හිත ගත පෙළන ඉරුවාරදයෙන් මිදෙන්නේ මෙහෙමයි | සිළුමිණ

හිත ගත පෙළන ඉරුවාරදයෙන් මිදෙන්නේ මෙහෙමයි

ඉරුවාරදය පාලනය කිරීම සඳහා නිසි වෙලාවට ආහාර ගැනීම, සුව නින්ද, දිනකට ප්‍රමාණවත් ජලය පානය කිරීම වගේමචීස්, කැෆේන්, චොක්ලට් වැනි ආහාර ගැනීම අවම කිරීමත් වැදගත්

මොළයේ ඇතිවන වෙනස්කම් ඉරුවාරදයට හේතුවක්

ඇතැම් ඉරුවාරද රෝගීන්ට දීර්ඝකාලීන නොවුවද අතරමැද අංශභාග තත්ත්ව වුව ද ඇති වීමට හැකිය

 

අඩු අවධානය හේතුවෙන් ඇතැම් අවස්ථාවල අප කිසිසේත් අපේක්ෂා නොකරන තත්ත්වවලට මුහුණදීමට සිදුවන තැන් අපගේ ජීවිතේ නැතුවාම නොවේ. එවැනි තත්ත්වයක් ගැන මෙවර අපගේ වෛද්‍ය ලිපිය ඔස්සේ ගෙන ඒමට සිතුවේ එහි අවධානම ඔබට පෙන්වා දීම අපගෙත් වගකීම නිසා ය. අම්පාර මූලික රෝහලේ වැඩබලන උපදේශිකා ස්නායු විශේෂඥ වෛද්‍ය ආශා කුමාරසිංහ බොහෝදෙනෙක් පෙළෙන අධික හිසරදය හෙවත් උහුලාගත නොහැකි ඉරුවාරදය ගැන මෙසේ අදහස් දැක්වී ය.

 

හිසරදය යනු කාන්තාවන් අතර බහුල රෝගයකි. එය ඔවුන්ව කායිකව මෙන්ම මානසිකව පීඩාවට පත් කරයි. එහි නොහිතන පැතිකඩක් වන්නේ ඉරුවාරදයයි.

එනම් චර්යාවේ වෙනසක් හේතුවෙන් මොළයේ ඇතිවන වේදනා සංවේදී සෛල රසායනිකයක් ලෙස මුදා හැරීමයි. එමෙන්ම මොළයේ මතුපිට රුධිර වාහිනී අවට මාංශපේශීවල එම රසායනික ක්‍රියා ආරම්භ වේ. එවිට රුධිර වාහිනී පළල් වී රුධිර ප්‍රවාහයක් ඇති වෙයි. ඒ අනුව සංවේදිතාව වැඩිවීම, මොළයේ පටක ඉදිමීම හා රුධිර වාහිනී ඉදිමීම යන සියල්ල එකතු වී ඉරුවාරදය නම් රෝගය සෑදේ.

ඉරුවාරදය ජානමය වශයෙන් හට ගන්නා රෝගයක් ලෙසත් හැඳින්වේ. හෝමෝන වෙනස්වීම් මත ද ඇතිවන රෝගයක් ලෙසත් කාන්තාවන් අතර මෙය බහුල ය. මීට අමතරව ඕනෑවට වඩා නිදාගැනීම හෝ නින්දක් නොලැබීම, වෙලාවට ආහාර නොගැනීම, බඩගින්න, ආතතිය, ලිංගිකව හැසිරීම්, ව්‍යායාම නොකිරීම හෝ පමණ ඉක්මවා ව්‍යායාම සිදු කිරීම වැනි මොළයේ ඇතිවන වෙනස්කම් ඉරුවාරදයට හේතු වේ.

තවද විශාල ශබ්ද, හිරු එළිය, දේශගුණය වැනි අවට පරිසරයේ (Environmental Factors) ඉරුවාරදය රෝගය ඇතිවීමට බලපායි. ඇල්කොහොල්, කැෆේන්, චීස් වැනි ආහාර බහුලව ආහාරයට ගන්නා පුද්ගලයන්ට ඉරුවාරදය වැළඳීමේ ප්‍රවණතාව ඉහළයි. එනම් ඉරුවාරදය රෝගයේ රෝග ලක්ෂණ පෙරතියා හඳුනාගෙන සිටීම ඉතා වැදගත් වේ.

