
පේරාදෙණියේ ජීවත් වුවත් ඔහු උපන්නේ දකුණේදී
මගේ වෘත්තීය ජ්‍යෙෂ්ඨත්ව ජීවිතයේ ඉලක්ක දෙකක් තිබුණා. එකක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තිබුණු උද්භිද උද්‍යාන සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඇති කිරීම. අනෙක සුද්දෝ හදපු තෙත් කලාපීය උද්භිද උද්‍යාන වගේ අපිත් අපේ මහන්සියෙන් මේ රටේ උද්භිද උද්‍යාන සෑදීම. මම ඒ ඉලක්ක දෙක ම ජය ගත්තා
දේශීය මල් වගා කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඔහු ආරම්භ කළ "සුවහස් මල්" ව්‍යාපාරය මේ වනවිට රට පුරා ව්‍යාප්ත ව පවතින අතර; මල් වගා හා භූමි නිර්මාණ පාසලක් ද ආරම්භ කරමින් ඩිප්ලෝමා, උපාධි ලබාදීම දක්වා එය පුළුල් කර තිබේ
2012 හා 2020 වර්ෂවල දේශීය ශාක පිළිබඳ රතු දත්ත ලේඛනය සැකසීමේ කාර්යයෙහි ප්‍රධානියා වූයේ ද මහාචාර්ය විජේසුන්දර ය
පරිසරයට ගහකොළට මෙතරම් ආදරය කළ කෙනෙක් මෑත කාලයේ මට හමුවී නැත. ඔහු සිය දුක කඳුළ කාන්සිය සතුට විනෝදය පවා ගහකොළ සමඟ බෙදා හදා ගත්තේය. හිතට දුකක්, පීඩනයක් දැනුණු බොහෝ අවස්ථාවල ඔහු හක්ගල වනාන්තරයේ එක් ස්ථානයක බිම දිගා වී කොළ පැහැති ගස් අතු අතරින් ඈත නිල්වන් අහසේ සුදු වලාකුළු පාව යන අයුරු බලා සිටිමින් සිත විඩා නිවා ගත්තේ ය. ඒ ස්ථානයේ ඔහු කොතරම් වේලා රැඳී සිටියේ දැයි ඔහු ම හඳුනා ගන්නේ සිය ශරීරයේ හැඩයෙන් යුතුව එම බිමෙහි තණකොළ පොඩිවී තිබෙන ආකාරයෙනි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ඇති කිරීමෙහිලා වෙහෙසුණු ඔහු 2015 වසරේදී විශ්‍රාම ගියේ එම දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙනි. ඉංග්‍රීසි ජාතීන්ගෙන් පසුව මෙරට උද්භිද උද්‍යාන බිහි කළ ප්‍රමුඛතම ශ්‍රී ලාංකික උද්භිද විද්‍යාඥයකු ලෙස ඉතිහාස ගත වන ඔහු මේ වන විටත් අනාගත විද්‍යාඥයන් බිහිකිරීමෙහිලා මහඟු මෙහෙවරක් ඉටු කරමින් මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පර්යේෂණ මහාචාර්ය ලෙස ද කටයුතු කරන්නේ ය. ඔහු මහාචාර්ය සිරිල් විජේසුන්දරයි.
ශ්‍රී ලංකාවට ආවේණික සපුෂ්ප ශාක සහ මීවන ශාක බොහෝමයක් පිළිබඳ පර්යේෂණ කර ඇති ඔහු හක්ගල උද්භිද උද්‍යානයේ මීවන ශාක උදෙසා වනයේ ම වෙන් කර තිබූ කොටසක් වැඩි දියුණු කළේ ය.
පේරාදෙණියේ ජීවත් වුවත් ඔහු දකුණේ උපන්නෙකි.
