
එදා ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් බිහිවුණ විශිෂ්ට ගායන ශිල්පිනියක් වන රූපා ඉන්දුමතී හැත්තෑව දශකයේදී ගැයූ ගී අදටත් අමරණීයයි. පසුගිය දිනෙක ඇය අලුත් ගීතයක් ගයා තිබුණා. ඒ "නික්මෙනදා සංසාරෙන්..." මේ ගීතය ගැන සේම ජිවිතේ අද දවස ගැන කතා කරන්න සිළුමිණ රසඳුන සොඳුරු කතාබහකට ඇයව සම්බන්ධ කරගත්තා.
කාලෙකට පස්සේ ඔබේ නව නිර්මාණ දෙකක් එළිදක්වලා තියෙනවා නේද ?
ඔව් කාලෙකින් මම ගීතයක් නිර්මාණය කළේ. එකක් සඳහා මට ආරාධනා කළේ බුද්ධික කියලා පුතෙක්. එකේ පද රචනය ලහිරු සේනාරත්න. සංගීතය සෝමසිරි වෙදගේ, ඔවුන් සංගීතය හදාරපු අය. මම ආරාධනා කළාට පස්සේ සුමානයක් විතර මම ගීතය පුහුණු වුණා. ඒ අයම ආවා පටිගත කරන්න මාව එක්කගෙන යන්න. ඔහොම තමයි නිර්මාණය වුණේ.
මොන වගේ අදහසක් ද ඒ ගීතයේ තියෙන්නේ?
හොඳට හිටපු යුවළක් ගැන මේ නිර්මාණයේ අඩංගු වෙන්නේ. එත් පස්සේ ස්වාමියා නැති වෙනවා. බිරිය කියනවා ඔබ යන තැනක මාවත් රැගෙන යන්න කියලා. මමත් කැමති පද රචනයක්. සංවේදී ගීතයක් නිසා මම හුඟක් කැමති මේ ගීතයට සහ තනුවට.
තව නිර්මාණයක් කළා නේද මීට මස 06 කට පමණ පෙර
ඔව්. සුසන්ත කියන වෛද්‍යවරයා කරපු ලියපු ගීතයක්, නිලන්තසිරි පතිරණ සංගීතය කළේ. ඔබ ගැන මතකය කියලා ගීතය නම් කරලා තියෙන්නේ. ඒ ගීතය තාම එළිදක්වලා නම් නැහැ. ඉදිරියේදී ඒ ගීතය අහන්න පුළුවන් වෙයි. එකත් ප්‍රේමයට විරහවට සම්බන්ධ ගීතයක්.
ඔබ ප්‍රේමකීර්ති, කරුණාරත්න අබේසේකර වැනි අති දක්ෂයින් සමඟ වැඩ කරපු කෙනෙක්, නවකයන් සමඟ වැඩ කරද්දී මොකක්ද දැනෙන හැඟීම ?
ඔව් මම කරු අයියා ප්‍රේමකීර්ති එක්ක වැඩ කළා තමයි, එත් මගේ සිහිලැල් බුදු ගුණ කියන ගීතය ජනප්‍රිය වුණා. එත් ඒ ගීතය කළේ බොහොම අසරණ ළමයෙක් ඒ කාලේ. එදත් මම ආධුනිකයන් එක්ක වැඩ කළා. අනික් පැත්තෙන් ගත්තම කරු අයියා, ප්‍රේමකීර්ති වගේ අය මගෙන් සත පහක් වත් ගන්නේ නැතුව මට සින්දු ලියලා දුන්න නිසා තමයි මම අදත් කලා ලෝකේ ඉන්නේ. ඉතින් අද වුණත් මට ආධුනිකයෙක් ආරාධනා කළාම මම උදව් කරනවා. ඒ අයත් දක්ෂයි. ඒ වගේම ඒ අයත් ඉස්සරහට එන්න ඕනේ. මගේ පැත්තෙන් ගත්තත් අලුත් නිර්මාණ දෙකක් කරපු එක ගැන මටත් සතුටුයි. මට දැන් අවුරුදු 74 ක්. ඉතින් මටත් මේ සඳහා ආරාධනා කරපු උදව් කරපු හැමෝටමත් බොහොම ස්තූතියි කියන්න ඕනේ.
ප්‍රවීණ කලාකරුවන් කොයි තරම් නිර්මාණ කළත් මාධ්‍යයෙන් අපිට ඇහෙන්නේ ඔවුන්ගේ පරණ නිර්මාණ ටික විතරයි නේ.