ප්‍රධාන රෝග ලක්ෂණ අතර හිසරදය, ඔක්කාරය, වමනය, හිරු එළිය, අධික ශබ්දයට සංවේදී වීම, ඉක්මනින් කෝප ගැනීම දැකිය හැකිය. පෙනුම කථනය හා සම්බන්ධ අපහසුතා ආදී වෙනස්කම් ද ඉරුවාරදයේ රෝගී ලක්ෂණ හඳුනා ගතහැකි තවත් ක්‍රමයකි.

ඇතැම් රෝගීන්ගේ හිසෙහි එක් පැත්තක් හිරිවැටී සුදු පැහැ කුඩා ලයිට් සෙලවෙනවා සේ දැනී පැය කිහිපයක් හෝ දින කිහිපයක් වේදනා සහගතව තිබේ. එනම් මෙම රෝගී තත්ත්වයෙදි බොහෝවිට ස්වයංව රෝගියා රෝග ලක්ෂණ අවධාරණය කර ගැනීමට කටයුතු කළ යුතුය.

ඉරුවාරදය රෝගයෙන් පෙළෙන රෝගියකු තමාට එම රෝගය ඇතිබව හඳුනා ගැනීමට ස්වයං පරීක්ෂණයක් සිදුකළ හැකිය.

ඒ සඳහා දිනපොත් ලකුණු කිරීම, එදිනෙදා ගත් ආහාර මොනවාද, උදෑසන අවදි වීම හා රාත්‍රී නින්දට යෑම, දවස ඇතුළත සිදු කළ ක්‍රියාකාරකම් අධ්‍යයනය ඔස්සේ ඔබේ හැසිරීම් හා චර්යා වෙනස්කම් හඳුනා ගැනීමට හැකිය. එමඟින් කුමන වෙනස්කම නිසා ඔබ ඉරුවාරදය රෝගයට ගොදුරු වූයේද වග අනාවරණය කර ගැනීමට හැකිය. ඉන් ඔබටම එම හැසිරීම්වලින් මිදී රෝගී තත්ත්ව ඇතිවීමේ වාර ගණන අවම කර ගැනීමට හැකියාව පවතී.

මෙම රෝගය නිට්ටාවට සුව කළ නොහැකි රෝගයක් වුවද ඉතා සුලබ වශයෙන් එවැනි සුව වූ රෝගීන්ද වාර්තා වේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමට පෙර එම ලක්ෂණ හඳුනාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා වැදගත් ය. නැතිනම් ඇතැම් ඉරුවාරද රෝගීන්ට දීර්ඝකාලීන නොවුවද අතරමැද අංශභාග තත්ත්ව ඇති වීමට වුව ද හැකිය. ඉරුවාරදය රෝගය විවිධ වර්ග අනුව ප්‍රතිකාර සඳහා යොමු වේ.

මීට අමතරව ඉරුවාරදය රෝගය පාලනය කිරීම සඳහා නිසි වෙලාවට ආහාර ගැනීම, සුව නින්ද, දිනකට ප්‍රමාණවත් ජල පානය, චීස්, කැෆේන්, චොක්ලට් වැනි ආහාර නිරන්තර ආහාරයට නොගැනීමට කටයුතු කිරීම, වෛද්‍යවරුන් විසින් අනුමත කළ ඖෂධ නිසි මාත්‍රාවට ලබා ගැනීම ආදියෙන් ඉරුවාරදය ආශ්‍රිත වෙනත් රෝගී බලපෑම් හෝ සංකූලතා අවම කරගැනීමට දායක වේ.

එමෙන්ම ඖෂධ මඟින් නිවාරණය කළ නොහැකි සමහර රෝගීන් ඇතැම්විට එන්නත්කරණය සඳහා ද යොමු කරයි. අධික උෂ්ණ ආහාර නොගැනීම, පළතුරු හා සිසිල් ආහාර නිරන්තර ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ.

හිසරදය සුළු රෝගයක් ලෙස නොසලකා සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර සඳහා යොමු වීමත් වෛද්‍යවරුන් අනුමත කළ ප්‍රතිකාර වෛද්‍ය සායන සඳහා නිසි පරිදි සහභාගි වීමත් ඉරුවාරදය රෝගයේ දරුණු තත්ත්ව මඟහරවා ගැනීමට උපකාරී වේ.

 

Comments