"මම නැඟෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට අම්බලන්තොට ලුණම ගමේ ඉපදිලා ලුණම දුටුගැමුණු බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය හැදෑරුවා. දිගට ම වගේ පන්තියේ පළමුවැනියාත් වුණා. හයේ හතේ වගේ පන්තිවලදී හුංගම විජේබා මහා විද්‍යාලයට ගියා. මම පොඩි කාලේ ඉඳලා චිත්‍ර අඳින්න දක්ෂයි. මට ගුරුවරු, වැඩිහිටියෝ කිව්වේ ඔයා නම් චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියලයි. මමත් ඒ හීනේ තමයි හිටියේ. අටේ පන්තියේදි විද්‍යාව ද කලාව ද ඉදිරියට කරන්නේ කියලා විභාගයකුත් තියලා තෝරනවා. කලාව කරන්න මොන විභාග ද කියලා මගේ කවකටු පෙට්ටියත් යාළුවකුට පරිත්‍යාග කරලා මං ගෙදර ගිහින් වීරයා වගේ ඒ ගැන තාත්තාට කිව්ව ගමන් තාත්තා කෑ ගහලා විදුහල්පති හමුවෙලා මාව විභාගයට තිබ්බා. මම විද්‍යා විෂයයන් කරන්න සමත් වුණා. ඒත් මගේ හිතට ඒ ගැන සතුටක් තිබුණේ නැහැ. පාඩම් වැඩ කරන්නේ නැතු ව එළියෙන් පුටු දෙකක් තියාගෙන යාළුවෙක් එක්ක මම අහස දිහා බලාගෙන පැය ගණන් කාලය ගත කරන්න පෙලඹුණා. ඩීමන් ආනන්දගේ පොත් කියවලා අද්භූත දේවල් අහසින් මතු වෙනකන් බලා සිටියා. සාමාන්‍ය පෙළ දෙවරක් ම අසමත් වුණා. ඊට පස්සේ මාව කඹුරුපිටියේ විද්‍යා නිකේතන විශ්වවිද්‍යාල පිරිවෙනට ඇතුළත් කළා. මාමාගේ ගෙදර ඉඳලා බයිසිකලයක් පැදගෙන පිරිවෙනට යන්න ලැබීම නිසා ඒ ගමන සතුටින් ගියා. උගන්වන දේවල් හොඳට අහගෙන ඉඳලා ඒවා මම යාළුවන්ට උගන්වන්න පටන් ගත්තා. ඒක විනෝදෙට කළාට පස්සෙ මට විෂයයන් පුළුවන් වෙන්න පටන් ගත්ත නිසා ඉගෙනීමට ආශාවක් ඇති වුණා. ඊරියගොල්ල මහතාගේ පාසල් සිසුන් සම්බන්ධ කර ගත් වගා වැඩසටහන සම්බන්ධ තත්ත්වයක් මත ඒ කාලේ සාමාන්‍ය පෙළ දෙවැනි වරටත් අසමත් අයට නැවත පාසලෙන් විභාග කිරීමටත්, එය තුන්වැනි වර නොව දෙවැනි වර ලෙසට ම සැලකීමටත් රජයේ තීරණයක් ආවා. මම ආයෙමත් සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. ඉහළින් ම සමත් වුණා. ඒත් ජීව විද්‍යාවට ලේ දකින්න මම බයයි. ලෙඩ්ඩු බලන්න ඉස්පිරිතාලෙ ගිය අවස්ථා දෙකකදී ලේ දැකලා මට කලන්තෙ දැම්මා. තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයයට ඇතුළත් වෙලා උසස් පෙළ විද්‍යා විෂයයන් හදාරන්න පටන් ගත්තා. ඒ පාසලේ හිටියා භද්‍රා ජයතිලක කියලා ගොඩාක් තරුණ මිස් කෙනෙක්. එයා තමයි උද්භිද විද්‍යාව ඉගැන්නුවේ. එතුමිය හරි දක්ෂ විදිහට ඉගැන්නුවා. මගේ හිතේ ඒ විෂයය කෙරෙහි ඇල්මක් ඇති වුණා. උසස් පෙළ ඉහළින් ම සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. උද්භිද විද්‍යාව උපාධියට තෝරා ගත්තා. පේරාදෙණිය උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරීන් එක්ක අපි ගොඩාක් හිතවත් වුණා. උද්භිද උද්‍යානයට ඇතුළු වෙන්න උද්භිද විද්‍යා දෙපාර්තමේන්තුවට දී තිබූ පාස් එකක් අරගෙන මම නිතරම වගේ යාළුවෙක් එක්ක ගස්වල නම් පාඩම් කරගන්න උද්‍යානයට යනවා. උද්භිද විද්‍යාව විශේෂ උපාධිය ලබනවාත් එක්ක ම වගේ උද්භිද උද්‍යාන ආරක්ෂක තනතුරට අයඳුම්පත් දැම්මා. සම්මුඛ පරික්ෂණ කැඳවපු වෙලාවේ මං මොකටද ඒකට යන්නේ කියලා ඉන්නකොට මහාචාර්ය බාලසුබ්‍රමනියම් මහත්තයාත් ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්නවා, නොගියොත් හොඳ නෑ කියලා යාළුවෙක් මාව බලෙන් ම ඇදගෙන ගියා. උද්‍යාන ආරක්ෂක තනතුර ලැබුණා. පේරාදෙණියේ මාස හයක් පුහුණු වුණා.
ඊට පස්සේ මහාචාර්ය සාවිත්‍රි ගුණතිලක සමඟ හක්ගල දැඩි රක්ෂිතය පාදක කරගෙන මගේ පශ්චාද් උපාධි පර්යේෂණ කටයුතු ආරම්භ කළා.
එවකට උද්‍යාන අධිකාරීව සිටි ඩී. ටී. ඒකනායක මට ඒ වෙලාවේ පූර්ණ සහාය ලබා දුන්නා. හක්ගලටයි, පේරාදෙණියටයි මාරු වෙවී වැඩ කරන අතරේ එංගලන්තයේ කිව් රාජකීය උද්‍යානයේ මාස හයක්, රෙඩින් විශ්වවිද්‍යාලයයේ මාස හතරක් පුහුණුවීම් ලැබුවා. ඊට පස්සේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ආචාර්ය උපාධිය ලැබුවා. එහි අතහැර දැමූ ගුවන්තොටුපළක නැවත කැළයක් හැදෙන විදිය ගැන මම පර්යේෂණය කළා. පස්සේ ලංකාවට ඇවිත් 1998 දී තමයි පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ බවට පත් වුණේ. මගේ වෘත්තීය ජ්‍යෙෂ්ඨත්ව ජීවිතයේ ඉලක්ක දෙකක් තිබුණා. එකක් තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ තිබුණු උද්භිද උද්‍යාන සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඇති කිරීම. අනෙක සුද්දෝ හදපු තෙත් කලාපීය උද්භිද උද්‍යාන වගේ අපිත් අපේ මහන්සියෙන් මේ රටේ උද්භිද උද්‍යාන සෑදීම. මම ඒ ඉලක්ක දෙක ම ජය ගත්තා."
