
ගීතාලංකාරය
මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර
වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා
ගේ ළඟ වැටකඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරු ඉමු මිදුලට වීලා
හඳ මාමා නැඟෙන තුරු අපි තරු ගනිමු
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමු
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමු
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - මාලනී බුලත්සිංහල
අඹුසැමියන්ගෙ රණ්ඩුසරුවල් ගෙදර බත්හැළිය ඉදෙනකල් කියල කිව්වට එහෙමමත් නෑ. සමහර රණ්ඩු ගොඩක් දුරදිග යනවා. ඒ එක එක්කෙනාගෙ විදිහට. සමහර රණ්ඩු ටික වෙලාවයි. දෙන්න ම තනි තනියෙන් දුක් වෙනවා.
මහවැස්සක් බිමට හෙළා
නිසසල වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා ඉඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
හුඟක් වෙලාවට අඹු සැමියන් රණ්ඩු වුණාම ගෑනු කෙනා තමයි ගෙදරින් පිටවෙලා යන්නෙ. සමහර අවස්ථාවලදී ඒ තත්ත්වෙ වෙනස් වෙනවා. මේ ඒ වගේ අවස්ථාවක්.
“මා එක්කලා අමනාප වී දබර
දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර”
මෙතන හරි අපූරු යෙදුමක් තියෙනවා. ඒ තමයි දූගේ තාත්තා කියන යෙදුම. මේ තමයි අපේ ග්‍රාමීය සමාජයේ මානව බැඳීම් ඇතිවන ක්‍රමය. දරුවන්ගෙ අම්මා, පුතාලගෙ තාත්තා වැනි ප්‍රකාශ ගැමි සමාජයේ බහුලයි. මේ වාගෙ තත්ත්වයක් බටහිර සමාජයේ නෑ. පුංචි ප්‍රශ්නයක් ඇති වුණත් දික්කසාදෙන් තමා කෙළවර වෙන්නෙ. දරුවො කොහේ හරි සුරැකුම් මධ්‍යස්ථානෙක තියල තමතමන් තමතමන්ට කැමති අය එක්ක ජීවත් වෙනවා. ආසියාතික ගැහැනියගේ චින්තනය මීට වඩා තරමක් වෙනස්. ආසියාතික ගැහැනියගේ චින්තනයේ උත්තරීරත්වය යසෝදරාවතේ දකින්න පුළුවන්. තමා දමා ගිය සැමියා ගැන අවෛරීව සිතන ගැහැනියක් යසෝදරාවතෙන් මුණ ගැහෙනවා.
“කැලේ තිබෙන කොයිදේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා
අව්වේ තිබෙන රැස්මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා”
මේ ගීතයෙන් අපට මුණගැසෙන්නේ යසෝදරාවක් නොවේ. එහෙත් ඈ තුළ ද මානව ගුණාංග පිහිටා තිබෙනවා. සැමියා සමඟ ඇතිකරගත් දබරය පිළිබඳව ඈ තුළ දැන් ඇත්තෙ පසුතැවිල්ලක්. නිවසින් පිටවී ගිය සැමියා තාමත් ගෙදර පැමිණ නැහැ. ඇය තුළ බිය තනිකම වර්ධනය වෙනවා. සැමියා ආපසු පැමිණියහොත් ඔහුව ආදරයෙන් පිළිගන්න ඇය දැන් සූදානම්. ඔහුගේ හිත පැහැදෙන ලෙසට ගෙදර පරිසරය ඇය සකස් කරනවා.
වැලි පොල්කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණ කොළ සේරම අතුගාලා
ගේ ළඟ කඩුල්ලට බැරි බරදීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා
මිදුලේ පමණක් නොව හිතේ තිබෙන කැළිකසළ ද ඇය ඉවත් කර දමනවා. සැමියා නොමැති කල ඇය ආර්ථික බරකට ද මූණ දෙනවා. වැට කඩුල්ලට බැරි බර දීමෙන් එම ආර්ථික බර සංකේතවත් වෙනවා. ඇයට තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒ දරුවා අසන ප්‍රශ්නවලට උත්තර දීමට අසීරු බව.
මට අතීත සිද්ධියක් මතක් වෙනවා. මං ඒ කාලෙ පොඩියි. අපි හිටපු පළාතක අපේ ඉඩමට එහා ඉඩමෙ හිටියා දරිද්‍රතාවෙන් පෙළුණු පවුලක්. ඒ ගෙදර මනුස්සයා හැන්දෑවට බීල ඇවිත් බිරියට තළනවා. ඒ ගෑනු කෙනා ළමයි දෙන්නා කිහිලි ගහගෙන ගේ වටේ දුවනවා. අහල පහල අයගෙ බල කිරීමට මේ ගෑනු කෙනා පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා. පොලීසියට හැතැප්ම දොළහක් පයින් යන්න ඕනෑ. ඒත් මේ ගෑනුකෙනා ගියා. පොලීසිය පැමිණිල්ල ගාණකට ගත්තෙ නෑ. මේ ගෑනු කෙනාගෙ නම සුමනාවතී.
දවසක් වෙනත් රාජකාරියකට පොලිස් ජීප් එක ඒ පැත්තට ආපු වෙලාවක ස්වාමි පුරුෂයා සුමනාවතීට පහර දෙනවා දැක්කා. ඉන්ස්පැක්ටර් වාහනේ නවත්තලා හොඳ වැටමාර පොල්ලක් කඩාගෙන අර මිනිහට ගහන්න පටන් ගත්තා. සුමනාවතී දරුවො දෙන්න වඩාගෙන විලාප දෙන තමන්ගෙ මිනිහ දිහා බලන් හිටියා. එකපාරටම දරුවො දෙන්න බිමින් තියල සුමනාවතී ඉන්ස්පෙක්ටර් මහත්තයට වැන්දා.
“බුදු මහත්තයෝ - දැන් ඇති
ඔය මිනිහ මැරෙයි....”
ඒ වෙලාවෙ සුමනාවතීගෙ හිත ක්‍රියා කරපු ආකාරය සුමනාවතීම තමයි දන්නෙ. සමහරවිට තමන්ගෙ දරුවන්ට තාත්තෙක් නැතිව යයි කියල හිතෙන්න ඇති. මේවා තර්කයෙන් බුද්ධියෙන් තීන්දු කරන්න බෑ.
අපි මේ විඳින ගීතයේ කතා නායිකාව ඇතුළෙත් සුමනාවතී කෙනෙක් ඉන්නවා. දැන් ඇයට ඕනෑ තාත්තා ගැන ප්‍රශ්න අහන පුංචි දුව සනසන්න.
“හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු
හඳමාමා අතෙම ඒ පණිවුඩ යවමු
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමු”
මේ ගීතය පුරාම චිත්ත රූප පෙළක් පවතී. ඒ රූප පෙළ අවසන් වන්නේ තරු පෑයූ, සඳ පෑයූ රැයක පැල්පතක කඩුල්ලක් අසල තම දියණිය වඩාගෙන හඳ එළිය වැටුණු ගුරුපාර දෙස දෑස් දල්වා බලාසිටින ගැහැනියකගෙනි.