අලුත් දේවල් නිර්මාණය කිරීමයි මගේ බලාපොරොත්තුව | සිළුමිණ

අලුත් දේවල් නිර්මාණය කිරීමයි මගේ බලාපොරොත්තුව

අත්කම් නිර්මාණ ශිල්පිනී මේනකා අමරසිංහ

මංගල ඇරයුම්පත්, වෙඩින් කේක් බොක්ස් වඩා අලංකාරවත් ලෙස නිර්මාණය කර ගැනීමට මනාල යුවළ කල්පනාකාරී වන්නේ බොහෝ විට ඒවා සිහිවටනයක් ලෙස තබා ගත හැකි නිසාය. කොතෙකුත් කාඩ්පත් නිර්මාණය කරන්නන් සහ කේක් බොක්ස් නිර්මාණය කරන්නන් සිටියද ඒවා නව මානයකින් මෙන්ම සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරවද එළිදක්වන විට බොහෝ දෙනෙකුගේ අවධානය ඒ වෙත යොමු වේ. එය බොහෝවිට හැඳින්වෙන්නේ නැවුම් නිර්මාණයන් ලෙසටය. මේ සටහන අමුද්‍රව්‍යයක් ලෙස ලී යොදාගෙන වෙනත් ආකාරයකින් මෙවැනි දෑ නිර්මාණය කරන තරුණියක් සම්බන්ධවය. ඇය නමින් මේනකා අමරසිංහය.

කවුද මේනකා අමරසිංහ කියන්නෙ?

මම අධ්‍යාපන කටයුතු කළේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ. ඉන් පස්සේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ව්‍යාපාර කළමනාකරණ ආයතනය හා සම්බන්ධ වුණා. මුලින්ම මම බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කළත් දැන් මම සේවය කරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශයේ තාක්ෂණික නිලධාරිනියක ලෙස

කොහොමද ඔබ මේ දේවල් අතරතුර නිර්මාණ සඳහා කාලය වෙන් කර ගන්නේ

රැකියාව කරන අතරතුර කාර්යබහුලත්වය කවර ආකාරයෙන් තිබුණත් මම කල්පනා කළා හැකියාවන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම මට වුවමනා වුණේ නෑ ඒක අතරමඟ නතර කරල දාන්නත්. ඒ හින්දා මුලින්ම ආරම්භයක් විදියට පටන් ගත්තා wedding cards හදන්න. එතනදි මට මුලින් ම සහයෝගය දුන්නේ මගේ හිතවතුන්. ඇත්තටම ඒක හොඳ ආරම්භයක් වුණා මගේ මේ වැඩ කටයුතුවල⁣ට. එතැනදි බොහෝ දේවල් වෙනස් වුණා.

ඒ කියන්නේ ගමන් මාර්ගයේ වෙනස් වීමක්ද?

ඔව්, ඇත්තටම. මුලින් මම අදහස් කරන් හිටියේ wedding cards නිර්මාණය කරන්න විතරයි. ඒත් මට ලැබුණු ඇණවුම් එක්ක මම wedding cake boxes නිර්මාණය කරන්න සමත් වුණා. මේ දෙකටම එක වගේම ඉල්ලුමක් තිබුණා. මම ළඟ තියෙන හැකියාව යම් යම් විදියේ වෙනස්වීම්වලට ලක් කරලා තමයි මම මේ දේවල් නිර්මාණය කරන්නේ. ඒ හින්දා හැමදාම මගෙන් සේවය ලබන්නාට අලුත් දේවල් දෙන්න මට හැකියාව තියෙනවා.

මේ දේවල් හැම තරුණියක් වගේ කරනවා. ඉතින් කොහොමද ඔබ මේ දේවල් සමඟ

තරග කරන්නේ?

