මෙසී රොනාල්ඩෝ අතර දෝලනය වන බැලොන්ඩෝර් සම්මානයේ කතාව | සිළුමිණ

මෙසී රොනාල්ඩෝ අතර දෝලනය වන බැලොන්ඩෝර් සම්මානයේ කතාව

'ඕනෑම ක්ෂේත්‍රයක සම්මානයට පත්වීම එම ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට අවශ්‍ය ය. එසේ ම එලෙස සම්මානිතවීම යනු පෙරට වඩා හොඳින් කටයුතු කිරීමේ වගකීමක් පැවරීම ය. එහෙත් එවැනි සම්මානයක් කිසිවකුටත් ලබාගැනීමට නොදෙන තරමට වසරින් වසර දෙදෙනෙක් හෝ කීපදෙනෙක් අතර පමණක් බෙදී යන්නේ යැයි පැවසුවහොත් ඒ ගැන විමසා බැලිය යුතු ය. මේ ඒ ගැන ය.'

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ක්‍රීඩාශීලිත්වය ඇගයීම උදෙසා පවත්වන දැවැන්තම සම්මාන උළෙලක් ලෙස ප්‍රංශයේ බැලොන්ඩෝර් සම්මාන උළෙල සැලකිය හැකි ය. 1956 වසරේ මුල්වරට ඇරැඹි මෙම සම්මාන උළෙල ප්‍රංශයේ ෆ්‍රාන්ස් ෆුට්බෝල් සඟරාවේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන්නේ අති උත්කර්ෂවත් ආකා-රයෙනි.

බැලොන්ඩෝර් සම්මානයට සමගා-මීව තවත් සම්මාන හයක් මෙහි දී ප්‍රදානය කිරීම ද විශේෂත්වයකි.

ආරම්භයේ සිට 2009 වසර දක්වා ම මෙහි පිරිනැමෙන ප්‍රධාන සම්මානය බැලොන්ඩෝර් නමින් හැඳින්වී ය. නමුත් 2010 වසරේ පටන් මෙම සම්-මාන උළෙලේ සත්කාරකත්වය සඳහා අන්තර්ජාතික පාපන්දු ප්‍රංශ ෆුට්බෝල් සඟරාව සමඟ අත්වැල් බැඳගත් නිසා ඉන් පසුව මෙම සම්මානය ෆිෆා බැලොන්ඩෝර් යන නමින් හැඳින්විණි. නමුත් 2015 වසරින් පසු ෆිෆා සමඟ වූ ගිවිසුම අවසන් වීමෙන් අනතුරුව 2016 වසරේ සිට නැවතත් මෙම සම්මාන උළෙල බැලොන්ඩෝර් ලෙස නම්කර තිබේ.

බැලොන්ඩෝර්හි පළමු සම්මානලා-භියා වූයේ එංගලන්ත පාපන්දු ශුරයෙක් වූ ස්ටැන්ලි මැතිව්ස් ය. 1956 සිට 2019 වසර තෙක් ම මෙම සම්මාන උළෙල අඛණ්ඩව පැවති නමුත් කොවිඩ් වසංගත තත්ත්වය නිසා 2020 වසරේ නොපැවැත්විණි. නමුත් වසර දෙකක විරාමයක ඇවෑමෙන් පසුගියදා පැවැති 2021 බැලොන්ඩෝර් සම්මාන ප්‍රදානෝත්සවයේ දී ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී මෙවර ප්‍රධාන සම්මානයෙන් පිදුම් ලැබීය.

එහි දෙවැනි ස්ථානය පෝලන්ත ක්‍රීඩක රොබට් ලෙවන්ඩොව්ස්ක්ට ත් තෙවැනි ස්ථානය ඉතාලි ජාතික ජෝර්ජිනෝටත් හිමි විණි. ලයනල් මෙසී මේ වනවිට 7 වතාවක් බැලොන්ඩෝර් සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර වැඩිම වතාවක් එම සම්මානය හිමිකරගෙන ඇත්තේ ද ඔහු ම ය.

පෘතුගාල ජාතික විශිෂ්ට පාපන්දු තරුව වන රොනාල්ඩෝ එම සම්මානයට හිමිකම් කියා ඇති වාර සංඛ්‍යාව පහකි. නමුත් රොනාල්ඩෝ මෙවර සම්මානයට හිමිකම් කීවේ නම් මෙසී හා සම ස්ථානයට පත් වීමට ද අවකාශයක් පැවැතිණි. මෙම සම්මානයේ බහුතර හිමිකාරීත්වය වෙනුවෙන් රොනාල්ඩෝ සහ මෙසී අතර දශකයක පමණ කාලයක් පුරා ද්වන්ද සටනක් පැවතුණේ ය. නමුත් මෙවර සම්මානය මෙසීට හිමි වීම නිසා රොනාල්ඩෝ ට සම්මාන හිමිකාරීත්ව ලැයිස්තුවේ තවදුරටත් පසුබැසීමට සිදු වූයේ ය. නමුත් මෙම සම්මානය උදෙසා 13 වතාවක් නාම යෝජනා ලැබූ රොනාල්ඩෝ, නාම යෝජනා ලැබූවන්ගේ ලැයිස්තුවෙහි පළමු තැන රැඳී සිටී.

මෙසී මෙම සම්මානය සඳහා මුලින් ම නිර්දේශ වූයේ 2006 වසරේ දී ය. නමුත් එම වසරේ දී ඔහුට අදාළ සම්මානය සඳහා වූ මනාප ලැයිස්තුවේ 17 වැනි තැනින් සෑහීමට පත්වන්නට සිදු විය. මෙසී ට වඩා පාපන්දු ක්‍රීඩාවෙහි අත්දැකීම් බහුල රොනාල්ඩෝ බැලො-න්ඩෝර් සම්මානයට පළමුවෙන් ම නිර්දේශ වූයේ 2004 වසරේ දී ය. එහි දී ඔහු ලැයිස්තුවේ 12 වැනි තැනට පත්ව තිබුණි.