ඔව්. ඒක හරි, ඒ චෝදනාව මමත් කරනවා. අද කාලේ ගීත වලට රූප රචනා කරනවා. අපිට ඒව කරන්න මුදල් නැහැ. අනිත් එක දැන් තියෙන්නේ අමුතුම ක්‍රමයක්. මම ගුවන් විදුලියේ විශේෂ ශ්‍රේණියේ ගායිකාවක්. අපිට හුඟක් නීති තිබුණා. අපේ ගීත ලේසියෙන් අනුමත වුණේ නැහැ. ඒ ගීත එදා වගේම අදත් රේඩියෝ එකේ රූපවාහිනියේ ප්‍රචාරය වෙනවා. එත් අපි අලුතින් නිර්මාණයක් කළාම ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ. අර පරණ සින්දු ටිකම යනවා. රියලිටි ෂෝ වලින් එන අයට තමයි තැන දෙන්නේ. දැන් කාලේ වගේ අපි කෑල්ල කෑල්ල නෙමෙයි ගායනා කළේ. මුළු සින්දුවම පටිගත කළා. සජීවී ව ගීතය ගායනා කළා. එත් ඉතින් ඔය අලුත් ගීත ගායනා කරලා ප්‍රසිද්ධියක් නම් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට සතුටුයි අලුත් නිර්මාණ දෙකක් කරපු එක ගැන. ප්‍රවීණයෝ නිහඬ වෙලා ඉන්නෙත් ඕක නිසා. අද ඉතින් ගුවන් විදුලියේවත් කලාකරුවෙක් පේන්න නැහැ නේ.
අවුරුදු 50 කට ආසන්න ඔබේ ගායන දිවියේ ගීත කීයක් ගායනා කරලා ඇති ද ?
මම හිතන්නේ ගීත 1000 විතර ගායනා කරලා ඇති
ආපහු හැරිලා බලද්දී ඔබ සතුටුද ආපු ගමන ගැන
මට හරි සන්තෝසයි. අපි ලේසියෙන් ගායන ක්ෂේත්‍රයට ආවේ නැහැ. අනුමත මණ්ඩල වලින් තේරුණාට පස්සේ අපේ ගීත තැටි වලට ආවේ. මම 70 දශකයේ ගායනා කරපු හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. තාම ඒවා ඇහෙනවා ඉතින් මම ඒ ගැන හුඟක් සතුටුයි.
ගායනයෙන් ඉස්සරහට ආවට ඔබට නර්තනය මඟ හැරුණා නේද ?
මම නර්තන ශිල්පිනියක් කියලා හුඟක් අය දන්නෙත් නැහැ. මම ඉගෙන ගත්තේ ගායනය නෙමෙයි නැටුම්. උඩරට නැටුම් කලාව. කාලයක් මම ගුරුවරියක් වශයෙන් සේවය කළා. ඒ පාමංකඩ සංඝමිත්තා විද්‍යාලයේ. ඔය කාලේ තමයි මම විවාහ වුණේ ලක්ෂ්මන් එක්ක; කරදර බාධක මැද්දේ. ඊට පස්සේ දරුවෝ ලැබුණා. ඊට පස්සේ නර්තනය මඟ හැරුණා. කවුරුත් දන්නේ නැහැ මම නැටුම් ශිල්පිනියක් කියලා. මගේ ගුරුවරයා තමයි සෝමපාල මුදුන්කොටුව මහතා. ඒක අත්හැරුණා තමයි. එත් ඉතින් දරුවෝ හදන් ඒ අය හොඳ මාර්ගයේ යැව්වානේ. මට ඒ ඇති.
පුතාලා 3 දෙනෙක් ඉන්නවා ඔබට, ඒ අය කලාවට සම්බන්ධ නැද්ද ?
හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. එත් ඒ අය ඉගෙන ගත්තා; ඒ පැත්තෙන්ම ගියා. තාත්තගේ ගීත වුණත් ගායනා කළේ මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයේ දී විතරයි. රූපා ගී සරණිය කියලා මම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කළා. අන්න එතනදී ඒ තුන්දෙනාම සින්දු කිව්වා. මගේ සැමියා ලක්ෂ්මන් රුද්‍රිගෝ එක්කම ආසයි ඒ වගේ වැඩක් කරන්න. එත් දැන් මට ටිකක් අසනීපයි. ඒ කාලේ වගේ ජවයෙන් වැඩ කරන්න බැහැ.
කොහමද මේ කාලේ ජිවිතේ ගෙවෙන්නේ
ජා ඇළ සංගීත සන්දර්ශනයකදී මට බෝම්බයක් වැදුණනේ, එකේ දී කකුල කැඩුණා. ඇණ 12 ක් ගහලා ලොකු සැත්කමක් කරලා ඉන්නේ,ඒ නිසා ඇවිදින්න කරන්න බැහැ ඉස්සර වගේ. බෙහෙත් බොන එකෙත් සීමාවක් නැහැ. රජයේ රෝහල්වලින් බෙහෙත් ටික අරන් ජීවත් වෙනවා. විදුර වික්‍රමනායක ඇමතිතුමාගෙන් සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් උදව් උපකාර ලැබුණා. ඒ උදව් උපකාරත් අරන් සතුටින් ජිවත් වෙනවා.