ඒක හරි. මට ඕන වුණේ අනිත් අය කරන දේවල් කරන්න නෙවෙයි. වෙනම විදියේ නිර්මාණ එළි දක්වන්න. මුලින් අනිත් අය වගේම සාමාන්‍ය විදිහට wedding cards, wedding boxes නිර්මාණය කළා. ඒත් මට තේරුණා මේ වෙ‍ෙළඳපළත් සමඟ තරග කරන්න නම් අලුත් දේවල් දෙන්න ඕන කියලා. ඒක නිසා තමයි මම දැවමය දේවල් එකතු කරගෙන wedding cards සහ wedding boxes නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒත් මේ වන වෙනකොට මං ව්‍යාපාර කටයුතු කරනවා ලේසර් කට්වලින් නිර්මාණය කරන තැනටම. ඒ අතරවාරේ දැවමය නිර්මාණ වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒක ගොඩක් දෙනෙක්ට වෙනස්ම දෙයක් වුණා. ඒක හින්ද මගේ නිර්මාණ අනිත් අයගේ නිර්මාණවලින් වෙනස්ව පැහැදිලිව බලාගැනීමේ හැකියාව ලැබුණා.

අනිත් අයගේ නිර්මාණයන්ගෙන් ඔබේ නිර්මාණ වෙනස් වෙන්නේ කොහොමද?

මේ දේවල් ගොඩක් නිර්මාණය වෙන්නේ අත්කම් විදිහට. ඒත් මම මුල ඉඳලම මගේ ව්‍යාපාරය ප්‍රමිතියකට කරන්න බලාපොරොත්තුවෙන් හිටිය නිසා යන්ත්‍ර සූත්‍ර මුල් කරගෙන මේ හැම නිර්මාණයක්ම නිපදවෙන්නේ. ඒ වගේම මම එක් අයකුට කරපු නිර්මාණයක් තවත් තැනක කරන්නේ නෑ. අනිත් එක දවසින් දවස අලුත් දේවල් අත්හදා බලන්න ඕන. එකම අංශයක ඉන්නකොට හොඳ නිර්මාණ බිහිවීමේ අවස්ථාව වැඩියි.

ඔබේ නිර්මාණ සම්බන්ධයෙන් පවතින වෙ‍ෙළඳපළ කොහොමද?

මගේ නිර්මාණ අතරෙන් වැඩියෙන්ම ඉල්ලුම තියෙන්නේ දැව මුල්කරගෙන හදන wedding cake boxes සහ wedding cardsවලට. මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් වුණා කියලා තමයි මට හිතෙන්නේ. ඒක ට්‍රෙන්ඩ් එකක් වුණා. මගේ අනිත් නිර්මාණත් එක්ක බලනකොට මට දැන් හොඳ වෙළෙඳපොළක් බිහිවෙලා තියෙනවා. ආරම්භයේ ඉඳලම මම වැඩ පටන් ගත්තේ අන්තර්ජාලය මුල්කරගෙන. Online bussiness එකක් කරනවා කියන්නේ ගොඩක් දෙනෙක් අතරට යන්න පුළුවන් අවස්ථාවක්.

මේ මොහොත වෙනකොට පවතින ඉල්ලුම කොහොමද?

සමස්තයක් විදියට ගත්තම කොවිඩ් 19 නිසා හැම ක්ෂේත්‍රයේම යම් පසුබෑමක් දකින්න ලැබෙනවා. ඒත් පවතින තත්ත්ව යටතේ වුණත් මට නිර්මාණකරණයට ඉඩ ලැබුණා. කොහොම වුණත් කියන්න ඕන හුඟක්ම විදේශ රටවලින් වැඩි ඉල්ලුමක් තියෙනවා. ලංකාවට ඇවිත් weddings ගන්න ඉන්න අය තමයි ගොඩක්ම ඔන්ලයින් ඕඩර්ස් බාර දෙන්නේ.

එහෙමනම් අවසාන වශයෙන් මේනකාට මොකද කියන්න තියෙන්නේ?

මම විශ්වාස කරන දෙයක් තමයි ඕනෑම කෙනකුට ඕනෑම දෙයක සම්බන්ධයෙන් හැකියාවක් තියෙනවා. ඒ හැකියාවන් ඔප මට්ටම් කරලා ගන්න එක අපේ දක්ෂතාවක්. ඒ අතරින් කාන්තාව විශේෂයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ට තියෙන දක්ෂතාවන්ගෙන්, හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා.

 රස්තිකා කොබේවත්ත

Comments