
බස් හා දුම්රිය එක්වර ගමන් කළ හැකි පැරණි මනම්පිටිය පාලම ද කල්ලඩි පාලමේ ආකෘතියට බොහෝ සේ සමානයි
නවසිය හැටේ දශකයේදී මෙහි විසූ ෆ්රෑන්ක් ලෑන් නමැති පියතුමා විසින් කල්ලඩි පාලම යට කිසියම් මිහිරි රාවයක් නඟමින් පිහිනූ මාළු රෑනක නාදය පටිගත කොට එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කළ බව සඳහන්
මඩකළපුව ලෙස නම් ලැබූවද එහි මඩ ඇති බවක් නම් දිස්වන්නේම නැත. බැලූ බැලූ අත දිස්වන්නේ නීල වර්ණයෙන් බබළන ජල තලයත් එයට මායිම් වන හරිත තීරයත් පමණි. කළපුව හරහා හමාඑන මඳ නලට මුහුණ දෙමින් විසල් කළපුව හරහා විහිදුණු අඩි 946ක් දිගැති කාල වර්ණ යකඩ පාලම නිහඬව බලා සිටී. මඩකළපු නගරය කාත්තාන්කුඩිය දෙසට යා කරමින් A4 අක්කරපත්තු - මඩකළපුව මාර්ගයේ කල්ලඩි ප්‍රදේශයේ පිහිටි මෙම පැරණි යකඩ පාලම මිනිස් හැකියාවත් සොබා දහමත් එකට එක්කළ සුන්දර නිර්මාණයකි.
ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම ලෙස සැලකෙන වර්ෂ 1924දී ඉදිකර අවසන් වූ මෙය බ්‍රිතාන්‍ය පාලකයන් විසින් එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාගේ බිරියගේ නමින් (Lady Manning Bridge) නම් කළ බව පැවසේ.
එහෙත් මඩකළපුව කල්ලඩි ප්‍රදේශයේ පිහිටි මෙම සුන්දර පාලම ලොව පුරා ප්‍රසිද්ධ වූයේ කල්ලඩි පාලම නමිනි. නිල් පැහැයෙන් දිස්වන කරදිය කළපුව මැදින් විහිදෙන සම්පූර්ණයෙන්ම යකඩින් නිර්මාණය වූ කල්ලඩි පාලම මෙම පරිසර පද්ධතියට අපූර්ව චමත්කාරයක් ගෙන එන අතර, මඩකළපුවට පැමිණෙන සංචාරකයන් අතර වැඩි ජනප්‍රියතාවක් හිමි කරගෙන ඇත.
අතීතයේ සිටම කල්ලඩි පාලම ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ එහි සුන්දරත්වය නිසාම නොවේ. මෙම පාලම පාමුල සින්දු කියන මාළුන් සිටින්නේ යැයි පවතින විශ්වාසය නිසාය. මඩකළපුව හඳුන්වන්නේ ගී ගයන මාළුන්ගේ පාරාදීසය යනුවෙනි.
ඊට හේතුවී ඇත්තේද ගී ගයන මාළුවන් මෙම කලපුවේ වාසය කරන්නේ යැයි පවතින විශ්වාසයයි. නවසිය හැටේ දශකයේදී මෙහි විසූ ෆ්රෑන්ක් ලෑන් නමැති පියතුමා විසින් කල්ලඩි පාලම යට කිසියම් මිහිරි රාවයක් නඟමින් පිහිනූ මාළු රෑනක නාදය පටිගත කොට එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කළ බව සඳහන් වන අතර එයින් මඩකළපුවේ සින්දු කියන මාළුන් පිළිබඳ ජනතා අවධානය යොමු වී ඇත.
කල්ලඩි පාලම යට සුන්දර කළපු දියේ පිහිනමින් ගී ගැයූ මත්ස්‍යයන් වර්තමානයේදී පුරාවෘත්තයක් පමණක් වුවද අදටත් මඩකළපුවේ අන්‍යතාව ලෙස මඩකළපුව හා ආශ්රිත ප්‍රදේශයන්හි බොහෝ ස්ථානවල මත්ස්‍යයන්ගේ සංකේත දක්නට ඇත. මෙම සින්දු කියන මාළුන් පිළිබඳ සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය වන්නේ යම් හඬ රටාවක් නිකුත් කළ හැකි මත්ස්‍ය රංවු මෙම කළපුවෙහි වසන්නට ඇති බවත් ඔවුන්ගේ හඬ ගී හඬක් ලෙස මිනිසුන් වටහා ගන්නට ඇති බවත්ය.
මෙම කල්ලඩි පාලම හරහා පොතුවිල් දෙසට දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේදී යෝජනාවක් ද අතීතයේ පැවති බව සඳහන් වේ. බස් හා දුම්රිය එක්වර ගමන් කළ හැකි පැරණි මනම්පිටිය පාලම ද කල්ලඩි පාලමේ ආකෘතිය හා බොහෝ සේ සමාන වන අතර මෙම පාලම දුම්රිය මාර්ගය සඳහාත් යොදා ගැනීමට හැකිවන අයුරින් සැලසුම් කරන්නට ඇතැයි සැලකේ.
මඩකළපුව දක්වා දුම්රිය ගමන් කිරීම වර්ෂ 1928 ආරම්භ වූ අතර, මේ පාලම ඉදිකිරීම ඇරඹෙන්නේ 1921දීය. කලක් අභිමානයෙන් වැජඹුණු කල්ලඩි පාලම තවදුරටත් ගමනාගමන කටයුතු සඳහා ප්‍රමාණවත් නොවූ බැවින් කළපුව හරහා නව පාලමක් ඉදිකිරීමට යෝජනා වූ අතර පැරණි යකඩ පාලමට අනෙක් පසින් අඩි 46ක් පළල සහ අඩි 946ක් දිග නව කල්ලඩි පාලම ඉදිකර 2013 මාර්තු මාසයේදී මහජනතාව සඳහා විවෘත කරනු ලැබිණි.
අතීත කල්ලඩි පාලම සම්පූර්ණයෙන්ම යකඩින් නිමකර තිබුණද ඒ සමඟාමීව ඉදිකළ නව කල්ලඩි පාලම කොන්ක්‍රීට් නිර්මාණයකි. ඉර බැස යන සැන්දෑවක මෙම පාලම අසලට පැමිණියහොත් හුදෙකලා වූ පැරුණි පාලම මත සිට අලුත් පාලම මතින් ගමන් ගන්නා වාහන සහ මිනිස්සු යන දෙස බලමින් රාත්‍රිය උදා වනතුරුම එහි චමත්කාරය විඳිය හැකිය.
කළපු දිය සෙලවෙන විට මතුවන ජල රැලි යකඩ පාලමෙහි වදින සිහින් ගීතවත් ස්වරය හැරුණුවිට ඇසෙන්නේ නව පාලම මතින් වේගයෙන් ඇදෙන වාහනයක හඬ පමණි. සිංදු කියූ මාළුන්ගේ අතීත රහස් සඟවා ගනිමින් කල්ලඩි පාලම නිසොල්මනේ බලා සිටී. කළු පාලමේ යකඩ අතරින් කළපුවට වැටන සඳකැන් මිනිස් නිර්මාණ සොබාදහම සමඟ එක්වූ විට ඇතිවන සුන්දරත්වයට සාක්ෂි සපයන්නා සේය.