මම කැමති අභියෝගාත්මක චරිතවලට ජංගි හොරා සිනමාපටයේ කරුණා ලෙස රඟන බුද්ධිනී රන්දෙණිය | සිළුමිණ

මම කැමති අභියෝගාත්මක චරිතවලට ජංගි හොරා සිනමාපටයේ කරුණා ලෙස රඟන බුද්ධිනී රන්දෙණිය

හැමෝම හොඳට ඇඳුම් ඇඳ ගත්තත් අපි නිරුවත් මිනිස්සු. අපි කරන කියන දේවල්වලින් තමයි නිරුවත් හෝ අඩ නිරුවත් වෙන්නේ.

 

බුද්ධිනී රන්දෙණිය සෝමරත්න දිසානායකගේ " ජංගි හොරා" සිනමාපටයේ කරුණා⁣ගේ චරිතයෙන් රිදී තිරයට පා තැබූ නවක රංගන ශිල්පිනියකි. එහෙත් ඇගේ රංගන පරාසයේ පුළුල් බව නිසා ම අපි ඇය ව සිළුමිණ රසඳුන කතා බහකට එක් කර ගතිමු.

 

සෝමරත්න දිසානායකගේ ජංගි හොරා චිත්‍රපටයේ ඔබේ භූමිකාව පිළිබඳ ඔබගේ තක්සේරුව කුමක්ද ?

ඇත්තටම මට ඒ ගැන සතුටුයි. පුංචි කාලේ අපි අහලා තියෙනවානේ, ඉබ්බාගේ හා හාවාගේ කතාව ගැන. ඒ වගේ තමයි මමත් යන්නේ; ඉබි ගමනින්. මොකද දිනන්නෙ ඉබ්බානේ. ඉතින් රේස් එක දිනන්න නම් ඉබි ගමන හොඳයි කියලා මට හිතෙනවා. මොකද එතකොට අපට හොඳ අවබෝධයෙන් සහ අවධානයෙන් යන්න පුළුවන්.

 

ජංගි හොරා පිටපත කියවද්දී ඔබේ චරිතය⁣ට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා ඔබට සිතුණාද?

ඇත්තටම ඔව්. මේ සිනමා පටය රූගත කරන්න පටන් ගත්තේ මම විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙච්ච ගමන්මයි. ඒ නිසා අභියෝගවලට මුහුණ දීමේ ඉඩකඩ වැඩියි. නාට්‍ය හා රංග කලාවත්, මනෝ විද්‍යා විෂයත් හදාරා තිබීම නිසා මට අලුත් තාක්ෂණික ක්‍රම ශිල්ප හා බද්ධවීමෙන් වගේම මානසික හැඟීම් එක්ක ගනුදෙනුව ගළපා ගන්න පහසු වුණා. ඒ නිසා මගේ සීමා මායිම් කඩාගෙන යාම හා සංස්කෘතිකමය වටපිටාවේ ගැහැනු ළමයකු සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන දෙය බොහෝම නිදහසේ පැත්තකින් තියලා මම මේ චරිතයට අවතීර්ණ වුණා. චරිතයේ යම් යම් ගැටලු මතු වන විට අධ්‍යාපනය මූලික කර ගත් වටපිටාවෙන් එයට විසඳුම් සෙව්වා. කොටින්ම කියනවා නම් මම දර්ශන තලයට යන්න පෙර මට ලැබුණු පිටපතේ පස් වතාවක් විතර කටු සටහන් ගසා ගත්තා. මම ඒ චරිතයට සාධාරණයක් කරන්න ඕන නිසයි එසේ කළේ.

 

ප්‍රධාන චරිත ඉඳිද්දි දෙවන පෙළ චරිතය සිනමාව පුරාම ඉස්මතු වී පෙනෙනවා.
ඒ ගැන ඔබේ අදහස කුමක්ද ?

චරිතය, ප්‍රධාන චරිතය ද සහය චරිතය ද නොවේ. ලැබෙන චරිතයට අනුගත වෙලා චරිතයට සාධාරණයක් කිරීම තමයි මගේ අභිප්‍රාය. පිටපත අතට ලැබුණ වෙලාවේ සිට මම මගේ චරිතයට අනුගත වෙනවා. සමහර ශිල්පීන් රංගනයට එන්නේ ප්‍රධාන චරිතය හෝ දෙවන චරිතය බලාපොරොත්තුවෙන්. එහෙමත් නැත්නම් සීන් කීයක් තියෙනවද කියලයි. හැබැයි මට නම් ඒ දේවල් නෙවෙයි වටින්නේ. දර්ශන තලය තුළ යම් දෙයක් කරන්න පුළුවන් නම්, ඒක තමා මට වැදගත්. අපේ රටේ එක දර්ශනයකින් සම්මාන ගත්ත නිළියන් ඉන්නවා. ඔවුන් කවදාවත් දර්ශන තලය තුළ ප්‍රධාන චරිතයවත්, දෙවන චරිතයවත් කියලා විශේෂ කරගෙන නැහැ. ඔබ කියන විදිහට කරුණාගේ චරිතය ඉස්මතුවෙලා පේනවා ඇති. ඒ මම හැම වෙලාවෙම කරුණා වෙනුවෙන් පෙනී සිටි නිසයි.