2005 වසරේ දී විශිෂ්ටයන්ගේ ලැයිස්තුවේ 20 වැනි ස්ථානයෙනුත් 2006 වසරේ දී 14 වැනි ස්ථානයෙනුත් සෑහෙන්නට රොනාල්ඩෝට සිදුවිණි. නමුත් රොනාල්ඩෝට මෙන් ම මෙසීට ද 2007 බැලොන්ඩෝර් සම්මාන ප්‍රදානෝත්සව රාත්‍රිය එක සේ සුවිශේෂී විය. එහි දී රොනාල්ඩෝ ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයන් අතර දෙවැනි තැනට පත් වූ අතර මෙසීට තෙවැනි තැන හිමි විය. රොනාල්ඩෝ සහ මෙසී අතර බැලොන්ඩෝර් සම්මාන සටන ආරම්භ වන්නේ ඉන් පසුව ය.

2008 වසරේ පැවැති සම්මාන උලෙළේ දී රොනාල්ඩෝ, මෙසී සුපිරි තරු යුගලය, පියවර බැගින් ඉදිරියට පැමිණියේ ය. ඒ අනුව එවර ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන්ඩෝර් සම්මානය හිමි කර ගත්තේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ය. දෙවැනි ස්ථානය හිමි කරගත්තේ ලයනල් මෙසී විසිනි.

2009 වසරේ දී ලයනල් මෙසී, රොනාල්ඩෝව අභිභවා යන්නට සමත් වූ අතර එහි දී මෙසී සිය කුලුඳුල් බැලොන්ඩෝර් සම්මානයට හිමිකම් කීවේ ය. 2010 වසරේ ද අඛණ්ඩව මෙසී බැලොන්ඩෝර් සම්මානයට හිමිකම් කියද්දී 2009 වසරේ සම්මානයේ අනු ශූරතාව දිනූ රොනාල්ඩෝ විශිෂ්ටයන් අතර සයවැනි තැනට පසුබා තිබිණි.

2011, 2012 වසරවල දී ද මෙසී බැලොන්ඩෝර් සම්මානයේ කිරුළ දරද්දී රොනාල්ඩෝ ට අනුශූරත්වයෙන් සෑහෙන්නට සිදු විය. නමුත් 2013 සහ 2014 වසරවල දී සම්මානයේ අයිතිය මෙසීගෙන් ගිලිහී නැවතත් රොනාල්ඩෝ අතට පත් විණි. එම දෙවසරේ දී මෙසී බැලොන්ඩෝර් පාපන්දු විශිෂ්ටයන් අතර දෙවැනි තැනට පත් විය. නැවතත් 2015 වසරේ දී සම්මානය මෙසී විසින් හිමි කර ගනිද් දී රොනාල්ඩෝ එහි අනු ශූරතාවට හිමිකම් කී ය. 2016, 2017 වසරවල දී නැවතත් බැලොන්ඩෝර් ආධිපත්‍යය නතුවුණේ රොනාල්ඩෝට ය. එම දෙවසරේ ද අනුු ශූරයා වූයේ මෙසී ය.

2011 සිට 2017 දක්වා ම මෙසී සහ රොනාල්ඩෝ අතර බෙදී ගිය බැලොන්ඩෝර් සම්මාන අරගලය අතරට තුන්වැන්නෙක් පියමැන්නේ 2018 වසරේ දී ය. ඒ ස්පාඤ්ඤ පාපන්දු ශූරයෙක් වන ලූකා මොඩ්රික් ය. ඔහු 2018 වසරේ දී බැලොන්ඩෝර් සම්මානයට හිමිකම් කියූ අතර එහිදී රොනාල්ඩෝ දෙවැනි තැනටත් මෙසී පස්වැනි තැනටත් පසුබැස තිබිණි. නමුත් 2019 වසරේ දී මෙසී නැවතත් බැලොන්ඩෝර් සම්මානය තමන් සතු කර ගැනීමට සමත් වුණේ ගෙවුණු වසරේ පසුබෑම් අමතක කරමිනි. එම වසරේ නෙදර්ලන්ත පාපන්දු ශූරයෙක් වන වර් ජිල් වෑන් සම්මානයේ අනූ ශූරයා වූ අතර රොනාල්ඩෝට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

ඉතිහාසයේ සිදු වූ දේ නැවතත් සිදුවූ අවස්ථා කලාතුරකින් හෝ අප අත්දැක ඇත. 2021 බැලොන්ඩෝර් සම්මාන රාත්‍රියෙහි ද එවැනි දුලබ අවස්ථාවක් උදා වූයේ ය. එම සිදුවීමෙන් 2010 බැලොන්ඩෝර් සම්මාන උළෙල බොහෝ දෙනෙකුට නැවත සිහිපත් කෙරිණි. ඒ 2010 වසරෙහි මෙසී බැලොන්ඩෝර් ලැයිස්තුවේ පළමු තැනට පත් වෙද්දී රොනාල්ඩෝට හිමිව තිබුණේ එහි සයවැනි තැන යි.

එකොළොස් වසරකට පසු 2021 වසරෙහි ද එම ප්‍රතිපලය එලෙසින් ම පුනරූපණය වී තිබුණේ බැලොන්ඩෝර් සම්මානයේ බහුතර ආධිපත්‍යය පිළිබඳ රොනාල්ඩෝගේ බලාපොරොත්තු තවදුරටත් ඈතින් ඈතට ගෙන යමිනි.

පසිඳු මිහිරාන් රැටියල

Comments