
ලංකාවේ හංගපු සැඟවුණු ඉතිහාසයක් ඒක ඇතුළේ තියෙන්නේ. නායක්කර් වංශය පිළිබඳව ලංකාවේ තියෙන්නේ හදපු ප්‍රතිරූපයක්.
ඒ කාලේ දේශපාලන සංකීර්ණතා ගොඩක් මැද්දේ තමයි රට කෙරුණේ. බෞද්ධ සංස්කෘතිය ඒකට පැටලිලා ලොකු විපර්යාසයන් ගොඩක් සිද්ධ වුණු කාලයක්. ඉතින් එහෙම පර්යේෂණ කරපු කෘතිය තමයි "භවතරණ" හැටියට තිර පිටපතක් විදියට එළියට ඇවිල්ලා 2013 නේ දවස් 142ක් රූප ගත කිරීම් කරලා ලක්ෂ 570ක පිරිවැයක් දරලා ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය ශිල්පින් රඟපාන කෘතියක්. 2014 දී තමයි අපිට ප්‍රදර්ශන සහතිකය ලැබිලා සිනමා නිර්මාණයක් හැටියට එන්නේ.
මේ තුළ කතා වෙන්නේ ඉතිහාස දේශපාලනය සහ සමාජ දේශපාලනය ඇතුළේ රට පාලනය වුණේ කොහොමද කියන එකත්, ඒ වගේම ඒ ඇසුරේ බෞද්ධ සංස්කෘතිය කොහොමද දේශපාලනයට ඉවහල් වුණේ කියන එක තුළින් සැබෑ බුදු දහම කොහොමද අපි වර්තමානයේ අත්විඳින්නේ කියන දේ. මේ කෘතිය තුළ තියෙන බොහෝ දේවල් වර්තමානයට සමාන වගේ දැනෙන්නත් පුළුවන්.
ඉතිහාසයේ තියෙන අඳුරු සෙවණැලි වර්තමානයට වැටුණු බව තමයි මේකේ ඇතුළෙ අපි කතා කරන්නේ.
පළමු සිනමා නිර්මාණයට මේ වගේ සිනමා නිර්මාණයක් කිරීම අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?
හිතුණා, ඒ අභියෝගය තමයි ලංකාවේ සිනමාවට වුවමනා කරන්නේ. ලාංකීය සිනමාව 1901දී පටන් අරන් එතැන් සිට අද දක්වාම අවුරුදු 125ක් වගේ කාලයක් සිනමාව එක්ක ඇසුරු කරපු සමාජයක් හැටියට දේශීය සිනමාව වැඩිපුරම ඇසුරු කරලා තියෙන්නේ කතන්දර සිනමාවක්.
ඒ කියන්නේ කතන්දර කීමේ, කතන්දර ඇසීමේ, කතන්දර බැලීමේ සිනමාවක්. හැබැයි ඒ අතරේ බොහොම අතළොස්සක් සිනමාවේ වෙනත් ඉසව්වන් සොයාගෙන ගිය අපිට කලින් පරම්පරාවත් ඊට පෙර පරම්පරාවෙත් අධ්‍යක්ෂවරු නොසිටියා නෙවෙයි. හැබැයි ඒ අය බොහොම විරලව බිහිවෙච්ච නිර්මාණකරුවෝ.
මම හිතනවා අපේ පරම්පරාව නියෝජනය කරන්න තවත් කතන්දර සිනමාකරුවෙක් වීමට වුවමනාවක් තිබ්බේ නැහැ. ලෝක සිනමාවේ සිනමාව භාවිතා කරන පදනම් කිහිපයක් තියෙනවා. සිනමාව ගැන ඉගෙන ගන්නකොට කියන පළවෙනි දෙයක් තමයි සිනමාවට සංකල්පයක් තියෙන්න ඕනේ කියන එක. සංකල්පයක් නැති තැන සිනමාවක් නැහැ.
මේ වෙද්දී බොහෝ තැන් වල ඉතුරුවෙලා තියෙන්නේ මිනිසුන්ට බලලා එන්න තියෙන තවත් රසබර කතාවක් විතරයි. වැඩිපුරම ඉතිහාස කතා හැදුණු වකවානුවක අපිට ඉතිහාසය ඇතුළෙත් බලන්න ඉතුරු වුණේ අපි හැමදාම අහපු කතන්දරය බලලා එන එක පමණයි.
ඉතින් මම මේ පර්යේෂණය පටන් ගත්ත යුගයේ පටන් මේක ලියැවුණේ තවත් ඉතිහාස කතාවක් හැටියට මේක කරලා ඉවර කරන්න නෙවෙයි. මේ තුළ වෙනත් සංකල්ප උත්පාදනය කරලා දේශපාලනය බුදු දහම සහ මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ මිනිසුන්ට වෙන හැඟීමක් ඇති කරලා සිනමාශාලාවෙන් එළියට ගෙන්න.
