
ජීවිතය නම් තණ අග රැඳි පිනි බිඳුවක් මෙන් වියැකී යන්නකි. ලොවක් රටක් ආදරය කළ බොහෝ සෙනෙහෙබර මිනිසුන් ක්‍රම ක්‍රමයෙන් අප අතරින් සමු ගනිමින් තිබෙනවා. ලාංකේය කලා ක්ෂේත්රය තම නිර්මාණ දායකත්වයෙන් ප්රභාවත් කළ සහෘදය කලාකරුවන් කිහිප දෙනෙකු ම පසුගිය කාලයේ ජීවිතයෙන් සමු ගත්තේ ලෝක ධර්මතාවට හිස නමමිනි. එයින් එක් අයකු වූයේ සරත් චන්ද්‍රසිරි ය. වේදිකාව, සිනමාව හා පුංචි තිරය එක ලෙස සිය රංගන ප්‍රතිභාවෙන් හැඩ කළ සරත් චන්ද්‍රසිරි අභාවප්‍රාප්ත වූයේ අධික රුධිර පීඩනය උත්සන්න වීමෙන් කෝමා තත්ත්වයට පත්ව සති ගණනාවක් පුරා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය. මිය යන විට ඔහු තම ජීවන ගමනෙහි පනස් හත් වන විය පසු කරමින් සිටියේ ය.
1964 වසරේ ජූනි 13 වැනිදා පානදුර ප්‍රදේශයේ දී උපත ලැබූ සරත් චන්ද්‍රසිරි අධ්‍යාපනය ලැබුවේ පානදුර ශ්‍රී සුමංගල සහ වෑකඩ බෞද්ධාලෝක යන විද්‍යාලවලිනි. කුඩා කල සිට ම අධ්‍යාපන කටයුතු වලට වඩා කලාව කෙරෙහි ඇල්මක් දැක්වූ ඔහුගේ සිතට නළු සිහිනය ඇතුළත් වුණේ පාසල් ගුරුවරයෙක් වූ රංගන ශිල්පී සරත් කුලාංග ගේ ඇසුර සහ ගුරුහරුකම් නිසාවෙනි. ඔහුගේ අත්වැළත් සමඟ පාසැල් වේදිකාව මත කැපී පෙනෙන නළුවෙක් වන්නට සරත්ට හැකියාව ලැබුණි. පද්මසිරි ප්‍රනාන්දු ගෙ ඩෝං පටෝං නම් ළමා නාට්‍යය හරහා හොඳම නළුවා ලෙස සම්මානනීය වූ සරත් චන්ද්‍රසිරි පාසල් වේදිකාවේ සිට ප්‍රසිද්ධ වේදිකාවට පිවිසුණේ හැත්තෑව දශකයේ අග භාගයේ දී ය. ජනක් ප්‍රේමලාල් සහ ජයලත් මනෝරත්න යන කලාකරුවන් දෙපළ හඳුනා ගැනීම ඔහුගේ කලා ජීවිතයට මහඟු රුකුලක් විණි.
ජනක් ප්රේමලාල්ගෙ අබුද්දස්ස කෝලම ඔහු ප්‍රසිද්ධ වේදිකාව මතට පා තැබූ නාට්‍ය නිර්මාණයයි. එයින් ආරම්භ වූ ඔහුගේ වේදිකා නාට්‍ය රංගන පරාසය රාජ කපුරු, තලමල පිපිලා, අන්දරේලා, දෙන්නෙක් නෑ එක්කෙනායි, චෞද්රි, ඒක සාක්කුවේ, කොළොම්පූර්, පුත්‍ර සමාගම, කෝ කුක්කෝ, මී හරක්, නරි බුරති, රොම්බ තෑන්ක්ස්, සූටි ගමරාල සහ රයිගම්බණ්ඩා දක්වා ම විහිදී ගියේ රසික මනස තුළ නොමැකෙන සටහන් තබමිනි.
