
සාම්ප්‍රදායික සමාජ ක්‍රමයට අධිරාජ්‍යවාදීන්ගෙන් එල්ලවූ බලපෑම සංකේතවත් කරමින් ‘තලමල පිපිලා’ වේදිකා නාට්‍යයේ විදේශික ව්‍යාපාරිකයාගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් දිවි රඟ මඬලෙන් බැස ගියේ 3 වැනි සිකුරාදා ය.
“නුඹ ආත්ම ගණනක් යුරෝපයේ ඉපදුණු එකෙක්. හැබැයි ගිය ආත්මෙ පොඩි වරදක් කරලා ලංකාවේ ඉපදිලා.” යනුවෙන් රංගන ශිල්පී ජනක කුඹුකගේ, සම්පත් තෙන්නකෝන් නළුවාට වරක් පවසා තිබිණි. එහෙත් ඔහු එසේ පැවසීමට හේතුව වූයේ තලමල පිපිලා වේදිකා නාට්‍යයේ කළ විශිෂ්ට රංගන ප්‍රතිභාව නිසා නම් නොවේ. වේදිකා නාට්‍ය රැගෙන යුරෝපීය සංචාරවලට ගිය අපේ නාට්‍ය කණ්ඩායම් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඔස්ට්‍රියාව වැනි රටවල් ගණනාවකට එකවර කැටුව යෑමට දැක්වූ සමත්කම නිසා ය. ඉංග්‍රීසි නාම පුවරුවක් නොමැති, මිනිස් පුළුටක් පේන මානයක නැති, යුරෝපයේ අධිවේගී මාර්ග ඔස්සේ පැයට කි.මී. 200 ක වේගයෙන් කිසිදු පැටලීමකින් තොරව නිවැරැදිව වාහනය රැගෙන යෑමට ඔහුට තිබෙන්නේ අපූරු හැකියාවකි. සෑම සංචාරයක් ම මනා ලෙස කළමනාකරණය කරමින් රටක සංස්කෘතික අමාත්‍යාංශය මඟින් සිදු විය යුතු කාර්යයන් පවා තනිව විඳ දරා ගනිමින් සම්පත් තෙන්නකෝන් අපේ වේදිකා නාට්‍ය කණ්ඩායම් වෙනුවෙන් සිදු කළ මෙහෙවර සුළුපටු නැත. ජනක කුඹුකගේ විසින් ඔහුව ගමන් සඟයා ලෙස හැඳින්වූයේ එම නිසා ය. සම්පත් තෙන්නකෝන් සහ ජනක කුඹුකගේ හා හා පුරා කියා එකට එකතු වූයේ ජයලත් මනෝරත්නයන්ගේ ‘පුත්‍ර සමාගම’ වේදිකා නාට්‍යයෙනි.
පුත්‍ර සමාගම වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක වූ සම්පත් තෙන්නකෝන්, වේදිකාවේ රංගනය ආරම්භ කළේ ඊට ටික කලකට පෙරය. ගුරු ලිපි ඔහු රඟපෑ ප්‍රථම වේදිකා නාට්‍ය විය. ගරු ලිසී, සුබ සැන්දෑවක්, අඹු සැමියෝ, බොරු කකුල්, දෙසීය තුන් සීය ඔහු රඟපෑ වේදිකා නාට්‍ය කීපයකි. ඉන්පසුව ජයලත් මනෝරත්නයන්ගේ පුත්‍ර සමාගම, තලමල පිපිලා, ගුරුතරුව, සුදු රෙදි හොරා ඇතුළු වේදිකා නාට්‍ය රාශියකට එකතු විය. ගුරුතරුව වේදිකා නාට්‍යයේ මධුර මුදලාලිගේ චරිතයත් නෙළුම් පොකුණ වේදිකා නාට්‍යයේ ධනංජය සිටු කුමරුගේ චරිතයත් පණ පෙවූ අයුරු තවමත් අපට අමතක නැත. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය සංඛ්‍යාව 50 කට ආසන්නය.
