
ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය උදෙසා පිදෙන රාජ්‍ය සම්මානය දිනා ගත් චරණ නාළිකාවේ
තුශාන්ත විදානගේ
පසුගියදා නිමාව දුටු 15 වන රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ සම්මාන හතරකට නිර්දේශ වන්නට චරණ නාළිකාවේ තුන්දෙනකු සමත් වුණා. ඒ ප්‍රශස්තම සංස්කෘතික ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන ලෙසින් එහි නිෂ්පාදක අනුක පෙරේරා, ප්‍රශස්තම සම්ප්‍රවේෂක ලෙසින් කාලත්‍රයේ කතාබහ වෙනුවෙන් නිර්දේශ ලැබූ දුලාෂි ධර්මසේන සහ ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය උදෙසා සහ ප්‍රශස්ත කතිකා වැඩසටහන උදෙසා තුශාන්ත විදානගේ වශයෙන්. මින් ප්‍රශස්තම පූර්ව ප්‍රචාරක පටය උදෙසා පිදෙන පිදෙන රාජ්‍ය සම්මානය දිනා ගත්තේ චරණ නාලිකාවේ තුශාන්ත විදානගේ සහෘදයා ය. මේ ඔහු සමඟ කළ කතාබහකි.
රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ ඔබ සම්මානලාභියෙක්, මේ සම්මානිත වූ අවස්ථාව ගැන කිව්වොත්
මේක මගේ ජිවිතේ මම සහභාගී වුණු පළවෙනි සම්මාන උළෙල; මගේ නම නිර්දේශ වුණු පළවෙනි සම්මාන උළෙල; ඒ වගේම සම්මානිත වූ පළවෙනි සම්මාන උළෙල.
චරණ නාළිකාව ඉතා කෙටි කලකින් මෙලෙස සම්මානිත වීම ගැන කතා කළොත්
සම්මාන කියන එක චරණ අපිට බොහොම ආගන්තුකයි. මේ අත්දැකීම ප්‍රථම වතාවට තමයි චරණ කණ්ඩායම ලැබුවේ. මෙතැනදී ඇඟයීමට ලක්වෙන්නේ 2019දී කෙරුණු වැඩසටහන්. මෙතැනදී අපි අයදුම් කරද්දීම බලාපොරොත්තු වුණේ එක නොමිනේෂන් එකක්වත් ලැබුණොත් ප්‍රමාණවත් කියන අදහස. මොකද රූපවාහිනී නාළිකා අතරේ අපි ඉතා කුඩා සහ ලොකු ඉතිහාසයක් නැති නාලිකාවක් නිසා. නමුත් අපි සම්මාන හතරකට අපි නිර්දේශ වෙනවා. කොහොම හරි අවසානයේදී මෙය චරණ නාළිකාවට අමතක නොවන සම්මාන උළෙලක් වුණා.
චරණ නාළිකාවේ ඔබේ භූමිකාව වෙන්නේ
චරණ නාළිකාව ආරම්භ වෙන්නේ 2018දී. මම සම්බන්ධ වෙන්නේ වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදයට. එතකොට ආරම්භක වැඩසටහනක් විදියට පටන්ගත්තු 70 ලංකාරය කොටස් 100ක් විතර කළාට පස්සේ 2021 සිට එය වෙනස් කරලා ගී ලංකාරය ලෙසින් 80/90 දශකවල ඔර්ජිනල් කලාකරුවන්ගේ ගී නිර්මාණ එක්ක මේ වෙද්දී කරගෙන යනවා. සම්මානයට පාත්‍ර වූ කවි 10ට ගී 10ක්, ඊට අමතරව පෝය දවසට උදේ 5සිට විකාශය නිමාවන තෙක් යන සියලු වැඩසටහන්වලට නිර්මාණ දායකත්වය මම ලබා දෙනවා. ඊට අමතරව වෙහෙර මඩුව වාර්තා වැඩසටහන් මාලාව නිෂ්පාදනය කරනවා. ඔය දේවල්වලට අමතරව සෘජු නොවන නමුත් මගේ අධීක්ෂණය යටතේ තියෙනවා Art Beet, දඩබ්බරයි හපන්නු වගේ වැඩසටහන්.
සම්මාන ගැනනේ අපි ඒ කතා කරේ, ඔබේ මාධ්‍ය ඉතිහාසය ගැනත් අපි කතා කරමු
මම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්නේ උසස් පෙළ ඉවර වුණාට පස්සේ ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ ආයතනයට සම්බන්ධ වීමෙන් අනතුරුව. නිස්කෝ වීඩියෝ හි ඉගෙන ගත්තු දේවල් සැබෑ ලෙසින් ප්‍රයෝගිකව එතැනදී මට අත්විඳින්න ලැබුණා. එහෙම ඉන්නකොට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යාස විදුහලේ මාධ්‍ය ඒකකයට කැමරා ශිල්පින් බඳවා ගන්නවා කියලා තිබුණු එකට මමත් අයදුම් කළා. එතැනදී මාව තෝරා ගන්නවා. ඒ 95දී. එතැන් සිට 2018 දක්වාම අවුරුදු 23ක්ම මම අත්දැකීම් ලබන්නේ රූපවාහිනී ක්ෂේත්‍රය තුළ නෙවෙයි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අභ්‍යන්තර නිෂ්පාදන සඳහා පමණක් නිෂ්පාදන කටයුතු කිරීමෙන්.