මහාචාර්ය සිරිල් විජේසුන්දරයක් තෙත් කලාප නොව කර්කශ පොළොව සහිත වියළි කලාපයට අයත් හම්බන්තොට මිරිජ්ජවිලට සිසිලස ගෙන දෙමින් එහි අක්කර තුන්සීයක උද්භිද උද්‍යානයක් හැදුවේය. කොළඹ නගරයට නුදුරු සීතාවක ද අක්කර 105 ක උද්භිද උද්‍යානයක් ඔහු තැනුවේ ය. එම උද්භිද උද්‍යාන දෙක ම නිර්මාණය කළේ ඔහු විසිනි. වෙනත් ආයතන හරහා මාස්ටර් ප්ලෑන් හදන්නට වැය කරන්නට තිබූ ලක්ෂ ගණනක මුදල් ද ඉතිරි කර දෙමින් ඔහු මෙම උද්හිද උද්‍යාන දෙක තමා විසින් ම සැලසුම් සකස් කර නිර්මාණය කළේ ය. කම්කරු සේවකයන්ට ධෛර්යය දෙමින් තණ පිඩැල්ලේ සිට මහා ගස් දක්වා උද්‍යානය සැකසෙන තුරු ඔහු එහි රැඳෙමින් සිය දැනුම පමණක් නොව එයට ආදරය ලබා දුන්නේ මව් ඇකයේ දරුවකු වඩන්නාක් මෙනි. අන් අය එහි භුක්තිය හා සතුට විඳිනු දැක ඔහු අද නිරාමිස වින්දනයක් ලබන්නේ ය. උද්භිද විද්‍යාත්මක ප්‍රයෝජනවලට අමතර ව මෑතකාලීන ව චිත්‍රපට, ටෙලි නාට්‍ය පමණක් නොව විවාහ රූගත කිරීම් බොහෝමයක් සඳහා සීතාවක උද්භිද උද්‍යානය භාවිත කර තිබීම මහාචාර්ය සිරිල් විජේසුන්දරයන්ගේ ප්‍රීති ප්‍රමෝදයට හේතුවකි.
එපමණක් නොව 2012 හා 2020 වර්ෂවල දේශීය ශාක පිළිබඳ රතු දත්ත ලේඛනය සැකසීමේ කාර්යයෙහි ප්‍රධානියා වූයේ ද මහාචාර්ය විජේසුන්දරයන් ය. එතෙක් අප සතුව තිබුණේ ජාත්‍යන්තර ශාක සංරක්ෂණ ආයතනය (IUCN) විසින් 2009 වසරේ තනා තිබූ රතු දත්ත ලේඛනයකි. වඳවී ගිය බවට වාර්තාගත වූ බොහෝ ශාක යළි සොයා ගනිමින් ඒවා සංරක්ෂණය කිරීමට ද ඔහු කටයුතු කළේ ය. දේශීය මල් වගා කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඔහු ආරම්භ කළ "සුවහස් මල්" ව්‍යාපාරය මේ වනවිට රට පුරා ව්‍යාප්ත ව පවතින අතර මල් වගා හා භූමි නිර්මාණ පාසලක් ද ආරම්භ කරමින් ඩිප්ලෝමා, උපාධි ලබාදීම දක්වා එය පුළුල් කර තිබේ.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වැඩ කරන කාලයේදී විශ්වවිද්‍යාලයයේ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා එහි ආව ගිය ලලනි රණවීර ශිෂ්‍යාවට ඔහු කොතරම් උදව් කළේ ද යත් අවසානයේ ඇය ඔහුගේ බිරිය වූවාය. දියණිය දේවස්මිතා විජේසුන්දරට නම් පියාට මෙන් ලේ දැකීමෙන් ක්ලාන්ත නොවන නිසා දෝ ඇය කුඩා කල සිට ම ජීව විද්‍යාවට ඇලුම් කරන්නී ය.
"දුව මං වගේ ගහකොළ ගැන පර්යේෂණවලට එච්චර උනන්දුවක් නෑ. එයා තව නොබෝ කලකින් විශේෂඥ වෛද්‍යවරියක් වේවි. මම සොයා ගත් දේ හැකිතාක් මේ රටට ආදරය කරන පුරවැසියන්ටත්, දරුවන්ටත් ලබාදීම මගේ සතුටයි. ජාතික රූපවාහිනියේ හිටපු සිසිර සුරවීරගේ "උරුමය", අනුර තන්තිලගේ ගේ "වයිල්ඩ් ඒෂියා", "තුරු විසිතුරු", සිරසේ උපුල් නානායක්කාර කළ "ග්‍රීන් ටීවී" වගේ වැඩසටහන් මගින් මම ඒ දේ කළා. ඉදිරියේදීත් එවැනි පාරිසරික වැඩසටහන් කරන්න මට ඇරයුම් ලැබී තිබෙනවා. පර්යේෂණ කටයුතුවලට බාධාවක් නොවන විදිහට ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා."