
මාණික්කාවත කර්තෘ සහ ටෙලිනාට්‍යයේ තිරපිටපත් රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
අද සිට ස්වාධින රූපවාහිනීයෙන් ඔබට සමීප වන මාණික්කාවත හි මුල් කෘතියේ සහ මාණික්කාවත ටෙලි සිතුවමේ තිර පිටපත් රචක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. කවියෙක්, ගේය කාව්‍යකරුවෙක්, නවකතාකරුවෙක් සහ පිටපත් රචකයෙක් ලෙසින් ඔහු සමාජය කියවා ගනිමින් ඒවා ඔහුගේ නිර්මාණ බවට පත්කර පෙරළා පාඨක ප්‍රේක්ෂක ජනතාව සසල කරන්නට සමත් වූ නිර්මාණකරුවෙකි. මාණික්කාවත මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ දෙවන නවකතාවයි.
‘ඇත්තටම කියනවා නම් මාණික්කාවත කියන කතාව ගත්තම ඒක රූප මාධ්‍යයට නඟනවා කියන එකම අභියෝගයක්. ඒ කතාව දිවෙන්නේ අවුරුදු 100ක් ඇතුළත වන සිද්ධි දාමයක් හැටියට. 1880 අවුරුද්දෙන් පටන් අරගෙන 1980 දක්වා වන අවුරුදු 100 ඇතුළත විශේෂයෙන්ම සබරගමුව මුල් කරගෙන සබරගමු ජන සමාජයේ සංස්කෘතියේ අධ්‍යාපනයෙහි සිදුවුණු විපර්යාසයක් එක්ක කතාවක්. මෙය ලියන කාලේවත් මම හිතුවේ නැහැ ලංකාව වගේ රටක මේක රූප මාධ්‍යයට කරන්න පුළුවන් කියලා. මොකද මේක දැවැන්ත නිර්මාණයක් නිසා. උදාහරණයක් හැටියට කියනවා නම් කෙටිහාමි සහ පිච්චි කොලොන්නා කෝරලේ ඉඳලා ඒ අයට ලැබෙන දඬුවමක් විදියට අටකලන්කෝරලයට එනවා ජීවත් වෙන්න. ඒ අය වසරෙන් වසර මේ ජිවිත ඇතුළෙ අභ්‍යන්තර සහ බාහිර ලෝකය වෙනිස් කරගන්න එක මේ කතාවේ තියෙනවා. ඒක රූප මාධ්‍යයෙන් ගත්තම අසීරු කාර්යක් සහ විශාල පිරිවැයක් දරන්න වෙන කාර්යයක්. ඒ නිසා මගේ අදහසක් තිබ්බේ නැහැ රූප මාධ්‍යයට නඟන්න. මගෙන් කිහිප දෙනෙක් ඉල්ලුවා. නමුත් මම අකමැති වුණු ප්‍රධාන දේ තමා මෙහි තියෙන භෞතික පරිසරය ගොඩනගනවා කියන එක අපහසු කාර්යයක් නිසා. පසුව සුදත් රෝහණයන් මේ කතාව ඉල්ලා සිටියා; විශේෂයෙන්ම මේක නිෂ්පාදනය කරන්න කැමැත්ත දීලා තිබ්බේ ෆාහිම් මවුජූඩ් කියන නිෂ්පාදකවරයා. ඔහු දැවැන්ත නිර්මාණ රැසකට මුදල් යෙදවූ නිෂ්පාදකවරයෙක්. මම මීට පෙර සුදත් රෝහණයන් සමඟ වැඩ කරලා තියෙනවා සහය අධ්‍යක්ෂවරයෙක් හැටියට. ඒ නිසා ඒ විශ්වාසය මත මම කැමති වුණා ඒ දෙදෙනා සමඟ මෙය කරන්න. මම විශ්වාස කරනවා ඔවුන් මෙහි භෞතික ලෝකය ඉතා වෙහෙස මහන්සියෙන් නිර්මාණය කරලා තියෙනවා කියන එක. ඒ ගැන මට තියෙන්නේ සතුටක්.
මාණික්කාවත කෘතිය කියවූ පාඨකයන්ගේ පරිකල්පන ලෝකයට මාණික්කාවත ටෙලි නිර්මාණයෙන් හානියක් නොවන බවට ඔබ විශ්වාස කරනවද?
‘එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. මම කතාව ලියන්න වසර තුනක කාලයක් ගත්තා. මම ඒ වසර තුනේම මා ගොඩනඟපු කෙටි හාමි ම ද කියන එක තියෙනවා. නමුත් භෞතිකව මම ගොඩනගපු කෙටිහාමි ම ද අනෙකුත් චරිත ඒවමද කියන එක මට නිශ්චිතව කියන්න බැහැ. පාඨකයන් සිතේත් ඔවුනොවුන් මවා ගත්තු චරිත ඉන්නවා. ඒ නිසා එය සියයට සීයක් මම දන්නේ නැහැ. සාර්ථක වෙන්නත් පුළුවන්. එයත් සාපේක්ෂ කාරණයක්. නමුත් ලංකාව වගේ රටක නිෂ්පාදනය වන අනෙකුත් නිර්මාණ දිහා බැලුවම සාපේක්ෂව කෙටිහාමි සහ පිච්චිට හානියක් නැහැ කියන එක තමා මගේ අදහස.