 

කරුණා තමන්ගේ ශරීරයට හැම වෙලාවෙම මිලක් නියම කරනවා.

එය ඔබ දකින්නේ මොන විදිහට ද ?

කරුණා මිලක් නියම කරන්නේ ඇය මානුෂීය ගැහැනියක් නිසා. ඇයට තිබෙන දරිද්‍රතාව වෙන්න පුළුවන්, නැත්නම් ඇගේ ගමන ඉදිරියට ගෙන යාම වෙන්න පුළුවන්. ඒ නිසා ඇය අඟපසඟවලට මිල නියම කරලා ජීවිතයේ ඉදිරියට ගෙන යනවා. ඔබ කියන්නේ ඇය වැරදියි කියලා ද ? ඇත්තටම හැමදේටම මිලක් තියෙනවා. මම කියන්නේ මුදලම නෙවෙයි. හැමදේකටම වටිනාකමක් තියෙනවා. ඒ අතර අමිල දේවලුත් තියනවා. ඒක කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.

 

සංස්කෘතිය සභ්‍යත්වය මූලික කර ගත් සමාජය තුළ ඔබව මොන වගේ

පසුවට දකියිද?

සමාජය අඩ නිරුවත් වීම දකින්නේ වැරදි කෝණයකින් තමයි. හැබැයි, මේ විෂය ඉගෙන ගත්තු කෙනකු එය නිවැරදිව දකී. හැමෝම හොඳට ඇඳුම් ඇඳ ගත්තත් අපි නිරුවත් මිනිසුන්. අපි කරන කියන දේවල්වලින් තමයි නිරුවත් හෝ අඩ නිරුවත් වෙන්නේ. හැබැයි කැමරාවක් ඉදිරිපිට වෘත්තීය මට්ටමෙන් ඒ අභියෝගයට මුහුණ දීම නිළියක් ලෙස මම කළ ලොකු ජයග්‍රහණයක් කියලයි මම නම් හිතන්නේ.

 

අභියෝගාත්මක රංගනයන් ඉදිරිපත් කරන නළු නිළියන් බොහෝම අතළොස්සයි ඉන්නේ. ඔබ මේ ගැන දකින්නේ මොන විදිහටද ?

ඔබ කියපු කතාවට මම එකඟ වෙනවා. අලුත් පරම්පරාව මේ ගැන අධ්‍යයනය කරමින් ඉන්නෙ. ඔවුන් හැම වෙලේම අභියෝගවලට මුහුණ දෙන්න කැමති පිරිසක්. හැබැයි අපට රංගනය පිළිබඳව හදාරන්න නිශ්චිත තැනක් නෑනේ. ඒක ලොකු අඩුවක්. ඉන්දියාව, ඇමෙරිකාව වගේ රටවල්වල ජාත්‍යන්තර මට්ටමේ රංගන පාසල් තියෙන්නේ, ඒවයෙන් එළියට එන රංගන ශිල්පීන් කොච්චර දක්ෂ ද ? ඔවුන් එක්ක සංසන්දනය කරනකොට අපිට දුකක් ඇති වෙන්නේ, අපිට කියලා රංගන පාසලක් තියෙනවා නම්, මේවට මුහුණ දෙන එක එච්චර අභියෝගයක් නෙවෙයි. අපිට තියෙන්නේ ස්ථාන දෙකයි. එකක් තමයි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. අනික කොළඹ ශ්‍රී පාලි මණ්ඩපය. අපිට මේ දෙක හැරුණම වෙන ඒවා නෑ. මේ විෂයය ගැන සාපිපාසයෙන් පෙළෙන අය ඕනි තරම් ඉන්නවා. ඔවුන්ට වෘත්තීය මට්ටමට ළඟා වන්නට ක්‍රමවේදයක් සැකසිය යුතුයි. මම හිතන්නේ රංගන ශිල්පීන් අඩුවක් නැහැ. එයට අවශ්‍ය පසුබිමයි සැකසිය යුත්තේ.

Comments