
සම්මානය ලැබුණා; ඒකට සතුටුයි; දැන් සම්මානය පැත්තකින් තියලා වැඩ කරගෙන යනවා
මගේ විදියට නිර්මාණයක් කරන්න පුළුවන් නම් කරනවා; නැත්නම් නිකම් ඉන්නවා
2020 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ දී වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය බවට පත් වුණේ ආනන්ද අබේනායකගේ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයි. එමෙන්ම සම්මාන උළෙලේ සම්මාන රැසකට හිමිකම් කියන්නට සමත් වුණේ ද වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍ය වීමත් විශේෂත්වයක්.
ඒ සම්මාන අතරට හොඳම නළුවා සම්මානය 'වීරයා ගෙදර ඇවිත්' ටෙලි නාට්‍ය වෙනුවෙන් රොෂාන් රවීන්ද්‍රට හිමි වූ අතර හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය ජයනි සේනානායකට හිමි විය. වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නළුවා සම්මානය වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයේම සේවියර් කණිෂ්ක විසින් දිනාගත් අතර සහය නිළිය ලෙස එම නාට්‍යයේම රඟ පෑ දිනූපා කෝදාගොඩ දිනාගනු ලැබීය. එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මානය වීරයා ගෙදර ඇවිත් වෙනුවෙන් ආනන්ද අබේනායක සම්මාන ලැබීය.
සිළුමිණ රසඳුන මේ කතාබහ හොඳම නළුවා ලෙසින් සම්මානිත වූ රොෂාන් රවීන්ද්‍ර සමඟයි.
මෙවර රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුවා, එය දකින්නේ කොහොමද?
මේ චරිතයට හොඳම නළුවා සම්මානය ලැබුණු දෙවැනි අවස්ථාව. මීට පෙර පසුගිය සුමති සම්මාන උළෙලේදීත් හොඳම නළුවා සම්මානය මේ චරිතයටමයි මට හිමිවුණේ. හොඳම නළුවා කියන සම්මානය ලැබෙන්නේ ඒ වසරේ විකාශය වුණු නාට්‍යවලින් පමණයි. එය අවුරුද්දක් අවසානයේ අපි සම්බන්ධ වුණු නාට්‍යවල ගුණාත්මකභාවය අනුව සම්මානයක් ලැබෙනවා කියන එක ගැන නළුවෙක් විදියට මම පෞද්ගලිකව සතුටු වෙන කාරණාවක්. වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට කටයුතු කරද්දී ආර්ථික අපහසුතා කොතෙක් තිබුණත් ගෙවුණු අවුරුද්දේ වුණු මහන්සිය මේ විදියට ආපසු හැරිලා එනකොට ඒක රංගන ශිල්පියෙක් ලබන ලොකු සතුටක් අපේ වගේ රටක. ඒක විතරයි කවදා හරි අපිට ඉතුරු වෙන්නෙත්. ඒ නිසා සම්මාන ලැබුණා. ඒ ගැන සතුටුයි දැන් සම්මානය පැත්තකින් තියලා වැඩකටයුතු කරගෙන යනවා.
අපි නැවතත් මේ "වීරයා ගෙදර ඇවිත්" හි චාමර කියන චරිතය ගැන මතක් කළොත්
මට ලැබුණු අභියෝගයක් විදියට තමා මේ චාමර කියන චරිතය දැක්කේ. මොකද මේ "වීරයා ගෙදර ඇවිත්" නාට්‍යයට දායක වෙන්නේ මම අධ්‍යක්ෂවරයෙක් විදියට "තණමල්විල කොල්ලෙක්" නාට්‍යය කරන අවදියේ දී. නළු භූමිකාව සහ අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාව කාලය කළමනාකරණය කරගෙන මාරුවෙන් මාරුවට තමා මේ චරිතය මම කළේ. ඒ එක්කම චාමර කියන චරිතයේ ස්වභාවය හඳුනා ගැනීමට මට අවශ්‍ය වුණා. චරිතාංග නළුවෙක් විදියට මට විවිධ වූ චරිත කරන්න ලැබුණත් මෙය මට ලැබුණු ඉතා විශිෂ්ට අන්දමෙන් ලියැවුණු චරිතයක්. ඒ වගේම අපේ රටේ දැවැන්ත විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් වන ආනන්ද අබේනායකයන්ගේ නිර්මාණයක් සහ විශිෂ්ට නළු නිළි කැලත් එක්ක මට රඟපාන්න ලැබීමත් එක්ක මට සාර්ථක කරගන්න පුළුවන් වුණා. මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ නිෂ්පාදක ෆාහිම් මවුජූඩ් ට, කැමරා අධ්‍යක්ෂ තිසර තුල්රුවන්ට සහ පිටපත් රචක නාමල් ජයසිංහට. ඒ හැමෝගෙම දක්ෂතාවල ඉහළම තැනක් කියලා මම විශ්වාස කරනවා