ජයලත් මනෝරත්නගේ ගුරු තරුව ආදී වේදිකාවේ අමතක නොවන චරිතවලට පණ පෙවූ ඔහු පුංචි තිරයට පිවිසියේ ලාංකේය ටෙලි නාට්‍ය වංශකතාවේ සලකුණක් වන නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ දූ දරුවෝ ටෙලි වෘතාන්තයෙනි. ඉන් අනතුරුව ඔහු රඟපෑ මද්දහන, ජෝඩු ගෙදර, අඩෝ, දම්සාරි, මහ පොලොව, මලී, හඳපාන, කේතුමතී, මිණි ගං දෑල, මහ විරු පණ්ඩු, පබා, රන් පෝරුව, සල් මල් ආරාමය, වසන්ත කුසලානය ආදී ටෙලි නාට්‍යය ගණනාවකින් ඔහුගේ රංගන කෞශල්‍යය ප්‍රේක්ෂකයන් හඳුනාගත්තේ ය.
මෙම ටෙලිනාට්‍ය අතුරෙන් පබා ටෙලිනාට්‍යයේ ඔහු නිරූපණය කළ සමගිපුර වසන්ත නම් චරිතය ඔහුට මහත් ජනප්‍රියත්වයක් අත්පත් කරදුන්නා. එම රඟපෑම ඔහුව සැබෑ නම වෙනුවට සමගිපුර වසන්ත යැයි හඳුන්වන තරමටම ප්‍රභල වූ බව අවිවාදිතයි. මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි නම් ටෙලි නාට්‍යයේ තෝමස් නම් චරිතය හරහා මෑත කාලීනව ඔහු ජනප්‍රසාදයට පත්වුණා. 2007 වසරේදී වසන්ත කුසලානය ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් රයිගම් සම්මාන උළෙලදී හොඳම සහාය නළුවා සම්මානෙයෙන් පිදුම් ලැබීම ඔහුගේ රංගන ජීවිතයේ කඩඉමකි.
තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් සඳහා තාත්විකව රංගනයෙන් දායක වීමේ අපුරු හැකියාවක් දැක් වූ සරත් චිත්‍රපට විස්සකට අධික ප්‍රමාණයක රඟපෑවේය. උදයකාන්ත වර්ණසූරියගෙ ගිනි අවි සහ ගිනි කෙළි සහ රාජ්‍ය සේවය පිණිසයි, ලේ කිරි කඳුළු, දොස්තර නවරියන්, බහු බූතයෝ, සමාවෙන්න මා රත්තරනේ, වන් ෂොට්, සිකුරු හතේ, කුරුලු පිහාටු, රන් කෙවිට, සුදු හංසි, මගෝඩි ගොඩයි, චැලෙන්ජර්ස්, ගාමණී, තන්හා රතී රඟා, ඉර මැදියම, ගින්දරී, මගේ යාළු මාළු, පටිභාන, මධුර චාරිකා, මායා 3 D, 64 මායම්, වස්සානයේ සඳ, 5 සමත්, නිදහසේ පියා ඩී. එස්, සුනාමි, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, රීලෝඩ්, ද නිව්ස් පේපර් ඒ අතරින් කීපයකි. ඔහු රඟපෑ නිහඬ සෙවණැලි චිත්‍රපටය මේ වනවිට තිරගත වේ.
වේදිකා හා ටෙලි නාට්‍යය තිර නාටක රචකයෙක් ලෙස ද තම හැකියාව පෙන්වූ සරත් චන්ද්‍රසිරිගේ බිරිය වන්නේ චාරිකා ජයමාලියි. කන්චුක තිලක්ශන පුතුගෙන් සහ හසාරා නිලක්ෂි දියණියගෙන් ඔවුන්ගේ කැදැල්ල සුන්දර විණි.
විටෙක හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙසත් තවත් වරෙක සම්භාවනීය චරිතවලිනුත් ටෙලි නාට්‍ය ක්ෂේත්රය හා සිනමාවේ විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ සරත් චන්ද්‍රසිරි තමන්ට ලැබෙන චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉටු කළ රංගන ශිල්පියෙක් ලෙස ප්රකටයි. සහෝදර කලා ශිල්පීන් සමඟ ළෙන්ගතු මිතුරෙක් ලෙස කටයුතු කළ සරත් චන්ද්‍රසිරි නම් නිර්මාණවේදියා සිය රසිකයන් සමඟ ද ඉතාමත් සුහඳ ව ගනුදෙනු කළ මනුෂ්‍යත්වයට ගරු කළ සැබෑම කලාකරුවෙකි. එවැනි මහ පොළොවෙන් මතුව මහ පොළවේම ජීවත් වූ කලාකරුවන් කායිකව සමුගෙන ගියත් රසික හදවත් තුළ සදා ජීවමානයි.