අලුත් නවකතාව මගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් | සිළුමිණ

අලුත් නවකතාව මගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක්

ලේඛිකා සමීරා තරංගනී ගල්හේන

පාසල් වියේ සිට ලේඛනයට ඇලුම් කළ ලේඛනයේ යෙදුණු සමීරා තරංගනී එවකට ‘හිමරෝස‘ යොවුන් පුවත්පතට කවි නිර්මාණ යොමු කරන්නේ අන්වර්තිත නාමයකිනි. පාඨකයන් අතර එම කවි ජනප්‍රිය වීමත් සමඟ හිමරෝස පුවත්පතේ ‘කඳුළු අහුර’ නමින් පිටුවක්ම සමීරා තරංගනී වෙනුවෙන් වෙන් වේ. පසුකලෙක ඇය එම පුවත්පතේ ම ‘පැංචිගේ කෝලම’ නමින් හා‍ෙස්‍යා්ත්පාදක ලිපියක් ලියනු ලැබුවේ ද ‘පැංචි’ නම් අන්වර්තිත නාමයෙනි. ඉන් අනතුරුව දිගින් දිගට ම නිර්මාණකරණයේ නිරත වූ සමීරා, ඊට පසු යොවුන් පුවත්පත් කිහිපයක ම විශේෂාංග ලේඛිකාවක් ලෙස කටයුතු කළා ය. ඒ අතර ජාතික තරුණ සේවා සභාව සහ සීතාවක මාධ්‍ය සංසදය එක්ව මෙහෙය වූ ජනමාධ්‍ය පාඨමාලාවක් ද හැදෑරූ සමීරා තරංගනී, ඒ සඳහා ඉදිරිපත් කළ කවි ව්‍යාපෘතියක් වෙනුවෙන් රජත සම්මානය ද හිමිකර ගත්තා ය.

සමීරා විසින් මුද්‍රණයෙන් නිකුත් කරන ලද මුල් ම කෘතිය වන්නේ ඇය විසින් යොවුන් සඟරාවකට ලියන ලද පළමු නවකතාව ‘ ස්නේහා ’ ය. මේ වන විට ඇය විසින් කෘති 9ක් මුද්‍රණයෙන් නිකුත් කර ඇත. විනෝදාංශයක් සහ ආත්ම තෘප්තිය වෙනුවෙන් ලේඛනයේ නිරත වන සමීරා තරංගනී ගල්හේන වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පිනියකි. ලේඛන කටයුතුවලට සහ වෘත්තීය ජීවිතයට නිරන්තරයෙන් ශක්තියක් වන සනත් චන්ද්‍රසිරි පත්බේරිය නම් සිය සැමියා සහ මවුපියන් සමීරා සිහි කළේ ඉතා කෘතවේදී ව ය.

මගේ නවකතා අතරින් මා වඩාත් ප්‍රිය කරන නවකතාව සහ එය ලිවීමට හේතුව

‘කැතී සහ මායා මුද්ද’ කියන්නේ මේ දක්වා මම ලියූ හැම නවකතාවකට ම වඩා වෙනස් ආකාරයේ නවකතාවක්. එය ළමා නවකතාවක් වගේම යොවුන් නවකතාවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඩවුන් සින්ඩ්‍රෝම් නම් රෝගයෙන් පෙළෙන දරුවකු ගැන ලියූ එම නවකතාව මටත් වෙනස් අත්දැකීමක් වුණා. මට අවශ්‍ය වුණේ එවැනි දරුවන්ට ආදරය මිස අනුකම්පාව අවැසි නැති බවට වගේම ඔවුන් සමාජයෙන් කොන් නොකළ යුතු බවට සමාජයට පණිවිඩයක් දෙන්නයි. එතෙක් ප්‍රේමය වැනි තේමාවන්ට සීමා වී තිබූ මගේ ලේඛන දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ‘කැතී සහ මායා මුද්ද’ නවකතාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ නවකතාවට මා නොසිතූ තරම් පාඨක ප්‍රතිචාර ලැබුණා. කුඩා දරුවන්ගෙන් වගේම වැඩිහිටි පාඨකයන් පවා ඒ නවකතාවට විශේෂ කැමැත්තක් දක්වනවා. එය මට විශාල සතුටක්.

