවදානම් තත්ත්වයක් දක්වා පිළිකා පැතිර ඇත්නම් එම පරික්ෂණ අවස්ථාවෙදිම ඒ අවදානම් කොටස් ඉවත් කරයි. ඒ වගේම තවදුරටත් දරුඵල අපේක්ෂා කරන කාන්තාවන්ට මෙම පිළිකාව සඳහා ශල්‍යකර්ම ප්‍රතිකාර කිරීමෙදී පිළිකාව පැතිර ගිය අවයව කොටස් පමණක් ඉවත් කරයි. දරුඵල අපේක්ෂා නොකරන කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමෙදී ගැබ්ගෙළ, ගර්භාෂය,වසාගැටිති වැනි ගැබ්ගෙළ ආශ්‍රිත අනෙක් අවයව කොටස්ද ඉවත් කරනු ලබයි.රෝගයේ දරුණු අවස්ථාවට පැමිණි විට ශල්‍ය කර්මයකින් පිළිකාව සුවකළ නොහැකි රෝගීන්ට විකිරණ තාක්ෂණය (Radio Therapy) ඔස්සේ ප්‍රතිකාර සිදු කරයි. බොහෝවිට දියුණු රටවල ගැබ්ගෙළ පිළිකා ඇතිවීම අවම මට්ටමක පවතී. එයට හේතුව සෑම කාන්තාවක්ම කල්තියා ඉහත රෝග ලක්ෂණ හඳුනා ගැනීමේ පරීක්ෂණවලට යොමු කිරීමයි.
කාන්තාවන්ට ආවේණික අනෙකුත් පිළිකා විශේෂයන්ට වඩා ගැබ්ගෙළ පිළිකාවකදී ඇති වාසිය නම් කල්තියා රෝගය පැතිරීමට පෙරම පරීක්ෂා කොට හඳුනා ගැනීමට ඇති හැකියාවයි. එනම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් වහාම ප්‍රසව හා නාරිවේද පිළිබඳ වෛද්‍යවරයකුගේ උපදෙස් හා අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් ය.
එනම් ගැබ්ගෙළ පිළිකා ගර්භාෂය, යෝනි මාර්ගයෙ ඉහළ කොටස, වසා ගැටිති, මුත්‍රාශයට, ආහාර මාර්ගය යන අවයව දක්වා ව්‍යාප්ත වීමට ඉඩකඩ පැවතීම මෙම රෝගය ආශ්‍රිත අනෙකුත් සංකූලතා බලපෑම් අතර ප්‍රධාන වේ. එහෙත් ගැබ්ගෙල පිළිකාවකට අනිසි බියක් ඇතිකර ගත යුතු නැත. වෛද්‍යවරුන් පවසන අන්දමට රෝගය මුල් අවස්ථාවෙදීම හඳුනාගෙන ප්‍රතිකාර කොට ඉක්මන් සුව ළඟා කරගත හැකිය. එහිදී පිළිකා අදියරයන්හි අවදානම් සහගත තත්වයන්ගෙන් මිදීමට අවස්ථාව උදා වේ.
මේ වන විට වසර හතරක පමණ කාලයක් තිස්සේ 6ශ්‍රේණියේ දූ දරුවන් සඳහා (HPV Vaccine )HPV වයිරසය ආසාදනය වී ගැබ්ගෙළ පිළිකා ඇතිවීම මැඬලීමට එන්නත්කරණය ආරම්භක කොට ඇත. ඒ නිසා අනාගතයේදී මෙහි ප්‍රතිඵල මල්පල ගැන්වීමත් සමඟ ගැබ්ගෙළ පිළිකාව තුරන් කිරීමේ අපේක්ෂාවෙන් සිටියි.
සඳුනි අරුමප්පෙරුමාච්චි