ශ්‍රී ලංකාවෙන් නික්ම යන ෂීරෝ ටු හීරෝ මිකී ආතර් | සිළුමිණ

ශ්‍රී ලංකාවෙන් නික්ම යන ෂීරෝ ටු හීරෝ මිකී ආතර්

 

'මිකී නික්ම යන්නට තීරණය කර තිබේ. ඒ වසර දෙකකට ආසන්න කාලයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සමඟ ඇතිකරගෙන තිබූ සම්බන්ධතාවය අවසන් කරමිනි. මේ එලෙස සමුගෙන යන මිකී ගැන තැබෙන සංක්ෂිප්ත සටහනකි.'

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ බැඳුණු, ලෙහෙසියෙන් අමතක කළ නොහැකි විදේශීය නම් ලැයිස්තුවක් වෙයි. ඒ අතරින් ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ඩේව් වට්මෝර් වැන්නෝ ලෙහෙසියෙන් මතකයෙන් ගිලිහෙන්නේ නැත. ඊට පසු ටොම් මූඩි ද මතක සටහන් අතර සැඟවී නොයන විදේශීය පුහුණුකරුවකු සේ සැලකීමට පිළිවන. මෑත ඉතිහාසයේ එම ස්ථානයට පැමිණි මිකී ආතර් ද යම් පමණකට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අතර අමතක නොවන චරිතයකි.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ පුහුණුකාර ධූරයෙන් නික්ම යන මිකී ආතර් ක්‍රිකට් විචාරකයන් හැඳින්වූයේ 'ෂීරෝ ටු හීරෝ' කියා ය. එයින් ඔවුන් අදහස් කළේ අවසන් අඩියේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වීරත්වයට ඔසවා තැබූ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස මිකී ආතර් සැලකිය හැකි බව ය.

2020 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර ධූරයට පත් ජෝන් මයිකල් ආතර් නොහොත් මිකී ආතර් ඊට වසර 13 ක ට අධික කාලයක් පුරා පාකිස්තානය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල ජාතික ක්‍රිකට් කණ්ඩායම් සමඟ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කර තිබුණේ ය.

පුහුණුකාර භෞතිස්මය

ඔහු පුහුණුකරුවකු ලෙස භෞතිස්ම ලබන්නේ 2003 වසරේ දී ය. එහි දී ඔහු පුහුණු කරුවකු වශයෙන් ඉහළ කුසලතා පෙන්නුම් කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරට උසස්වීමක් ලැබුණේ 2005 වසරේ දී ය. නව තනතුරේ වැඩ බාරගනිමින් 2006 වසරේ දී එක්දින සහ ටෙස්ට් තරග දෙඅංශයෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය පරාජය කිරීමටත් 2008 වසරේ සත්කාරක ඕස්ට්‍රේලියාව පරදවා විශිෂ්ට ජයක් ලබන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායමට පුහුණු උපදෙස් ලබාදීමටත් ඔහුට හැකි වීම පුහුණකරුවකු වශයෙන් විශේෂිත ය. එසේම ඕස්ට්‍රේලියානු බිමේ සංචාරය කළ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් ජයග්‍රහණය කරා යොමුකරවීමට සමත් වූ පළමු පුහුණුකරුවා වන්නේ ද ඔහු ය.

2010 වසරෙහි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ ඇති වූ මතභේදයක් හේතුවෙන් ඔහුට පුහුණුකාර ධූරයෙන් සමුගැනීමට සිදුවිණි.

ඔස්ට්‍රේලියාවට

2011 වසරේ නොවැම්බර් මාසයේ ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවා බවට පත්වන්නට මිකී ආතර් ට ආරාධනා ලැබිණි. ඒ ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායමේ පළමු විදේශීය පුහුණුකරු ලෙස ය.

නමුත් ගිවිසුම් කාල සීමාවට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමඟ ද මිකීට ගැටලුවක් ගොඩනැගුණේ ය. ඒ අනුව ඔහුට 2013 වස‍රේ දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පුහුණුකාරීත්වයෙන් ඉවත් විණි.

පාකිස්තාන දීගය

ඔහු පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වන්නේ 2016 වසරේ දී ය. ඔහුගේ ධූර කාලයේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ටෙස්ට් සහ විස්සයි20 ක්‍රිකට් තරග රටාවන් හි ලොව අංක 1 ට පැමිණීමට සමත් වුණේ ය. 2017 වසරේ දී පාකිස්තානය විසින් පළමු වරට අයි.සී.සී ශූරයන්ගේ කුසලානය ජය ගත්තේ ද මිකීගේ පුහුණුව යටතේ ය. කෙසේ නමුත් 2019 වසරේ අගෝස්තු මාස‍යෙන් පසු මිකී ආතර් ට පාකිස්තාන පුහුණුකාර ධූරයට ද සමු දීමට සිදු විය.

ශ්‍රී ලංකාව තුළ භූමිකාව

මිකී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු වගකීම් බාරගන්නා විට ශ්‍රී ලංකාව ජාතික ක්‍රිකට් කණ්ඩායමක් ලෙස දැඩි පසුබෑමකට ලක්ව සිටි බව නොරහසකි. නමුත් මිකී සිය අත්දැකීම් මනාව යොදා ගනිමින් යළි කණ්ඩායම ගොඩනැගීමේ අභියෝගයට මුහුණ දුන්නේ ය.

ආරම්භයේ දී විවිධ හේතූන් හි බලපෑම නිසා ඔහුට කඩිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගොඩනගා ගැනීම අපහසු විණි.

එහෙත් පසුව පුහුණුකරු ධූරයට සමුදෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පැවති තත්ත්වයට වඩා සිය දහස් ගුණයකින් ඉදිරියට ගෙන ඒමට ඔහුට හැකිවී තිබීම අගය කළ යුතු ය.

ශ්‍රී ලංකා පුහුණුකාරීත්වයෙන් සමු ගෙන යන මිකී ඉදිරියේ දී කටයුතු කරන්නේ ඩර්බිෂයර් ක්‍රිකට් සමාජය සමඟ ය. නික්ම යාමට ප්‍රථම ඔහු දැක්වූ අදහසද මෙහිලා පළකළ යුතුම ය.

“අද මගේ ජීවිතයේ දුක්බරම දවසක්. ඒ අන් කිසිවක් නිසා නොවෙයි. ශ්‍රී ලංකාව නම් ඓතිහාසික රට අත්හැර යෑමට සිදුවීම නිසයි. මේ රටේ ඉතාම වටිනා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. මා ඔවුන්ට කියන්න කැමතියි, මම ශ්‍රී ලංකාව දෙස සෑම විටම අවධානයෙන් සිටිනවා. ඔවුන් තව ටික දවසකින් ලෝකයේ අංක එකේ කණ්ඩායම බවට පත්වෙනු නිසැකයි.”

 

පසිඳු මිහිරාන් රැටියල

Comments