ආනන්ද අබේනායකයන්ගේ නිර්මාණ බොහොමයක ඔහුගේ තේරීම වුණේ ඔබ
මම වැඩ පටන් මුල් භාගයේ දී පවා ආනන්ද අබේනායකයන්ගේ සමහර ටෙලි නාට්‍යවලට සහභාගී වුණා. ඔහු මට දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් සහ ඔහු එක්ක වැඩ කරන එක මට හීනයක් වෙලා තිබුණා. මම හිතන්නේ කාලයාගේ ඇවෑමෙන් සහ මගේ මහන්සියෙ ප්‍රතිඵලයක් විදියට ආනන්ද අබේනායකයන්ගේ නළු නිළි කැල ඇතුළට රිංගන්න පුළුවන් වුණා. මගේ විශේෂයක් එතුමා දකින්න ඇති. මම එතුමාගේ දකින විශේෂත්වය තමයි ලංකාවේ හුඟක් ටෙලි නාට්‍යය වලට සම්බන්ධ අධ්‍යක්ෂවරු ගත්තම ඒ හැමෝමටම වඩා ආනන්ද අබේනායකයන් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා තමා ටෙලි නාට්‍යය කියන එක කඩාගෙන වැටුණු මොහොතේත් එතුමාට විතරයි අවස්ථාව තිබුණේ මිනිසුන්ට වැදගත් හරවත් නිර්මාණ අරගෙන එන්න. ඒ අතරට මටත් සහභාගී වෙන්න ලැබීම සහ මාව සහභාගී කරවා ගැනීම මම හිතනවා රංගන ශිල්පියෙක් විදියට මම ලබපු භාග්‍යයක් කියලා.
හොඳම නිළිය සම්මානය ලැබෙන්නේ ජයනි සේනානායකට, ඇය ගැන කිව්වොත්
මම සුබ පතනවා එතුමිය ලබපු සම්මානයට. ජයනි සේනානායක කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒක අවිවාදයෙන් යුතුව අපි පිළිගත යුතුයි. ජයනි එක්ක මට රඟපාන්න ලැබිලා තියෙන්නේ හරිම සීමා සහිත විදියට. අනිත් එක තමා ආනන්ද අබේනායකයන්ගේ නිර්මාණවල තියෙන විශේෂත්වයක් තමයි එතුමා චරිතයට සියයට සීයක් ගැළපෙන කෙනා හැරෙන්න එතුමාගේ හිතවත්කම් මත චරිත ලබා දෙන්නේ නැහැ. ආනන්ද කුමාරඋන්නැහේ, නෙතලි නානායක්කාර,චාන්දනී සෙනවිරත්න සහ අලුතින් සම්බන්ධ වුණු අපේ සියල්ලම ඒ චරිතවලට සුදුසු නිසා තමා එතුමා තෝරා ගත්තේ. නාට්‍යයක් කියන්නේ සාමුහික ප්‍රයත්නයක්. ඒ සාමුහිකත්වය නිසා අපි මේ සම්මාන උළෙලේ ඇඟයීමට ලක් වුණා කියලයි මම විශ්වාස කරන්නේ.
මේ කාලයේ රොෂාන්ව නිර්මාණවලින් දකින්න ලැබෙයිද?
මට නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. නමුත් මට කියවලා සතුටු වෙලා යන්න පුළුවන් තරමේ නිර්මාණයක් හම්බවුණේ නැහැ. ඒ නිසා ගෙදරට වෙලා ඉන්නවා. කියවලා මට සතුටු වෙන්න පුළුවන් නිර්මාණයක් ලැබුණොත් මම එය බාරගෙන කරනවා.
නැවත අධ්‍යක්ෂණයක් කරන්න අදහසක් නැද්ද
අදහස් තියෙනවා. නිර්මාණ තියෙනවා. නමුත් මට නිෂ්පාදකවරු නැහැ. තණමල්විල කොල්ලෙක් නිර්මාණය කරපු මට ආපහු මෙගා නාට්‍යය නිර්මාණය කරන්න බැහැ. මට වැදගත් විදියට නිර්මාණයක් කරන්න පුළුවන් නම් කරනවා නැත්නම් නිකම් ඉන්නවා. හුඟක් වෙලාවට නිෂ්පාදකවරු ඉන්නෙත් වෙන වෙන අවශ්‍යතා තියෙන නිෂ්පාදකවරු හින්දා. මට හොඳ නිෂ්පාදකවරයෙක් හම්බෙනකම් ඉන්නවා.