හැබැයි මගේ යටි හිතේ රූපවාහිනී නාළිකාවක අත්දැකීම් ලබන්න ඕනේ කියලා නොසන්සිඳෙන ආසාවක් තිබුණා. ඒ නිසා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්, කොළඹ ශ්‍රීපාලි මණ්ඩපයෙන්, පශ්චාත් සන්නිවේදන උපාධිය වගේ දේවල් අරගෙන මම මගේ දැනුම වැඩි දියුණු කරගත්තා. ඒ අතරෙ මට දැනගන්න ලැබුණා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේම තියෙන විෂන් කොම් ආයතනයේ Peo Tv හි චැනල් එකක් චරණ Tv නමින් ආරම්භ කරනවා කියලා. ඒ නිසා මම ටෙලිකොම් ආයතනයෙන් අයින් වෙලා චරණ Tv එකට සම්බන්ධ වෙනවා වැඩසටහන් නිෂ්පාදකවරයෙක් විදියට. යටි හිතේ තිබ්බ ආසාව චරණ Tv සමඟ එකතු වූ නිසා සපුරාගනිමින් මේ අවුරුදු 26ක මාධ්‍ය ජීවතේ තව ඉස්සරහට මම ගමන් කරනවා.
මේ මඟ එන්න ඔබට නිබඳවම ශක්තියක් වූ අය ඇති
අනිවාර්යෙන්ම. ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ එක කියන්නේ මගේ දෙවැනි තිඹිරි ගෙය. එහි ගුරුවරු නිර්ලෝභීව දෙන දැනුම ගැන මේ මොහොතේ අගය කරන්න ඕනේ. ඒ ආයතනය නැත්නම් අද මම මේ ක්ෂේත්‍රයේ මෙහෙම සම්මාන නොලබන්න තිබුණා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ දී වඩා පරිපූර්ණ මාධ්‍යකරුවෙක් බවට පත්වෙන්න හේතු වුණු කළමනාකාරිත්ව දායකත්වයක් තිබුණා. මෙතැනදී මට අමතක කරන්න බැහැ ජගත් ධීරසේකරයන්. ජිවිතේට සහ වෘත්තීය ජීවිතේට මෙතුමාගෙන් මම ගත්තු දේවල් ගොඩක් තියෙනවා.
ඊට පස්සේ මගේ මේ වෘත්තීය පරිවර්තනය සිදු වෙන කාලේදී විෂන් කොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්නයන්ට මම මගේ අවශ්‍යතාව කිව්වම, කිසිදු පැකිලීමකින් තොරව මට එතුමාගේ ආයතනයේ නිෂ්පාදකවරයෙක් විදියට මට අවස්ථාව දුන්නා. ඒ එක්කම මම ගත්තු තීරණය සහ මගේ ගමන් මාර්ගය තව මුවහත් වෙනවා වජිර ජයවර්ධන මෙම චරණ නාළිකාව ඇතුළේ නිර්මාණකරණය තුළ පෙන්වන හැකියාව සමඟ. මොකද මෙතැනදී ඔහු එක්ක උරෙන් උර ගැටෙන සාමාජිකයෙක් මම.
වජිර නිර්මාණකරණයේදී පෙන්වන හැකියාව සහ මඟ පෙන්වීමෙන් නිවැරදිව කන්සෙප්ට් එක නිමා කරන්නේ කොහොමද කියන එක නිර්ලෝභීව මට දීලා තියෙනවා. ඒ එක්කම චරණ නාළිකාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජිත බණ්ඩාරයන්, අර මම මුලින් කිව්ව ජගත් ධීරසේකරයන් දුන් දැනුම තවදුරටත් වඩාත් මේ මොහොතේ සමීප කරවනවා. මගේ මේ වෘත්තීය ඇතුළත මේ සම්මානිත වූ වැඩසටහනේ සහය නිෂ්පාදකවරිය සඳු අත්තනායකට සහ මගේ නිෂ්පාදන සියල්ලටම දායකත්වය ලබා දෙන සියලු ශිල්පීන්ට ස්තුතිවන්ත වෙන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.
ඒ වගේම මෙහි නිවේදක වජිර මේ වැඩසටහනට එක් කළ රිද්මය, මේ වැඩසටහන ගැන සමාජ කතිකාවක් ඇති කරන්න ලොකු පිටුවහලක් වෙනවා. ඒ නිසා මේ හැමෝම මේ සම්මානයේ කොටස්කරුවන්.