
ශ්‍රී ලංකා කලා මණ්ඩලය රට පුරා සිටින ආධුනික නිර්මාණකරුවන්ට දේශාභිමානී ගීත රචනා තරගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ ඒ ක්‍රියාදාමය පිළිබඳ
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ උප සභාපතිධූරන්දර, දර්ශනශූරී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ සමඟ කරන ලද සාකච්ඡාවකි.
දේශාභිමානී ගී එකතු කිරීමේ අරමුණ ගැන පැහැදිලි කිරීමක් කළොත් අපේ හාමුදුරුවනේ?
1954 ඉදන් තිබෙන මණ්ඩලයක් තමා ශ්‍රී ලංකා කලා මණ්ඩලය කියන්නෙ. ඒ කලා මණ්ඩලයේ විධායක සභාව තීරණයක් ගෙන තිබෙනවා; ශ්‍රී ලංකාවේ ආධුනික සහ නවක ගීත රචකයන්ට දේශාභිමානය නංවන ගීත නිර්මාණය කරන්න අවස්ථාවක් ලබා දෙන්න. මෙවර මේ වැඩසටහනෙහි තේමාව දේශාභිමාන ගීත යනුවෙන්. අනාගතයේ විවිධ නිර්මාණවලින් නිර්මාණකරුවන් බිහි කිරීම තමයි අපේ අරමුණ.
මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය කවරාකාරද?
මෙම ගීත නිර්මාණ අපි ගාවට ආවහම අපි මේ ගීත නිර්මාණවලින් පළමු, දෙවන සහ තෙවන ලෙස ජයග්‍රහණ තෝරනවා. ජයග්‍රහණ තෝරා ඒ පුද්ගලයන්ට තෑගි ප්‍රධානයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිර්මාණ දහසයක් වගේ තෝරාගෙන ආධුනික සංගීත ස්වර රචකයන් යොදවා තෝරා ගත් ගීතවලට තනු නිර්මාණය කරනවා. අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ හැදෙන නවක තනු නිර්මාණ ශිල්පීන් කොටසක් රටට බිහිකර ගැනීමයි. ඊට අමතරව හොඳම ගීත දහසයක් පමණ ගායනය සඳහා යොදා ගන්නවා. ඒ ගායන සඳහාත් යොදා ගන්නෙ දැනට ලංකාවේ නම් තිබෙන ප්‍රකට ගායන ශිල්පීන්. ඒ ගීත වලට තනු නිර්මාණය කරලා ඒවා සංයුක්ත තැටියකට දැමීම තමයි බලාපොරොත්තුව. ඒ වගේම එයින් ගීත කිහිපයක් තෝරාගෙන එයට රූප රචනා කිරීම අපෙ තවත් එක් බලාපොරොත්තුවක්. ඒ රූප රචනාවලට දේශීය සංගීතය, දේශීය තනු, ජනශ්‍රැති ආදිය යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මෙය තරගයක් වුවත් විවිධ පැති එනම් කලාවේ තිබෙන අංග සමාජයට දීම තමයි මෙහි අදහස. අපේ මූලික පරමාර්ථය නවකයන් ජයග්‍රහණය කිරීම නොවෙයි. ඒ වගේම කරන රූප රචනා කලා මණ්ඩලයේ තිබෙනවා යූටියුබ් චැනල් එකක්. එහි විකාශනය කරනවා. ඒ වගේම සමහර සමාජ මාධ්‍ය ජාල ඉල්ලීමක් කරලා තිබෙනවා; ඒ ගීත ඔවුන්ට දෙන්න කියලා. ඒ වගේම ඔබ එවන නිර්මාණ සියයක් තෝරගෙන එම නිර්මාණ කෘතියක් ලෙස එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා. එහි ගීත රචකයාගේ ජායාරූපයක් සහ නම ආදිය සඳහන් කරනවා.එය ඔවුන්ට ලැබෙන මහඟු අවස්ථාවක්.
එවන ගීත රචනා තෝරා ගන්න විනිශ්චය මණ්ඩලය සඳහන් කළොත්?
සාමාන්‍යයෙන් යමක් විනිශ්චය කිරීම අපහසු කාරණාවක්. මම බලාපොරොත්තු වෙනවා විධායක සභාවෙන් අනුමැතිය ගෙන දැනට ලංකාවේ ප්‍රවීණ ගීත රචකයන් කිහිපදෙනෙක් තෝරාගෙන හොඳ නරක විනිශ්චය කිරීමට යොදා ගැනීම. විනිශ්චය මණ්ඩලය තෝරාගත් පසු හැමෝටම කියලා මේ ජාතික අවශ්‍යතාව ඉටුකරන්න ලෑස්තියි.
දේශාභිමානය කියූ සැණින් යම්කිසි ජාතිවාදී අදහසක් මතු වීමේ ඉඩකඩක් පැවතීම ගැන ඔබ වහන්සේගේ අදහස?
ඇත්තටම දේශාභිමානය කියන්නෙ අප ජීවත් වන දේශය පිළිබඳ ඇතිවන අභිමානයයි. දේශාභිමාන ගීත ලියන්න අයිති වන්නෙ සිංහලයන් පමණක්ම නොවෙයි. මේ රටේ ජීවත් වන රටේ පුරවැසිභාවය දරන සිංහල දෙමළ මුස්ලිම් ඔක්කොම ජාතින් අයිතියි. අපි සින්දු වොයිස් කරන විට සිංහල ගීත දෙමළ භාෂාවටත් පරිවර්තනය කරන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. අගමැතිතුමත් ඒ පිළිබඳ පැහැදිලි කලා. සමහර විට දෙමළ ඉස්ලාම් ගායක ගායිකාවන් සිටියොත් ඔවුන්ටත් අවස්ථාව ලබා දෙනවා.කවුරු හෝ මේ රට පිළිබඳ අභිමානයක් ඇතිවන ලෙස ගීතයක් රචනා කළොත් අපි අනිවාර්‍යෙන් ගීත භාර ගන්නවා. ජාති වර්ග ග්‍රෝත්‍ර පිළිබඳ මේකට බලපාන්නනෙ නැහැ.මෙහි තිබෙන්නෙ ජාතිවාදය නොව මානව වාදයයි. මෙය එක්තරා විදියට යහපත් වෑයමක්.
