ගමනක් ආවද කියලා ආපස්සට හැරිලා බලන්නවත් මම තව ම කැමති නෑ | සිළුමිණ

ගමනක් ආවද කියලා ආපස්සට හැරිලා බලන්නවත් මම තව ම කැමති නෑ

ජනප්‍රිය රංගන ශිල්පී කෝකිල පවන් ජයසූරිය

  • තිරය පිටුපස සෑහෙන දෙනෙක් අපිව වීරයො කරන්න වෙහෙසෙනවා
  • මට අභියෝග දෙකයි තියෙන්නේ එකක් බඩ පුරවා ගැනීම;අනෙක චරිතයට සාධාරණයක් ඉෂ්ට කිරීම

කෝකිල පවන් ජයසූරිය මේ දිනවල ප්‍රේක්ෂක හදවත් දිනාගත් රංගන ශිල්පියෙක්. සිඳු, නාඩම්කාරයෝ හා රැල්ල වෙරළට ආදරෙයි වගේ නාට්‍ය නිසා ඔහු මේ දිනවල බෙහෙවින් ජනප්‍රියයි.

කොහොමද අලුත් තොරතුරු?

ඔව්. මගේ පළවෙනි ගීතය රිලිස් වුණා. පද රචනය අනුරාධා රවිචන්ද්‍රන්.සංගීතය සචිත් බෝගොඩ.රූප රචනය ගායනය මම.ඒකට ලැබෙන ප්‍රතිචාර එක්ක මේ දවස්වල ඉන්නෙ. තව තුෂාරි අබේසේකර අධ්‍යක්ෂණය කරපු සඳ දෝණි ටෙලි වෘතාන්තයේ පළමු වැඩ ටික ඉවරයි.ඉස්සරහට එන්න තියෙනවා ඒක.මගේ වෙනස්ම මුහුණුවරකින් රංගනයෙ යෙදෙන්නෙ.ඊළඟට නාද සමඟ නාදය මුසුකළ මගේ අනිත් ගීතයට සූදානම් වෙන ගමන්.

ඔබ ගායනයට යොමු වීම අහම්බයක් ද?

ඇත්තටම මගේ අදහසට වඩා ලස්සන අදහස් ටිකක් මගේ ගායනය විඳපු අයගෙන් මට අහන්න ලැබුණා. එකක් කවුරුන් හෝ කියපු ගීතයක් නැවත ගායකයෙක් ගායනා කිරීමෙදී ඔවුන් ගායන කරන්නේ පරණ එකටමයි. නමුත් මම ඒක මගේම කරගෙන ගයනවා. මම ආසයි ගායනාවක් ඉදිරිපත් කරද්දි මට උත්තේජනයක් ලැබෙනවට. ඒ වගේම මට පුළුවන් නම් කාවහරි ඒකෙන් සනසන්න ඒක වැදගත්.

ඔබ වැඩියෙන්ම කැමති ගායනයටද රංගනයටද?

මම කලාව ඇතුළෙ ප්‍රියකරන දේවල් හතරක් තියෙනවා. මුලින්ම මම ආසයි මගේ රංගනයට; දෙවනුව ගායනයට; මගේ රංගනය ගායනය මමම රස විඳිනවා; තව මම අධ්‍යක්ෂණයට හා ඊට අවශ්‍ය අඩුමකුඩුම ටික හොයා ගන්න ආසයි.

තරුණයෙක් විදියට කලාවෙ ලොකු ගමනක් යනකොට ඔබ මුහුණ දුන් අභියෝග මොනවද?

මට අභියෝග දෙකයි තියෙන්නේ.එකක් බඩ පුරවගෙන ගමන යන්න. මම කැමති නෑ මගේ දුක මාකට් කරන්න. මගේ ජීවිත කතාවෙන් උත්තේජනයක් අරගෙන තව කෙනෙක්ට ඉගෙන ගන්න කාලයක් එයි. ඒ කාලය මේක නෙමෙයි. මම තාම බින්දුවෙ ඉන්නෙ.ගමනක් ආවද කියලා ආපස්සට හැරිලා බලන්නවත් මම කැමති නෑ.මම තාම තරුණයි. තව යන්න තියෙනවා. දෙවැනි අභියෝගය ලැබෙන චරිතෙට සාධාරණයක් කිරීම. තියෙන සම්පත් ටිකෙන් හරි ප්‍රේක්ෂකයාට ඒක දෙන්න ඕනෙ. ඔවුන්ට මගේ දුක සැප බඩගින්න වැදගත් නැහැ. මාව කවුරුත් කපන්න කොටන්න ආවෙ නැහැ. මට තරගය තියෙන්නෙ මාත් එක්කමයි.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සිරිමල්

ඔව්.ජාත්‍යන්තර සම්මානයක් ගන්න තැනට ජීවිතය හැරෙව්වෙ සිරිමල්. ඒකට ගොඩක් ස්තුතියි සෝමරත්න දිසානායක මාමට සහ රේණුකා බාලසූරිය නැන්දට.

