ඕස්ට්‍රේලියාවේ හොල්මන් මන්දිරය මොන්ටි ක්‍රිස්ටෝ | සිළුමිණ

ඕස්ට්‍රේලියාවේ හොල්මන් මන්දිරය මොන්ටි ක්‍රිස්ටෝ

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි මොන්ටි ක්‍රිස්ටෝ නිවහන ගැන අසා නැති කෙනෙක් නොමැති තරම්. මේ කුඩා දෙමහන් නිවහන එතරම් ප්‍රසිද්ධ වන්නේ අන් කිසිවක් නිසා නොව ඒ නිවස තුළ පවතින්නේ යැයි විශ්වාස කෙරෙන අවතාර හේතුවෙන්.

මොන්ටි ක්‍රිස්ටෝ නිවහන එතරම් ඈත අතීතයක් සහිත නිවසක් නොවේ. මේ නිවස ඉදි කර ඇත්තේ 1878 වර්ෂයේදී. ඒ ක්‍රිස්ටෝපර් විලියම් ක්‍රොව්ලි විසින්. 1841 උපත ලැබූ ක්‍රිස්ටෝපර් ක්‍රොව්ලි අහඹු ලෙස ධනවත් වූවෙක්. ඔහු නිව් සවුත් වේල්ස්හි තම නිවස සැදීමට මිලදී ගත් ඉඩම් කොටස් දෙක වහාම හෝටලයක් ඉදිකිරීමට යොදා ගත්තේ එම ඉඩම ආසන්නයෙන් දුම්රිය මාර්ගය ඉදි වූ බැවින්. අවසානයේ ඒ නිවස සහ හෝටලය මැදි කර ගනිමින් ජූනි නගරය බිහිවූයේද ක්‍රොව්ලි බොහෝ දුර දිග බලා ඉදිකළ හෝටලය හේතුවෙන්. ඉන්පසු එම ප්‍රදේශය දැඩිව ජනාකීර්ණ වූ අතර ක්‍රොව්ලිට මහත් ආදායමක්ද හිමි වන්නට විණි. ඔහු තමාගේ සහ බිරියගේ පදිංචිය වෙනුවෙන් මොන්ටි ක්‍රිස්ටෝ නිවහන ඉදි කර සිටියේ එහි අතුරු ප්‍රතිඵලයක් හේතුවෙන්.

ක්‍රෝව්ලි මේ නිවහන ඉදි කර සිටියේ එම යුගයේ හැටියට අධි සුඛෝපභෝගී නිවසක් වශයෙන්. නිවස දෙමහල් වූ අතර ඇතුළත සුවපහසුව ඇති කිරීම සඳහා බොහෝ මුදල් වියදම් කර තිබූ බවක් දැක ගත හැකි විය. ක්‍රිස්ටෝපර් ක්‍රොව්ලිට සහ ඔහුගේ බිරිය එලිසබෙත්ට දරුවන් නොසිටි අතර ඒ හේතුවෙන්ම ඔවුන් දෙදෙනා අතර දැඩි බැඳීමක්ද විය.

බොහෝ මුදල් සොයා තැබීමෙන් සහ නව වික්ටෝරියානු සම්ප්‍රදායේ නිවස ඉදිකරීමෙන් පසුව 1910දී ක්‍රිස්ටෝපර් ක්‍රෝව්ලි මිය ගියේ හෘදයාබාධයක් සහ රුධිරය විස වීමක් හේතුවෙනි. ක්‍රිස්ටෝපර් ගේ මරණය වික්ටෝරියාට දරා ගත නොහැකි තරම් වූ අතර ඇය ඒ සඳහා මුහුණ දීමට තමාටම ආවේණික පිළියමක් සොයා ගත්තාය. ඇය තම නිවස කුඩා පල්ලියක් බවට පත් කර ගත් අතර ඒ තුළම තම ජීවිතය ගෙවා දැමුවාය. ඇය වසය අවුරුදු 82ක් ආයු වැලඳූ නමුත් ක්‍රිස්ටෝපර් ක්‍රොව්ලිගේ මරණයෙන් පසු ඇය නිවසෙන් පිටතට පැමිණ තිබුණේ අවස්ථා දෙකකදී පමණකි. ඒ හැර ඇය තම නිවස තුළම ස්වයංව සිරගත වූ අතර ආගමටම ජීවිතය කැප කළාය. ප්‍රදේශවාසීන් පවසන්නේ 1933 අගෝස්තු 12 වැනිදා ඇය මිය යන විටත් ඇය නිවස තුළම භූතාත්මයක් බවට පත්ව සිටින්නට ඇති බවයි.

ඇයගේ මරණයෙන් පසු මේ නිවස වසර ගණනාවක කාලයක් පාළුවට ගොස් තිබූ අතර 1963දී මේ නිවස මිලදී ගන්නේ රෙජිනල්ඩ් සහ ඔලීවියා යුවළ විසිනි. ඔවුන් පවසන්නේ මේ නිවසට ඔවුන් පැමිණි මොහොතේ සිට නිවස අසාමාන්‍ය බව ඔවුන්ට වැටහී ගිය බවයි.

ඔවුන් සමඟ ඔවුන්ගේ සුරතල් බල්ලාත්, බළලාත් ඔවුන් රැගෙන පැමිණි නමුත් එම සතුන් නිවසට ප්‍රවිෂ්ට වීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඔවුන් පසුව තහවුරු කරගෙන ඇත්තේ වික්ටෝරියා ක්‍රෝව්ලි කිසිසේත් සතුන්ට කැමැත්තක් නොදැක්වූ බවයි. පසුව නිවසේ ජීවත් වන විට ක්‍රමයෙන් ඔවුන්ට වරින්වර කාන්තාවක් දෘෂ්‍යමාන වන්නට වූ අතර ඔවුන් පසුව තහවුරු කර ඇත්තේ තමන් මේ දකින්නේ වික්ටොරියා ක්‍රොව්ලිගේ අවතාරය බවයි.

කෙසේ වුවද අද වන විට මොන්ටි ක්‍රිස්ටෝ නිවහන ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ අවතාර දහයක් පමණ ගැවසෙන පාළුවට ගිය නිවසක් වශයෙනි. මේ අවතාර අතර අස්හලෙහි සේවය කළ කුඩා පිරිමි ළමයෙක්, වියපත් සේවකයෙක්ද වන බව පැවසේ.

විශේෂයෙන්ම වික්ටෝරියා ක්‍රොව්ලි ගේ අවතාරය නිවසේදී දුලබව දැක ගත හැකි බවත්, එක්වරම අසාමාන්‍ය ශීතලක් සමඟ නිවසේ කොයියම් හෝ මුල්ලකින් ඇය දෘෂ්‍යමාන වන බවත් ඇගේ අවතාරය ඇසින් දුටු බොහෝ දෙනා පවසා තිබේ.

මේ කතා අනුව පෙනී යන්නේ තම සැමියාගේ වියෝවෙන් පසු ජීවිතයේ ඉතිරි කාලය ආගමටම කැප කළද වික්ටෝරියා ක්‍රොව්ලිගේ ආත්මයට සැනසීමක් නොලැබුණු බවය. එහෙත් ඇයගේ එම දුක්ඛිත ආත්මය හේතුවෙන් ඇයගේ නිවස වන මොන්ටි ක්‍රිස්ටෝ නිවහන නම් ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් බවට පත් විය.

 

ටිරෝනි වෑවලගේ

Comments