ඒ නවකතාවේ මා වඩාත් සංවේදී වූ අවස්ථාව

එවැනි අවස්ථා නම් බොහොමයක් තිබෙනවා. ඩවුන් සින්ඩ්‍රෝම් රෝගයෙන් පෙළෙන ආනා නම් දැරියව ඇගේ පියා විසින් හොස්ටල් එකට බාර දෙන අවස්ථාවේ එහි පාලිකාව ඇය බාර ගැනීම තරයේම ප්‍රතික්ෂේප කරනවා. ඒ අවස්ථාවේදී ආනාගේ පියා පාලිකාව ඉදිරියේ බැගෑපත් වෙනවා. ඒ වගේම හොස්ටල් එකේ අනෙක් ළමයි ආනා අමුතු ළමයෙක් කියලා ඇයට උසුළුවිසුළු කරනවා. ඒ සිදුවීම් ලියද්දි මමත් බෙහෙවින් සංවේදී වුණා. විශේෂයෙන් කුඩා දරුවන් දෙදෙනකුගේ මවක් ලෙස ඒ දරුවාගේ වේදනාව මගේ හදවතට හොඳින්ම දැනුණා.

මෙතෙක් මට ලැබුණු සංවේදී පාඨක ප්‍රතිචාරය

මගේ ‘මුතු කඳුළක් ඉකි බින්දා’නවකතාව කියවූ එක් යුවතියක් දුරකථන ඇමතුමක් දී හඬමින් ඇයගේ ජීවිත අත්දැකීම් පැවසූ අවස්ථාව මෙතෙක් මා විඳි සංවේදී ම පාඨක ප්‍රතිචාරයයි. ඒ නවකතාව ඇයගේ ජීවිත කතාව බව ඇය පැවසුවා. මම ලියුවේ ඇයගේ කතාව නොවූවත් එය එක්තරා කාන්තාවකගේ සැබෑ ම ජීවිත කතාවයි. මම නවකතාවක් බවට පත් කළේ ඇය පිටු හතරකට ගොනුකර මා වෙත ලියා එවූ ඇයගේ ජීවිත කතාවයි. ඒ ප්‍රතිචාරය ඇතුළු මගේ පාඨකයන්ගේ හැම ප්‍රතිචාරයක් ම මට ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

මගේ ඉදිරි නිර්මාණ සැලසුම්

2022 වසර වෙනුවෙන් මා ලියූ අලුත් ම නවකතාව ‘කැතී සහ මායා බෝනික්කා’ දෙව්මිණි ප්‍රකාශනයක් ලෙස පසුගියදා නිකුත් වුණා. එය මගේ ‘කැතී සහ මායා මුද්ද’නවකතාව කියැවූ පාඨකයන්ගේ අසීමිත ප්‍රතිචාර නිසාම මා අතින් ලියවුණු කතාවක්. නමුත් ඒ මේතරම් ඉක්මනින් කෘතියක් බවට පත්වූයේ දෙව්මිණි ප්‍රකාශන හිමිකාරිනි, සහෝදර ලේඛිකා දිනූෂා වීරරත්න නිසයි. ඇයට මේ අවස්ථාවේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ ම ‘කැතී සහ මායා දුපත’ පොතේ අවසන් කොටස් මේ දිනවල ලියමින් සිටිනවා. ඒ වගේම මගේ ‘බඹර ඇස්’නවකතාව සහ තවත් නවකතාවක් ඉදිරියේදී ප්‍රකාශයට පත්වීමට නියමිතයි. ඊට අමතරව අංගම්පොර සටන් කලාව, පුනරුප්පත්තිය, අද්භූත සිදුවීම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි තොරතුරු ඇතුළත් වෙනස් විදියේ නවකතාවකුත් ලියමින් සිටිනවා.

Comments