මේ කාලයේ ප්‍රේම ගීත සංකල්පනා වැඩියි. ඉතින් ඒ රැල්ලට නොයා ඔබ වහන්සේ ඇයි දේශාභිමානී ගීත සංකල්පයකට යොමු වන්නට සිතුවේ?
මේ දේශාභිමානි ගීත යනු පුද්ගල පෞරුෂය අවධි කිරීමට හා ජවසම්පන්න කිරීමට හැකි ගීත කොට්ඨාශයක්. නිදියමින් ඉන්න සමාජයක් වෙනුවට අවදිමත් ජාතියක් සෑදීමයි අපේ අරමුණ. පොඩි කාලයේ මේ දේශාභිමානි ගීත ඇසීමෙන් අපේ පෞර්ෂය වර්ධනය වුණා. නමුත් වර්තමානයේ දරුවන්ගෙ පෞරුෂය වර්ධනය වන්නෙ අවර ගණයේ ගීත නිර්මාණ ඔස්සේ. නමුත් මානවීය ලෙස බලන්නට පුළුවන් තැන්වල තමයි පුද්ගල අධ්‍යාපනය සහ පෞරුෂය සංවර්ධනය වන්නෙ පුද්ගලයෙකුගෙ.
මෙයට අනිවාර්‍යෙන් වීරත්වය මතුවිය යුතුයි. අතීතයේ මෙරට වීරත්වය මතු වුණේ කාව්‍ය නිර්මාණවලින් සහ සාහිත්‍ය නිර්මාණවලින් මෙන්ම ගීත නිර්මාණවලින් ය. ඇස් මහින්ද හිමි ලියූ ගීත අප අදටත් රස විඳිනවා. නමුත් අප පරම්පරාවෙන් ඉදිරි පරම්පරාවට දායාද කරන්න දේශාභිමානි ගීත නැහැ. ඉතින් අපි මෙයින් බලාපොරොත්තු වන්නේ අභිමානාත්මක අධ්‍යාපනය සහ ජාතික අභිමානාත්මක ,දේශාභිමානාත්මක පුද්ගල අභිමානාත්මය පෞරුෂ සංවර්ධනය කරන්න පුළුවන් වැඩසටහනක්.
මෙම දේශාභිමානී ගීත ලියූ විගසින් මෙයින් සමාජයේ අයට ප්‍රයෝජනයක් විය හැකියි යනුවෙන් ඔබ වහන්සේ විශ්වාස කරනවද?
බොහොමයක් මේ රට ඇතහැර යන්න පාස්පොට් හදන යුගයක් තමයි මේ. මැණික් පතලක් උඩ වාඩි වෙලා ඒ උඩ බුදියගන්න ජාතියක් තමයි මේ. එය හාරන්නට උවමනාවක් නෑ. අප මේ හදන්නෙ අපේ මේ සිංහල පොළවට ආදරය කරන්න මිනිසුන් ප්‍රමාණය වැඩි කර ගැනීමටයි. අපට අවශ්‍ය මිනිසුන්ගෙ ආකල්ප සෑදීම පමණයි. ඉතින් මේ ආකල්ප සකස් කර ගැනීමට දෙන පෙරවදනක් තමයි මේ වැඩටසටහන. ඔබට සිතෙන්නට හැකියි සින්දු වලින් මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්නට හැකිද යනුවෙන්. බැහැයි කියලා එකක් මේ ලෝකෙ නැහැ. මිනිසාගෙ මොළය කොපමණ දියුණු වී තිබුණත් අාධ්‍යාත්මික අතින් පිරිහී ඇත. අප ආපසු හැරී බැලිය යුතුය. ආපසු හැරී බලා දියුණු වන ලෝකයට පිය මැනිය යුතුය. ඒ නිසයි මෙය උදාර වැඩසටහනක් ලෙස හඳුන්වන්නෙ. ජාතිකත්වය ඇත්තෙ සිංහල මිනිසුන්ට පමණක් හෝ දේශාභිමානය ඇත්තේ සිංහල මිනිසුන්ට පමණක් නොවේ
කොහොමද හාමුදුරුවනේ මේ සඳහා නිර්මාණ යොමු කරන්නේ?
ස්වීය නිර්මාණයක් බව තමා විසින් සහතික කරමින් දේශාභිමානී අදහස් රැගත් ඔබ විසින් කරන ලද පද රචනාව ගරු සභාපති තුමා, ශ්‍රී ලංකා කලාමණඩලය, 4වන මහල, සෙත්සිරිපාය 2 අදියර, බත්තරමුල්ල ලිපියනයට එවිය යුතුය.
එක් අයකුට පද රචනා කැමති සංඛ්‍යාවක් එවිය හැකි අතර ඒ හැම නිර්මාණයක් ම වෙන වෙනම තමා විසින්ම සහතික කර එවිය යුතු ය. තෝරා ගනු ලැබූ පද රචනා දේශාභිමානී ගී ඇතුළත් සංයුක්ත තැටියක් සඳහා යොදා ගැනීමට හා ගීත සියයක් කෘතියක් හැටියට පළ කෙරේ. 2022 ජනවාරි 31 වන දින නිර්මාණ බාර ගැනීමේ අවසන් දිනයයි.