හපන් පැදුරෙ අමතක නොවන මතක මොනවද?

හපන් පැදුරම මට අමතක නොවෙන පිටු ගොඩක්. මට නාට්‍ය ගුරුවරු ගොඩක් හිටියා. ඔවුන් තමයි මාව සම්බන්ධ කළේ හපන් පැදුරට. කුඩා කාලෙ ඉදලම මම හපන් පැදුරෙ ගීත ගායනා කරනවා. හපන් පැදුර තමයි මගේ මුල්ම කැමරාව.

ඔබේ ගායනයට මුල් අඩිතාලම වැටුණෙ හපන් පැදුරෙන්ද?

නැහැ. අඩිතාලම වැටෙන්නෙ පාසල හා දහම් පාසලෙන්.

ඔබේ ගමනට බිරියගෙන් ලැබෙන සහයෝගය මතක් කළොත්,

ආච්චිගෙන් ලැබුණා හා ලැබෙන විදියෙම සහයෝගයක්.

ඉස්සරහට ඔබේ ප්‍රේක්ෂකයන්ට ඔබව දැක ගන්න ලැබෙන්නෙ කොහොමද,

සමහරවිට කෝකිල නිහඬ වෙයි ටික කාලෙකට. මම කොහොමත් එක දිගට පේන්න කැමති නැහැ. රංගනය ටිකක් සීමා කරයි.අධ්‍යක්ෂණයට ටිකක් යොමු වෙයි. මගේ ප්‍රේක්ෂකයන් මට දීපු ආදරය මට හිතා ගන්න බැරි එකක්. මනමාලන් හැමතැනම බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි. නාඩගම්කාරයොන්ට ගොඩක් ස්තුතියි ඒ ආදරය මට ලබා දුන්නට.

අවසාන වශයෙන් කලාව හා ලාංකේය සමාජය ගැන ඔබේ අදහස

අපි වැඩ කරනවා. නිදි මරාගෙන සීමාවක් නැතුව. මම මේ කියන්නෙ නළුවෙක් විදියට නෙමෙයි. සාමාන්‍ය පුරවැසියෙක් විදියට. මේ කතා කරන්නෙ හැම ක්ෂේත්‍රයක් ගැනම. පේන්නෙ අපි වුණාට තිරය පිටුපස සෑහෙන දෙනෙක් නිහඬ වීරයො වගේ අපිව වීරයො කරන්න වෙහෙසෙනවා. මම දන්නෑ මේක කරන්න පුළුවන් ද කියලා. නමුත් අපේ ලංකාවෙ කලාව වෙනුවෙන් හරි වටිනාකමක් දෙන්න කෙනෙක් ඉන්නව නම් මේ දේවල් ගැන හිතන්න. සරලව මන් කියන්නෙ ගෙවීම් හා වැඩපිළිවෙලක් හදන එක ගැන. අපේ නිර්මාණ ලෝකයට ගෙනියන්න ඒ අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න එන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම අපි වෘත්තීය රංගන ශිල්පියෙක් වෙන්න මහන්සි වෙනවා වගේම සෑම වෘත්තීයකම මිනිස්සු ඒක රැක ගන්න මහන්සි වෙනවා. ඒ වෘත්තීවල දැන් ගොඩක් ප්‍රශ්න. එක රැයෙන් විසඳුම් හොයන්න බෑ කියලා මම දන්නවා. නමුත් වැඩපිළිවෙළවල් කතා කරලා ලිපියකට සීමා නොකරඒ අදාළ පාර්ශ්ව එක්ක මේක කරන්නෙ කොහොමද කියලා සාකච්ඡා කරන්න.ලංකාවේ ඕන තරම් වැඩ්ඩො හොඳ මොළ තියෙනවා; ඒ වගෙන් වැඩක් ගන්න.

 

Comments