
කුඩා වියේ සිට කියවීමට දැඩිව ඇබ්බැහි වූ චමී තියඹරාහේනේගෙදර වඩාත් ප්‍රිය කළේ ශාස්ත්‍රීය, විෂයානුබද්ධ, පර්යේෂණ, ආගමික සහ සංස්කෘතික පොත්පත්ය. පාසල් කාලයේදී සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුනද ලේඛිකාවක් වීමේ සිහිනයක් හෝ බලාපොරොත්තුවක් ඇය තුළ නොවීය. වාණිඡ අංශයෙන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඇය ඉන් අනතුරුව තෝරා ගත්තේ ව්‍යාපාර පරිපාලන අංශයයි. ලේඛනයට යොමුවීමේ බලාපොරොත්තුවක් නොවූවද විනෝදාංශයක් ලෙස ළමා කතා, වීර කතා, යොවුන් කතා බොහොමයක් තමා විසින් රචනා කළද යොවුන් ප්‍රේමය ගැන ලිවීමට තිබූ බිය සහ චකිතය නිසා නිසාම ලේඛනයට පිවිසීම ප්‍රමාද වූ බව චමී තියඹරාහේනේ ගෙදර පවසන්නීය.
විවාහයෙන් පසුව, 2017 වසරේදී මුහුණු පොතට ‘පෙම් කළේ නෑ මා’ නවකතාව ලියමින් නවකතාකරණයට පිවිසෙන චමී, 2019 සැප්තැම්බර් මාසයේ, 'සින්ධු' නමින් කුලුඳුල් කෘතිය ප්‍රකාශයට පත් කළාය. මේ වන විට චමී තියඹරාහේනේ ගෙදර නවකතා පොත් 10ක් ප්රකාශනයට පත් කර ඇත.
මගේ නවකතා අතරින් මම වඩාත් කැමති නවකතාව
මම ලියපු පොත් අතරින් මම කැමතිම ‘සුළඟ නුඹ’ නවකතාවට. එය ලිවීමට හේතු වුණේ එක්තරා පුවතක පළ වී තිබූ ශීර්ෂ පාඨයක්. ඒ ගැබිනියක් වූ පාසල් සිසුවියක් දිවිනසාගත් පුවතක්. ඒ පුවත දැක්කහම ඒ දරුවට අධ්‍යාපනය, අනාගතය ගැන මොනතරම් හීන තියෙන්න ඇත්ද? ඒ දරුවා ගැන දෙමවුපියන් මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්ද? ඒ හීන විනාශ වුණහම ඒ දරුවා, ඒ පවුලේ අය මොනතරම් පීඩනයකට ලක් වෙන්න ඇත්ද? එහෙම දරුවෙක් එතනින් එහාට සමාජයේ අපහාසයට උපහාසයට ලක්වීම සාධාරණද? යනාදී කරුණු ගණනාවක් මගේ හිතට නැඟුණා. ඒ වගේම එහෙම සිදුවීමක සාධාරණ පැත්තක් තියෙන්නම බැරිද? ජීවිතේ අත් අරින්න තරමට ඒ දරුවා අසරණ කරපු හේතුවට වග කියන්නේ කවුද? අවසන් විසඳුම දිවිනසාගැනීම පමණක්මද වගේ දේවල් ගැනත් මම ගොඩක් කල්පනා කළා. ඒ සිතිවිලි සියල්ලේම අවසන් ප්‍රතිඵලය තමයි ‘සුළඟ නුඹ’ නමින් මගේ අතින් ලියවුණේ.
ඒ නවකතාවේ මා වඩාත් සංවේදී වූ අවස්ථාව
මේ කතාව ඇතුළේ ප්‍රධාන කාන්තා චරිතය වුණ ආත්මී හැදෙන්නේ ආදරණීයම කුටුම්භයක් එක්ක. ඒත් එක වරදක් නිසා එක අවස්ථාවකදී ඒ මුළු පවුලම ඇයව ප්‍රතික්ෂේප කරනවා. ඇයත් එක්ක වචනයක් හරි කතා කරන්න ඉතුරු වෙන්නේ ඇයට වඩා වසර දහයක්ම බාල, නිතරම අඬදබර කළ බාල සහෝදරයා විතරයි. අන්තිමට ඇය තමන්ගේ ජීවිතේ ගැන තනි තීරණයක් ගන්නවා. ඒ වෙලාවේ ඇය තමන්ගේ වේදනාව අකුරු කරනවා ලියුමක. මං ඒ ලියුම ලියද්දි තමයි ගොඩක්ම සංවේදී වුණේ. කොහොමත් ‘සුළඟ නුඹ’ කියන්නේ මම ලියපු කතාවලින් සංවේදීම නවකතාවයි.
මෙතෙක් මට ලැබුණු හොඳම පාඨක ප්‍රතිචාරය
පාඨකයන්ගෙන් ලැබෙන හැම ප්‍රතිචාරයක්ම මට එක වගේ වැදගත්. ඒ අතරින් ‘සුළඟ නුඹ’නවකතාවට ලැබුණු ප්‍රතිචාර බහුතරයක්ම සංවේදී ප්‍රතිචාරයි. ඒ අතරින් මගේ අම්මගේ වයසේ, ජ්‍යෙෂ්ඨ නීතීඥ මහත්මියක් මට කතා කළා. ඇගේ ඇමතුම් කාලය පැය දෙකකට වඩා දීර්ඝයි. ඇය කිව්වා, තමන්ගේ ජීවිතේ ඇය වැඩියෙන්ම ආදරේ කළේ තමන්ගේ අම්මට, ඒ අම්මා වසර හයකට කලින් මිය ගියා කියලා. එය ඇයට අමතක කළ නොහැකි තරමට දරාගන්න බැරි වේදනාවක් වෙලා තිබුණත්, ඒ දවසේ ඇය හඬා වැටුණාටත් වඩා ‘සුළඟ නුඹ’ නවකතාව ඇයව සංවේදී කළා කියලා කිව්වා.
මගේ ඉදිරි නිර්මාණ සැලසුම්
ලංකාවේ ජනප්‍රිය ම ලේඛිකාව වෙන එකවත් ප්‍රසිද්ධ ම ලේඛිකාව වෙන එකවත් මගේ හීනවල නැහැ. මට ඕන ජනතාවට අමතක නොවන ලේඛිකාවක් වෙන්න. හරියට අවුරුදු 128කට කලින් මිය ගියත් අදටත් නොමැරුණු ‘ගී ද මෝපසං ’ වගේ. මිය ගිහින් අවුරුදු 301ක් වෙලත් තාමත් නොමැරුණු ‘රොබර්ට් නොක්ස්’ වගේ. ඉතින් ඒ හීනය වෙනුවෙන් මම මහන්සි වෙනවා. මම දන්නෑ මට ඒ හීනෙට යන්න පුළුවන් වෙයිද කියලා. ඒත් මම උත්සාහ කරනවා. ලෝකයේ නැතත් මගේ මවු රටට නොමැරෙන ලේඛිකාවක් වෙන්න. ඒ විදිහට මාව අමරණීය කරවන්න පුළුවන් එකම එක නිර්මාණයක් හරි පාඨකයාට දෙන්නයි මම හීන දකින්නේ.