මට මේ චරිතය ලොකු අභියෝගයක් යොවුන් නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස සම්මානිත ඉෂාන් කුලතිලක | සිළුමිණ

මට මේ චරිතය ලොකු අභියෝගයක් යොවුන් නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා ලෙස සම්මානිත ඉෂාන් කුලතිලක

ඇත්තට ම මේ නාට්‍යයක් ඇතුළේ නාට්‍යයක්

මෙවර යොවුන් නාට්‍ය උලෙළේ දිගු නාට්‍ය අංශයේ හොඳම නළුවා සම්මානය දිනා ගන්නේ ඉෂාන් කුලතිලක යි. "Missing" නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඉෂාන් එම සම්මානය දිනා ගත්තේ ය. "පාසල් වේදිකාවෙන් පස්සෙ හොඳම නළුවා සම්මානය මට ලැබුණු පළමුවැනි අවස්ථාව මෙයයි. මගේ අම්මායි, තාත්තායි ලෝකෙට ණය වෙලා ඒ ණයවල පොලී ගෙවමින් තමයි මට නාට්‍ය කරන්න මූල්‍ය පහසුකම් සලසන්නේ. ඒ මදිවාට නෑදෑයන්ගේ, අසල්වැසියන්ගේ කයි කතන්දර, ප්‍රශ්න පත්තරවලට උත්තර දෙමින් ඒ දෙන්නා මට දෙන ධෛර්යය තමයි මේ සම්මානයක් ලෙසින් මගේ අතට ලැබුණේ.

 

"ඔය විකාර නවත්තලා රස්සාවක් හොයා ගන්න පුතේ" කියලා කියූ වාරත් අනන්තයි. ඒත් මගේ හිත රිදෙද්දී ආයෙමත් ඒ දෙන්නා කියන්නේ "උඹ කැමති දෙයක් කරපන්" කියලා යි."

ඉෂාන් සිය දෝර ගලා යන සතුට ප්‍රකාශ කළේ එලෙසිනි. ඔහුට තම අක්කා සහ අයියාගෙන් ද ලොකු දිරියක් ලැබෙන බව ද කීවේ ය.

ඉෂාන්ට මේ සම්මානය ගෙන දුන් මිසිං නාට්‍යය නිලංක නාමල් උඩුමුල්ල ගේ අධ්‍යක්ෂණයකි. නිලංක හා මධුරංගගේ පිටපත ඇසුරෙන් නිර්මාණය වූ මේ නාට්‍යය බන්ධනාගාරයේ සිරකරුවන් හතර දෙනෙක් වටා ගෙතුණු කතාවකි.

"මේ නාට්‍ය වේදිකාවේ දිගහැරෙන්නේ බන්ධනාගාරයේ නාට්‍යයක් රඟ දක්වන ආකාරයට යි. එතැනදී බන්ධනාගාර සිරකරුවන් විදියට අපි හතරදෙනා බන්ධනාගාරයට ආවේ කොහොමද කියන කතාව තේමාව කර ගැනුණා. ඇත්තට ම මේ නාට්‍යයක් ඇතුළේ නාට්‍යයක් කිව්වොත් නිවැරදි යි. බන්ධනාගාරයේ නාට්‍යයක් පෙන්නන විදිහට මේකෙ හැම දෙයක් ම කළා. මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ ගිහාන් ඩී. පතිරණ යි. ඔහුටත් හොඳම සංගීත අධ්‍යක්ෂ හැටියට යොවුන් නාට්‍ය සම්මානය මෙවර ලැබුණා. ඔහු වේදිකාව මත ඉඳගෙන බන්ධනාගාරයේ සිර කාමරය තුළ සංගීතය නිර්මාණය කරන විදිහට ම තමයි සංගීතය නිර්මාණය කළේ. එක වාදන භාණ්ඩයක් පාවිච්චි කරලා, ටින් බෙලෙක්ක අරගෙන ඒ වගේ දේවල් තමයි සංගීතය භාණ්ඩ විදිහට යොදා ගත්තේ."

පිරිමියෙක් වුවත් ස්වරූප දෙකකින් රඟපාන්නට සිදුවීම මෙහිදී ඉෂාන්ගේ අභියෝගය විය.

"ඇත්තට ම මට මේ චරිතය ලොකු අභියෝගයක් වුණා. මේකේ මම එක අවස්ථාවක ලෝකෙට පේන්න ඉන්නේ නපුංසක තරුණයෙක් විදිහටයි. සමහර අවස්ථාවලදී සැබෑ පිරිමියෙක් විදිහට පෙනී සිටිනවා. විවිධ අවස්ථාවල ක්ෂණිකව මේ චරිත දෙක මාරු වෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මට ඒ මාරුවීම හරියට කරගන්න බැරුව පුහුණුවීම් අවස්ථාවලදී අනන්තවත් පැටලුණා. නමුත් අධ්‍යක්ෂවරයා ඉතා හොඳින් අපිව මෙහෙයවූවා."

ඉෂාන්ට වේදිකාව තනා දුන්නේ පාසලයි.

"මම පල්ලේබැද්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපේ පාසලේ නාට්‍ය කලාව කියල විෂයක්වත් තිබුණෙ නැහැ. ජගත් වේරගම සර් මාව රත්නපුර ලූකස් විද්‍යාලයට යැව්වා නාට්‍ය කරන්න කියලා. එතැනදී ඉන්දික කළුආරච්චි සර් මට හමුවුණා. නිලංක නාමල් උඩුගමගේ සාරින්දා නාට්‍ය පාසලට සම්බන්ධ වෙලා දිගටම මම නාට්‍ය කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ කොළඹට ඇවිත් එම්. සෆීර් සර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් ආයතනයට සම්බන්ධ වෙලා නාට්‍ය හදාරනවා. ඒ ඉගෙනුමෙන් මගේම කියලා නාට්‍යයක් මම අධ්‍යක්ෂණය කළා. ඒ වගේ ම ජාත්‍යන්තර අත්දැකීම් ලැබුණා. ලූෂන් බුලත්සිංහල මහත්තයාගේ නාට්‍යයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. මම මගේම යූටියුබ් නාළිකාවක ladies only කියලා ටෙලි නාට්‍ය කතා මාලාවක් මේ වෙනකොට රූගත කිරිම් අවසාන කරල සංස්කරණ කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මගේ අධ්‍යයන කටයුතු සහ වෘත්තීය අධ්‍යක්ෂවරයෙක් වශයෙන් අධ්‍යයනයෙන් පසු ව බර්ලින්වල බ්‍රෙස්ට් හවුස් එකේ වෘත්තීය අවස්ථාව ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසාන වෙමින් තියෙනවා. ළඟදීම ඒ ගමන යන්න බලාපොරොත්තු වෙනවා. මගේ අම්මාවයි, තාත්තාවයි ඉක්මනින් ම ණය බරින් නිදහස් කරන්න මට ඕනේ.

Comments