රූට් අළු බඳුණේ පළමු තරගය පැරදුණත් පෞද්ගලික ජයග්‍රහණයක් | Page 3 | සිළුමිණ

රූට් අළු බඳුණේ පළමු තරගය පැරදුණත් පෞද්ගලික ජයග්‍රහණයක්

 

'අළු බඳුන පළමු ටෙස්ට් තරගය එංගලන්තය පරාජය විය. එහෙත් කණ්ඩායම් නායක ජෝ රූට් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේ ය. මේ ඒ් ගැන කෙටි සටහනකි.'

එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් තරග වර්ෂයක් තුළ වැඩිම ලකුණු රැස් කළ එංගලන්ත පිතිකරුවා වශයෙන් වාර්තාවක් පිහිටුවීමට වත්මන් ක්‍රිකට් නායක ජෝ රූට් සමත් වූ‌යේ ය. ඒ් මීට පෙර හිටපු එංගලන්ත නායක මයිකල් වෝන් පිහිටුවා තිබූ වාර්තාවක් බිඳ දමමිනි.

පරාජය වූ බ්‍රිස්බේන් හි ගැබා පිටියේ තරගයේ දෙවැනි ඉනිමේ ලකුණු 89 ක් රැස් කරමින් ඔහු මෙම වාර්තාව සිය නම ඉදිරියේ ලියා ගත්තේ ය. කෙසේ නමුත් ඔහු පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගියේ ය.

2021 වසරේ ටෙස්ට් ලකුණු 1541ක් රැස් කරමින් ඔහු මෙම වාර්තාව සිය නම ඉදිරියේ සනිටුහන් කර ගත්තේ ය. ඒ අනුව ඔහු මෙම තරග වර්ෂය තුළ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය ලෙස ලකුණු 67 ක් වාර්තා කළේ ය.

මීට පෙර එනම් 2002 වසරේ දී මයිකල් වෝන් විසින් ලකුණු 1481 ක් රැස් කරමින් තරග වර්ෂයක වැඩිම ලකුණු ලැබූ එංගලන්ත ක්‍රීඩකයා වශයෙන් වාර්තාවට උරුමකම් කීවේ ය. මෙහි සමස්ත තරග වාර්තාවට හිමිකම් කියනුයේ 2006 වසර වනවිට පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ යූසුෆ් යොහානා ය. ඒ ලකුණු 1788 ක් වශයෙනි.

තරග වර්ෂයක් තුළ වාර්තාගත මුළු ලකුණු එකතුවක් රැස් කළ රූට් මෙවර ඔස්ට්‍රේලියානු බිමේ ක්‍රීඩා කළ දහ නවවැනි ඉනිම වූ අතර ලකුණු පනහේ සීමාව පසුකර ගිය සත්වැනි අවස්ථාව වාර්තා විණි.

ජෝ රූට් ටෙස්ට් තරග 110 ක් සඳහා ක්‍රීඩා කර ඇති අතර ඉනිම 202 ක් වෙනුවෙන් තරග වැදී නොදැවීම් පහළොක් සමඟ රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 9367 කි. එහි හොඳම ඉනිම ලෙස සටහන්ව ඇත්තේ ලකුණු 254කි. රූට් ගේ ටෙස්ට් ලකුණු ලැබීමේ සාමාන්‍ය 50.09 ක් ලෙස සටහන් වන අතර ඊට ශතක 23 ක්, ද්විත්ව ශතක 5 ක් හා අර්ධ ශතක 51 ක් ඇතුළත් ව තිබේ.

ටෙස්ට් පිතිකරුවකු වශයෙන් පන්දු 17036 කට ක්‍රීඩා කර ඇති රූට් හතරේ පහර මගින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 4164 කි. හයේ පහර මගින් ලකුණු 1500 කි.

කාන්ති ජයසිංහ

Comments