ඒ නිසා කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේකේ කතාවක් නැහැ නේද කියලා. ඔව් කතාවක් ඇතුවත් නැහැ නැතුවත් නැහැ. මේක නිර්මාණ වෙන්නේ සංකල්ප කිහිපයක් ඇසුරු කරගෙන නිර්මාණය වූවක්. ඒ අභියෝගය අපේ පරම්පරාවේ කවුරු හෝ කොතැනින් හෝ ආරම්භ කළ යුතුයි කියන එක මම කියන්නේ. ඒ අභියෝගය බොහොම ශක්තිමත්ව භාරගත්ත නිසා තමයි "භවතරණ" අන්තර්ජාතික සම්මාන උළෙල තුනකින් සම්මානයට පාත්‍ර වෙන්නේ හොඳම සිනමා කෘතිය හැටියට.
ලංකාව තුළ නිර්මාණය වූ ඉතිහාස සිනමා කෘතියකට අන්තර්ජාතික සම්මාන තුනක් හිමිවුණු පළවෙනි අවස්ථාව. ඉතින් මම හිතනවා මම ගත්ත අභියෝගයට හරි පිළිතුරක් එතනදීම ලැබිලා තියෙනවා.
"භවතරණ" දැන් සිනමා රසිකත්වයට භාරයි, වත්මන් සිනමා රසිකත්වයට මොකක් ද කියන්න තියෙන්නේ
කවදාවත් අපේ සිනමාව ස්වර්ණමය වෙලා නැහැ. සිනමාව ස්වර්ණමය වූ රටවල් වල කවදාවත් සිනමා කර්මාන්තය කඩාවැටිලා නැහැ. රුසියාව, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඇමරිකාව, වැඩිය ඕනේ නැහැ අසල්වැසි ඉන්දියාව දිහා බලන්න සිනමාව කියන එක ස්වර්ණමය වූ තැන කවදාවත් සිනමා කර්මාන්තය කඩා වැටිලා නැහැ. හැබැයි ලංකාවේ අපි බලන් ඉන්දැද්දි විවිධ පරිජ්ජේද වල කඩන් වැටුණා. ඒකට හේතුව සිනමාවේ ස්වර්ණමය යුගයක් තිබ්බේ නැහැ. තිබ්බේ සිනමාකරණයේ ස්වර්ණමය යුගයක්. එවකට තිබුණු තාක්ෂණය එක්ක සුදු තිරයක් ඇතුළේ දුක ආදරය සතුට ඇක්ෂන් සටන් දැක්කම මේ සමාජයට මේ මැජික් එක දරා ගන්න බැරිව ගියා. මේ මැජික් එක බලන්න මිනිස්සු ගියා.
එතකොට ඇත්තටම සිනමාව ස්වර්ණමය නොවූ යුගයක සිනමාකරණයේ ස්වර්ණමය කරලා තිබ්බේ මේ ප්‍රේක්ෂකාගාරය. ප්‍රේක්ෂකයන් එදා ගිහින් බැලුවේ නැහැ මේ චිත්‍රපටය හොඳ ද, මේකේ රංගනය කොහොමද කියලා බලන්න ගියේ නැහැ. ඔවුන්ට ඇහෙන දකින දේ බලලා ඔවුන් වින්දා. ලංකාව හිතන් ඉන්නේ සිනමාව සහ සිනමාකරණය කියන්නේ එක විෂයක් කියලා. නැහැ එකට බද්ධ වුණු විෂයයන් දෙකක්. සිනමාවේ හදන්නේ නිර්මාණකරුවන් සිනමාකරණය ඇතුළේ තමයි තියෙන්නේ තාක්ෂණය, සිනමා ශාලා වල ප්‍රමිතිය වැනි දෑ.
ඔබ සොයා බලන්න අසූව දශකයේ නිර්මාණය වුණු ඉතාම අඩු ගුණත්වයෙන් යුතු කොමඩි චිත්‍රපට බලන්න පෝලිම් හැදිලා සෙනඟ ගියානේ. එතකොට ඔප්පු වුණේ සිනමාවේ ස්වර්ණමය බව නෙවෙයි. අපේ භාෂාවෙන් කියනවා නම් මොන ගොං ජෝර්ක් එක වුණත් මිනිස්සු බලන්න ගියේ සිනමාකරණය ඇතුළෙ තිබ්බ දේවල්. අපේ සිනමාව තුළ අතළොස්සක් නිර්මාණ තිබ්බා ඒ සිනමා කෘති ස්වර්ණමයි.
හැබැයි ඒ ලේබල් එක අරගෙන පොදුවේ කියන්න බෑ ලංකාවේ සිනමාවම ස්වර්ණමයයි කියලා. අපිට අද නෙවෙයි සිනමා කර්මාන්තයක් තියෙන්නේ එදා හොඳ කර්මාන්තයක් තිබ්බා. අන්න ඒ කර්මාන්තය රැක්කේ අපේ රසික ජනතාව. තවමත් මෙය පණගහන් ඉන්නේ රසිකත්වය නිසා. ඒ නිසා අදටත් ඉන්න ප්‍රේක්ෂකාගාරයට අපි කෘතවේදී විය යුතුයි.
ඒ ප්‍රේක්ෂකාගාරයටම මම ආරාධනා කරනවා මේ වෙනස් වූ කතන්දර සිනමාවෙන් තොරවූ "භවතරණ" යත් අත්විඳින්න එකතු වෙන්න කියලා.