සම්පත් තෙන්නකෝන් නළුවකු ලෙස වේදිකාවේ ජනප්‍රිය වුව ද ඔහු කලාවට අතපොත් තබන්නේ සහාය වේශ නිරූපණ ශිල්පියකු වශයෙනි. රංගනය සමඟ අත්වැල් බැඳගත් ඔහු පසුකලෙක වේශ නිරූපණ ශිල්පයට ආයුබෝවන් කීවේය.
කොළඹ ඉසිපතන විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු වූ සම්පත් තෙන්නකෝන් වේදිකාවෙන් සිනමාවටත් සිනමාවෙන් ටෙලි නාට්‍යවලටත් දායක වූ දක්ෂ රංගන ශිල්පියෙකි. හිමගිර, අහස් මාළිගා, සරෝජා, ගිනි අවි සහ ගිනි කෙළි, සීමා පවුරු බෝම්බ සහ රෝස, සිරි රජ සිරි, පත්තිනි ඇතුළු චිත්‍රපට 15 කට පමණ ඔහු රංගනයෙන් සම්බන්ධ විය. ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වූ සම්පත් තෙන්නකෝන් ඒකාංගික ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේ ය.
ප්‍රතිභා පූර්ණ නළුවකු ලෙස ජනාදරයට පත්වූ සම්පත් තෙන්නකෝන්ගේ ගායන කුසලතාව බොහෝ දෙනෙකු නොදන්නා අප්‍රකට තොරතුරකි. විටින් විට ගීත කීපයක් ගායනා කළේ ගීත සමුච්චයක් එකතු කර සී.ඩී. තැටියක් නිකුත් කිරීමේ අපේක්ෂාවෙනි. ඔහුගේ බලාපොරොත්තු මල්ඵල ගන්වා ගැනීමට ඉඩක් ලැබුණු බවත් මගේ මතකයේ නැත. එහෙත් ඔහු නාට්‍ය ගීත එකතු කර සී.ඩී. තැටියක් නිකුත් කළේ ය. දෙස් විදෙස් නාට්‍ය උත්සවවලදී වාදනය කරනු ලබන්නේ ඔහු නිෂ්පාදනය කළ නාට්‍ය ගීත සී.ඩී. තැටියයි.
2013 වසරේ ‘අභිනයන සම්පත් රත්නා රංග භූමිකා’ නමින් වේදිකා නාට්‍ය උලෙළක් සංවිධානය කරනු ලැබුවේ ඔහුගේ වේදිකා නාට්‍ය දිවියට දශක 3 ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි. මෙම උලෙළේ සම්පත් තෙන්නකෝන් සහ රත්නා ලාලනි ජයකොඩි රඟපෑ ජනප්‍රිය වේදිකා නාට්‍ය 7 ක් වේදිකාගත විය.
සම්පත් තෙන්නකෝන්ට සිය බිරිය වන රත්නා ලාලනී ජයකොඩි මුණ ගැසුණේ ද වේදිකාව නිසා ය. විවාහයෙන් අනතුරුව ඔහුට නළු නිළි පරම්පරාවකගේ ඥාති සම්බන්ධකම් ඇති විය. ප්‍රවීණ නිළියක වන ගීතා කාන්ති ජයකොඩි රත්නා ලාලනීගේ අක්කා ය. ඇගේ දියණිය පබෝදා සංදීපනී අද සිටින දක්ෂ නිළියකි. රත්නා ලාලනීගේ වැඩිමහල් සොහොයුරාගේ පුතු බිමල් ජයකොඩි වන අතර බිමල් සුජානි මේනකා සමඟ විවාහවීමෙන් ඇයට ද ඥාති සම්බන්ධයක් ගොඩ නැඟිණි. සම්පත් - රත්න ලාලනිත් එකම පුතු මන්දිත ද අද පුංචි තිරයේ රංගන ශිල්පියෙකි.
1959 ජූනි 20 වැනි දින උපත ලැබූ සම්පත් තෙන්නකෝන් ටික කලක් අක්මා රෝගයෙන් පීඩා වින්දේ ය. අක්මා බද්ධයකට නියමිතව සිටියදී මරුවා ඊට එරෙහිවී ඔහුව උදුරාගෙන ගියේ කලාකාමී රසිකයන් සෝ සයුරේ ගිල්වමිනි.